අපිට ආගම් තියෙන්නේ බෙදෙන්න නෙමෙයි, එකතු වෙන්නයි.
 අදහන ආගම දහම අනුව හිත සකස් කර ගැනීමට කටයුතු කළා නම්, බන්ධනාගාර අපිට වසා තබන්න තිබුණා.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

නත්තල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාර නේවාසික සිරකරුවන්ගේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි විශේෂවය වුයේ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පද රචනය කළ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා විසින් සංගීතවත් කළ ගීත තුනක් බන්ධනාගාර රැදවියන් විසින් ගායනා කිරීමයි.
මෙහිදි අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා ඝාතනය කරන්න කියලා නඩු තීන්දුව ලබා දුන්නේ නඩු තීන්දුව වෙනස් කරලා . මුල් නඩු තීන්දුවෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් වුණා. ඒත් එවකට පැවති අධිරාජ්‍යවාදයට අවශ්‍ය පරිදි දෙවන නඩු තීන්දුවෙන් උන් වහන්සේ වැරදි කරුවෙක් කළා. ඉතිං මේ ලෝකයේ යේසුස් වහන්සේටවත් යුක්තිය හා සාධාරණත්වය ඉටු වෙලා නැහැ. එදා බලන්න යේසුස් වහන්සේට ලැබුණු යුක්තිය හා සාධාරණත්වය මොකක්ද කියලා. මරන්න හිටපු වෙන කෙනෙක්ව නිදහස් කරලා යේසුස් වහන්සේ ඝාතනය කිරීමට තීන්දුව ලබා දුන්නා. අපි සමාජයේ කටයුතු කරන කොට සියලු දෙනාට වරදින්න පුළුවන්. මෙහි සිටින රැදවියන් වන ඔබ සියලු දෙනාට ජීවිතයේ කිසියම් අවස්ථාවක වැරදිලා තියෙනවා. අපි හැමෝටම නොයෙකුත් ආකාරයෙන් වැරදිලා තියෙනවා. පසුගිය කාලයේ සමස්ත රටටම වැරදුණා කියලා මුළු ලෝකයම දැක්කා. අපි අදහන ධර්මතාවයන් තුළින් උගන්වන්නේ නිවැරදි පුද්ගලයෙක් ලෙස සමාජයේ ජීවත් විය යුතු වන්නේ කුමන ආකාරයෙන්ද යන්නයි. යේසුස් වහන්සේට මුහුණ දීමට වු සිද්ධින්වලට බුදුන් වහන්සේටත් මුහුණ දෙන්න වුණා. දෙව්රම් වෙහෙ‌රෙහි එකට වාසය කරමින් දෙව්දත් ගල් පෙරළුවා. ඒවායින් අපිත් පාඩම් ඉගෙන ගතයුතුයි .අපිට ආගම් තියෙන්නේ බෙදෙන්න නෙමෙයි, එකතු වෙන්නයි. ආගමික නායකයින් තම දේශනාව සිදු කළේ මුළු ලෝකයටමයි. සියලු ආගමික නායකයින් කටයුතු කළේ මිනිසුන් නිවැරදි මාර්ගයට ගැනීමටයි. නත්තල කියන්නේ ක්‍රිස්තියානි කතෝලික ජනතාවගේ ආගමික උත්සවයක් වගේම කිතුනු කතෝලික නොවන අපේ සංස්කෘතික මංගල්‍යයක් බව ඔබ දන්නවා. අපේ ආගම්වලින් දඩුවම් ලබාදීම පිළිබදව උගන්වන්නේ නැහැ. දඩුවම් ලබාදීම රාජ නීතියයි. යේසුස් වහන්සේ පවා සෑම අවස්ථාවකම කළේ වරදට සමාව ලබාදීමයි. යේසුස් වහන්සේට අවමන් කළ හිංසා කළ සියලු දෙනාට උන් වහන්සේ සමාව ලබා දුන්නා. සියලු ආගමික නායකයින් මිනිසාගේ හිත හදන්න දේශනාවන් සිදු කර තිබෙනවා. ඒත් හිත හදන්න සමාජය දක්වන උනන්දුව හරිම අඩුයි. හිත සකස් කර ගැනීමට මාර්ගෝපදේශ සපයන්නේ අපි අදහන විශ්වාස කරන ධර්මයයි.
ධර්මයට අනුව හිත සකස් කර ගැනීමට කටයුතු කළා නම්, වැලිකඩ බන්ධනාගාරය අපිට වසා තබන්න තිබුණා. රැදවියන් මේ තරමට නොසිටින්න තිබුණා. අපිට අපි කවුද මේ ලෝකයට ඉපදුනේ ඇයි, මේ ලෝකය අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න, නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා අපිට කේන්ති යනවා. තරහා යනවා. වෛර කරනවා. වෛර කරමින් සිත් අපිරිසිදු කර ගෙන අවසානයේ අපි විනාශ වෙනවා. ඊට පස්සේ මේ වගේ බන්ධනාගාර ගත වෙන්න වෙනවා. මේ ධර්මතාවයන් පිළිබදව අපේ පාසල් දරුවන්ට නිවැරදිව අපි සන්නිවේදනය කළ යුතුයි. දැන් මේ අවස්ථාවේ කලාව පිළිබදව අදහස් පළ වුණා. ජාති ආගම් භාෂා අතර සුහදතාවය වැඩි දියුණු කළ හැකි පාලමක් බවට කලාව පත් කර ගතයුතුයි. බන්ධනාගාර පද්ධතිය තුළ නව ප්‍රතිසංස්කරණ අපි ආරම්භ කර තිබෙනවා. නව ප්‍රතිපත්තියක් යටතේ බන්ධනාගාර ගත රැදවියන් සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ප්‍රවිණ සංගීතවේදී නවරත්න ගමගේ යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න