• උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නවා……..
• අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහායි …………
• බැංකු ගණුදෙනු සම්බන්ධ අණපනත් නූතන සමාජයට ගැලපෙන අයුරින් සකස් කිරීමට පියවර….
• අධිකරණ නියෝග මගින් මුදල් ගෙවීම් කටයුතු කිරීමේදී Pos Machin ක්‍රමය හදුන්වා දෙයි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී පැවති උත්සවයට එක්වෙමිනි

අධිකරණයන් මඟින් ලබාදෙන නියෝග මත දඩ මුදල් හෝ රජයට බැරවිය යුතු වෙතන් ආකාරයේ ගෙවීම් කටයුතු නූතන ලෝකයට ගැලපෙන අයුරින් පහසුවෙන් සහ කාර්යක්ෂමව කාඩ්පත් මඟින් සිදු කිරීමට අවශ්‍ය (Pos Machin) ක්‍රමයඅධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සහ ඒ වෙනුවෙන් මහජන බැංකුව සමඟ ගිවිසුම්ගතවීම ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 2023.11.30)  දින පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

අධිකරණයෙන් ලබාදුන් නියෝග පදනම් කරගනිමින් සිදුකරන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදුකරන ලද්දේ මුදල් වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවු දුෂ්කරතාවයන් සලකා බලා දිවයිනේ කීර්තිමත් සහ අභිමානවත් බැංකු කරණයක නිරත වන මහජන බැංකුව හා එක්ව මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මඟාන් සිදුකල හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ගණුදෙනු කටයුතු සඳහා පහසුකම් ලබාදෙන ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අධිකරණයන් වෙත කාඩ්පත් මඟින් මුදල් ගෙවීම සඳහා නවීන තාක්ෂණය හදුන්වාදීමට සහ ඒ සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුදකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමා මෙහිදී සඳහන් කලේය.

නූතන සමාජයට ගැලපෙන අයුරින් බැංකු ගණුදෙනු කිරීම සම්බන්ධ අණපනත් මේ වන විටත් සංශෝධනය කර අවසන් බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ වර්තමාන සමාජය අන්තරජාලය හරහා ඉතා කාර්යක්ෂම අයුරින් ගණුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම ඉතා යෝග්‍ය බවයි.

අධිකරණය යනු බියෙන් හා සැකයෙන් යායුතු තැනක් නොවන බව සඳහන් කල අමාත්‍යවරයා අධිකරණ කටයුතු සඳහා අධිකරණයන් වෙත ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වන සියලුම පුරවැසියන් වැරදිකරුවන් නොවන බවත් සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් බවත් සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවයි.

 අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන බැංකුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න