විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් පිළිබදව පවතින නීති ප්‍රමාණවත් නැහැ. ඒ සදහා නව පනතක් සම්මත කරනවා.

නීතීය මගින් පමණක් මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ නොහැකියි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි

 විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් පිළිබදව පවතින නීති ප්‍රමාණවත් නැහැ. ඒ සදහා නව පනතක් සම්මත කරනවා.
 නීතීය මගින් පමණක් මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ නොහැකියි.
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

දෙසැම්බර් මස 03 වන දිනට යෙදී ඇති ආබාධ සහිත තැනැත්තන් සදහා වන ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩ සටහන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී අද (01) පෙරවරුවේ පැවැත්විණි. ආබාධ සහිත තැනැත්තන් පිළිබදව වු මහලේකම් කාර්යාලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කලේය.
විශේෂ අයිතිවාසිකම් ලබා දිය යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් කර තිබෙනවා. ඒ අනුව දරුවන් හා කාන්තාවන් විශේෂ අවශ්‍යතා ඇති අය ලෙස එහි සදහන් කර තිබෙනවා. කාන්තාවන්, දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ කොට සැලකිය යුතුයි. දරුවන්ට සහ කාන්තාවන්ට සළකනු ලබන ආකාරය අනුව රටක හැදියාව තක්සේරු කර ගත හැකි බව බර්නාඩ් ෂෝ සදහන් කර තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයට සැලකීමත් එයට එක් කළ යුතුයි. විශේෂ අවශ්‍යතා ඇති අය හා දරුවන් පිළිබදව අපේ රටේ පවතින නීති ප්‍රමාණවත් නැහැ. ඒ සදහා නව පනතක් සකස් කරනවා . එවැනි පනතක් පිළිබදව වසර 15 ක පමණ සාකච්ඡා වුණා. මේ වන විට නව පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබෙනවා. නීතිපති නිර්දේශ ලබා ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව ගැසට් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා. නීතීය මගින් පමණක් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි යැයි විශ්වාස කරනවා නම් එය වැරදියි. අපේ රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි. ආබාධ සහිත තැනැත්තන් පිළිබදව පවතින ආකල්පය වෙනස් විය යුතුමයි. පළමුව අපේ රටේ පවතින අධයාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු ආකාරය පිළිබදව අපි පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ යුතුයි.දැනට පවතින අධ්‍යාපන ක්‍රමය ගැති, පාඩම් කරලා දක්ෂතා පෙන්විය හැකි ක්‍රමයක් බව අපි හැමෝටම පැහැදිලියි. මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස විශ්ව විද්‍යාලය තුළින් කරන්න බැහැ.
එය මුල් ළමා විය සංවර්ධනය තුළින්ම කළ යුතුයි. අධ්‍යාපනය තුළින් උගතුන් නොව බුද්ධිමතුන් බිහි කළ යුතුයි.දරුවන්ට අපි ලබා දිය යුතු වන්නේ බුද්ධියයි, එහිදී අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
පසුගිය වසර වන විට අපේ රටේ ආර්ථිකය බිංදුවටම කඩා වැටුණා. සියලු අංශයන්ගෙන්ම බෙලහීන රටක් බවට පත් වුණා. එයින් අපි අධෛර්යමත් විය යුතු නැහැ. ලොව දියුණුම රටවල් වැටුණට පස්සේ තමයි සංවර්ධනය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි වැටුණු වෙලාව වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගත යුතුයි. අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා .රට වැටුණා. භාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙම රට අපි භාර ගත්තා. ක්‍රමවේදයේ වෙනසක් කරනවා කියලා අපි කිය කියා ගියේ නැහැ. අපි ක්‍රමවේදයේ වෙනසක් කළා. අපෙන් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමයි. පාලකයා සහ පාලිතයා මේ දෙපාර්ශ්වයම නීතියට යටත් විය යුතුයි. ආණ්ඩුව විපක්ෂය විරුද්ධ වෙද්දි අපි 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා. සාමාන්‍ය ජනතාවයි නීති හදන අයයි ඔක්කොම නීතියට යටත් විය යුතුයි. රාජ්‍ය සේවය රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන ග්‍රහණයෙන් මුදා ගත හැකි නීති යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා. ස්වාධින කොමිෂන් සභා 10 ක් පිහිටුවනු ලැබුවා. මැතිවරණ ක්‍රමය වංචාවෙන් හා දුෂණයෙන් මුදා ගත්තා. අධිකරණයට ප්‍රවේශවීමටත් අපි නීති සකස් කරනවා. යුක්තියට ප්‍රවේශවීමට ඇති මාර්ග අද අවහිර කරලා තිබෙන්නේ. පසුගිය මාස 15 තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සදහා පනත් 35 ක් පමණ සම්මත කළා. ආබාධ සහිත පුද්ගලයින් සදහා වන කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සදහා වන කාර්යාලය ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා පැවසීය.
ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් බාධකවලින් තොර ශ්‍රී ලංකාවක් සදහා ප්‍රවේශවීමේ හැකියාව වර්ධනය, ආබාධිත බව ඇතුළත් සංචාරක ව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිළිබදව සාකච්ඡා වැඩ සටහනක්ද මෙහිදී පැවැත්විණි.
සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අසුසා කුබෝතා, කාන්තා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්ම මහත්මීන්ද මෙහිදි අදහස් පළ දැක්වීය.
ආබාධ සහිත තැනැත්තන්ට සමාජයට අවහිරයක් නොවන පරිදි ජීවත් විමේ වටපිටාවක් නිර්මාණය කිරීම සදහා කාගිල්ස් හා පීසා හට් ආයතන විසින් රැකියා අවස්ථා ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ආබාධිත සහිත තැනැත්තන්ගේ සංගීත හා නර්තන හැකියාවන් ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න