 රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවේ.
 නිලධාරීන් නිවැරදි තීන්දු ගත යුතුයි.
 මහජන නියෝජිතයින් දේශපාලන පක්ෂ, නිලධාරීන් නිවැරදි තීන්දු ගත යුතුයි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු අංශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පර්යේෂණ නිලධරයන්, ලේකම්වරුන් සහ යතුරු ලේඛක නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (20) පැවති අතර එහි ආරාධිත දේශනය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින් අපේක්ෂිත මහජන සේවය කාර්යක්ෂමව සහ සඵලදායී ලෙස ඉටු කිරීමට හැකියාව ඇති ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ වඩා වැඩි ඵලදායීතාවයකින් මහාජනතාව වෙත ලබාදීම අරමුණු කරගනිමින් මෙම වැඩමුලුව පැවැත්විණ.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කලේය.
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රිවරුන් පාරවල් හදනවා. ලයිට් දානවා. මළ ගෙදරක් වුනොත් යනවා. මගුල් ගෙදරක් වුණොත් යනවා. මේ රටේ මිනිස්සු හිතා ගෙන ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉන්නේ ඔය වැඩේ කරන්න කියලා. ඒ තත්වයට පත් වුනේ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන කාලයේ සිටයි. ඒ කාලයේ සිට විමධ්‍යගත මුදල් ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හිටියේ ජාතික තලයේයි. එදා මිනිස්සු කල්පනා කලේ මේ මන්ත්‍රිතුමා අපි වෙනුවෙන් කථා කරනවා. අපි වෙනුවෙන් පෙනී සිටිනවා. නීති හදනවා කියලා. එහෙම ජාතික තලයේ හිටපු මන්ත්‍රිවරයා උස්සලා පොළොවේ ගැහුවා.
දැන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් මේ ඔක්කොම පාරවල් හදනවා. මන්ත්‍රිවරුන් කැමතියි විමධ්‍යගත මුදල් ගන්න. පාරවල් හදන්න. මේ ක්‍රමය නිසා රට විනාශ වුණා.
පාර්ලිමේන්තුව රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ නැහැ. පාර්ලිමේන්තුව පක්ෂ වෙනුවෙන් නායකයෝ වෙනුවෙන් පක්ෂ ආරක්ෂා කරන්න තීන්දු තීරණ ගත්තා. රට විනාශ වුණා. පාලකයින්ට රට දාලා දුවන්න වෙන තත්වයට පත් වුණා. අරගල ඇති වුණා. ජනතාවගේ අපේ මේ දෙපැත්තේම වැරුද්ද නිසා මේවා වුණා. ජනතාවට එය පුරුදු කලේ කවුද, කොයිතරම් අණ පනත් නීති රීති ගෙනාවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් විශ්වාසය අවශ්‍යයි. විශ්වාසය ආරක්ෂා කරගන්න සියලු දෙනා දැන ගන්න ඕන. විශ්වාසය ආරක්ෂා නොකලොත් ශිෂ්ටම් එක කඩා වැටෙනවා. ශිෂ්ටම් එක කඩා වැටුණොත් අපේ ජීවිතවලට ආරක්ෂාවක් නැහැ. සහතිකයක් නැහැ. රටක වෙන්න පුළුවන් නරකම දේ ඒකයි. විශ්වාසය ගොඩ නගන්න ව්‍යවස්ථාදායකය කටයුතු කරන්න ඕන. වැඩිම චෝදනා තියෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. අද පුවත් පත්වල සිරස්තල තියෙන්නේ දුෂණ හා වංචා ගැනයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ වංචාවක් වෙලා තියෙනවා. ගෙනත් තියෙන්නේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය කියලා වෙන ඖෂධයක් බවට චෝදනා තියෙනවා. ඒවා ඉන්සියුලින් කියලා රෝගීන්ටත් දීලා . එතකොට කවුද මේ අපරාධය කරලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කලාද, දේශපාලකයින් සිදු කළා ද, කියලා අධිකරණය හොයා ගන්න මේ ක්‍රමය මේ විදිහට යනකොට ජනතාවට එපා වෙනවා.මේ ක්‍රමය නිවැරදි කර ගත යුතුයි. මම අමාත්‍යාංශ භාර ගන්න කොට ලේකම්වරයාට කියන්නේ හරි දේ කරන්න, නිවැරදි දේ සිදු කරන හැම අවස්ථාවකම මම ඔය අය ආරක්ෂා කරනවා. මම නියෝග දුන්නා කියලා වැරදි දෙයක් නම් කරන්න එපා. මම දුන් නියෝගය නීති විරෝධී නම් මට කියන්න මම දුන් නියෝගය වුණත් වැරදි නම් ක්‍රියාත්මක කරලා යලිත් මට කියන්න එපා .මම කවුරුත් බේර ගන්නේ නැහැ කියලා මම අපේ නිලධාරීන්ට කියලා තියෙනවා. ඒ නිසා නිලධාරීන් හරි දේ කළ යුතුයි. හරි දේ කරන නිලධාරීන් වෙනුවෙන් මම පෙනී සිටිනවා. වැරදි නියෝගයක් දෙනවා නම් එහි නීතිමය තත්වය පැහැදිලි කර දීම නිලධාරීන් සතු වගකීමක් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
මහජන නියෝජිතයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉටුවිය යුතු කාර්ය භාර්ය බොහෝ අවස්ථාවලදී මන්ත්‍රීවරයාගේ කාර්යමණ්ඩලයෙන් ඉටුවන බැවින්, රාජ්‍ය සේවය පිළිබඳව මහජනතාව තුළ පවතින මතය දුරු කර මහජනතාවට වඩා වැඩි සේවාවක් ලබාදිය හැකි පරිදි ක්‍රියාකිරීමේ ඇති වැදගත්කම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරය, පාර්ලිමේන්තු කාරක සභා මොනවාද, එහි ක්‍රියාකාරිත්වය කුමක්විය යුතුද, , ව්‍යවස්ථාව යනු කුමක්ද, ව්‍යවස්ථාව සකස් කරන ආකාරය, ව්‍යවස්ථාව තුළ අඩංගු විය යුතු කරුණු ආදිය පිළිබඳව අමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අශෝක ප්‍රියන්ත, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පර්යේෂණ නිලධාරීන්, ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න