අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය පෞද්ගලික ගුවන් යානයකින් අනුරාධපුර බන්ධනාගාර ක්‍රිඩාංගණය වෙත පැමිණ නිසි අවසරයකින් තොරව බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී රහසිගතව සිරකරුවන් සමග සාකච්ඡා කළ බවට එල්ල වු චෝදනා පිළිබදව සොයා බලා වාර්තා කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, සිසිර රත්නායක මහතා විසින් ඊයේ පස්වරුවේ ( 12) අධිකරණ අමාත්‍යතුමා වෙත භාර දෙන ලදී.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පියුමන්ති පීරිස් මහත්මිය අතිරේක ලේකම් (නීති) අධිකරණ අමාත්‍යාංශය, එම්.එස්.පී.සුරියප්පෙරුම මහත්මිය අතිරේක ලේකම් ( පාලන හා පොලිස් ) මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළ අතර, කමිටු වාර්තාවට අනුව අනාවරණය වී ඇත්තේ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය විධිමත් අවසරයක් ලබා ගැනීමෙන් පසුව බන්ධනාගාරය පරිශ්‍රයට ඇතුළු වී ඇති බවයි.

සිරකරු සුභ සාධක සංගමයේ ඉල්ලීමකට අනුව අනුරාධපුර බන්ධනාගාරය සදහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඊට අදාළ උපකරණ ලබා ගැනීමට මූල්‍යාධාර ලබාදීමට එම සංගම් කාර්යාලයට ඔහු පැමිණ ඇති බවත්, කිසිදු සිරකරුවෙකු හමු වී රහසිගතව සාකච්ඡා කර නොමැති බවත්, අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මෙම සිදුවීමට අදාළව මාධ්‍ය විසින් කළ හෙලිදරව් කිරීමේදී ප්‍රකාශ කෙරුණේ 2024.01.11 වන දින පෞද්ගලික ගුවන් යානයකින් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අයෙකු සිරකරුවන් සමග රහසිගතව සාකච්ඡා පවත්වා ඇති බවයි.

එම කමිටු වාර්තාවේ නිගමනවල මෙසේ සදහන් වේ.
,, මෙම පරීක්ෂණයේදී ඉදිරිපත් වී ඇති ප්‍රකාශයෙන් හා සාක්ෂි අනුව 2024.01.11 වන දින අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් අනුරාධපුර බන්ධනාගාර ක්‍රිඩාංගණය වෙත ගමන් කිරීමෙන් අනතුරුව අනුරාධපුර සහකාර බන්ධනාගාර අධිකාරී කාර්යාලය වෙත ගොස් ඇත. ඒ සදහා අදාළ ආයතනවලින් නිසි සහ විධිමත් අවසර ලබා ගෙන ඇති අතර, අනුරාධපුර සිරකරු සුභ සාධක සංගමයේ ඉල්ලීමක් අනුව ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඊට අදාළ උපකරණ මිලදී ගැනීම සදහා මුල්‍යමය ආධාර එම සංගමය වෙත ලබා දී ඇත. එම අවස්ථාවේ බන්ධනාගාර රැදවියන් කිසිවෙකු හමු වු බවට හෝ රහස් සාකච්ඡාවක් කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොවීය.
ඒ අනුව ප්‍රශ්නගත වීඩියෝ හඩ පටයේ සදහන් මෙම සිදුවීමට අදාළ චෝදනාවන් සත්‍ය බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත. එම කමිටුවේ නිර්දේශවල දැක්වෙනුයේ බන්ධනාගාරයේ ආරක්ෂාව සදහා ද ඉදිරියේදී මෙවැනි චෝදනා එල්ලවීම වළක්වා ගැනීම සදහා බන්ධනාගාර කාර්යාල පරිශ්‍රය ඇතුළු සුවිශේෂි ස්ථාන ආවරණය වන සේ CCTV කැමරා පද්ධතියක් සවි කිරීම සුදුසු බවයි.

මෙම කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දී ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය දැනුම් දී ඇත්තේ මෙම ප්‍රවෘත්තිය පළ කරන ලද සමාජ මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර ඇති බව නිරීක්ෂණය වන බැවින් එම ප්‍රකාශය සිදු කළ පුද්ගලයාට සහ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් පැමිණිලි කර ඇති බවයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න