ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත ජනවාරි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් අද ( 04) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී  පැවැත්විණි.

නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරනු ලබන නැව් සදහා අලෙවි කිරීම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 51 ක පමණ ආදායමක් ලබා ගත හැකි බවත්, බ්‍රිතාන්‍ය සමාගමක් නාරා ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාවට අයත් නාවික මුහුදු සීමාව තුළ නාවික සිතියම් නිර්මාණය කර මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරන නැව්වලට අලෙවි කිරීම  කරන අතර, නැව්වලින් අය කරනු ලබන මුදලින් ශ්‍රි ලංකාවට හිමි වන්නේ කොටසක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය ජාතික තලයේ පවත්වාගෙන යාම සඳහා නෛතික බලතල පැවරීම, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය කඩිනමින් පිහිටුවීම, නාවික සිතියම් නිර්මාණය කිරීම හරහා අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි නව පනත් කෙටුම්පත සකස් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත සම්මතවීම තුළින් ශ්‍රි ලංකාවට විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා. මීට පෙර මෙම කටයුතු නිසි පරිදි සිදු කර නැහැ. මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රිවරයෙකුට විරුද්ධවීමේ හැකියාවක් නැහැ. පනත් කෙටුම්පත පිළිබදව විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරනවා. අපි මේ වගේ පනත් ඉදිරිපත් කරන්නේ රට වෙනුවෙනුයි. එ නිසා කිසිම කෙනෙකුට විරුද්ධ වීමේ හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදි සදහන් කළේය.

නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව මෙරටට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන් සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් අධිකරණ අමාත්‍යතුමා දැනුවත් කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න