ශ්‍රී ලංකාව තුළ ස්ථාවර නිෂ්පාදන කර්මාන්ත නොමැති නම් රට ආර්ථික වශයෙන් අස්ථාවර බවත් පසුගිය කාලය තුළදී එහි අවශ්‍යතාවය දැඩිව පෙන්නුම් කල බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ දේශීය ඖෂධ නිෂ්පාදකයින් සමග අද දින (09) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදී අදහස් දක්වමිනි. ඖෂධ නිෂ්පාදකයින් හට පවතින ගැටලු පිළිබදවත් සෞඛ්‍ය අමාත්‍යංශය හා ඔවුන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ජාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදන කල යුතු බවත් ඒ සදහා අවශ්‍ය සහය රජයක් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහටත් නොඅඩුව ලබාදීමට කටයුතු කරන බවයි. එහිදී ඒ සියල්ල පැහැදිලි විනිවිදබාවයකින් සිදුවිය යුතු බවත් අවධාරණය කල අමාත්‍යවරයා පියවරෙන් පියවර මෙය විධිමත් කිරීම ඉතා අත්‍යවශය කරුණක් බවත් තමන් කර්මාන්ත  අමාත්‍යවරයා වශයෙනුත් මෙහි අවශ්‍යතාවය තමන්ට ද දැඩිව පෙනී ගොස් ඇති බවද පැවසීය.

එමෙන්ම ඖෂධ කර්මාන්තය පිළිබදව මෙරට ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය යහපත් එකක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා දෙසත් ජනතාව අපහැදිලි කෝණයකින් බලන බවද, තමන්ට අවශ්‍ය එම ප්‍රතිරූපය නිවැරදි හා පැහැදිලි කර දීම බවද පැවසු අමාත්‍යවරයා  විදේශ රටවලින් මෙරටට ඖෂධ ආනයනය කිරීමට වඩා රටතුළ නිෂ්පාදනය සිදු කිරීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් රටතුළ ඉතිරිකර ගැනීමට හැකිවන බවද අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වැනි රටවල් ඖෂධ නිෂ්පාදනයෙන් විශාල ආදායම් ලබන බවද පෙන්වා දුන්නේය.

ඖෂධ නිෂ්පාදකයින් හට කළයුතු ගෙවීම් නිසි ක්‍රමවේදයට අනුකූලව ගෙවීමට කටයුතු කරන ලෙසට මෙහිදී නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දුන් අතර දේශීය ඖෂධ නිෂ්පාදකයින් ලබාගන්නා ඖෂධ ඇනවුම් නිසි කලට වේලාවට ලබාදීමෙන් ඖෂධ හිගය මග හරවා ගැනීමට හැකියාව පවතින බවත් නව ඖෂධ ලියාපදිංචි කිරීම් කර   ගැනීමට අවශ්‍ය නම් ඊට අදාල ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර ක්‍රමවේදයන්ට අනුකූලව අවශ්‍ය අනුමැතිය ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදකයින් දැන්වීය.

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 15% – 20% ප්‍රමාණයක් රටතුළ නිෂ්පාදනය කරන අතර ඉතිරි සියල්ල විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. ඒ සදහා වාර්ෂිකව රජය ඩොලර් මිලියන 700 කට අධික මුදලක් වැය කරයි. වාර්ෂිකව ඖෂධ වර්ග 1347 ක් මෙරටට ආනයනය කරනු ලබයි. ප්‍රමුඛතා ලේඛනය මත ඖෂධ වර්ග 862 ක් රෝගී ප්‍රතිකාර සදහා යොදා ගැනෙන අතර එයින් ඖෂධ වර්ග 208 ක් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබයි.  

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්ම මහත්මින් සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් පිරිසක්ද සහභාගී වුහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න