• නව දුෂණ විරෝධි පනත මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මකයි.
• පාස්කු ප්‍රහාරය පිළිබදව දේශිය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්.
• පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වැරදි තීරණයක් තීන්දුවක් ලබා දී හෝ නඩු ඉල්ලා අස් කර ගෙන තිබෙනවා නම් ඒ පිළිබදව සොයා බැලීමේ පුර්ණ බලය නව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට තිබෙනවා.
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කලේ නව දුෂණ විරෝධි පනත සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
මේ මස 15 වැනිදා සිට නව දුෂණ විරෝධි පනත ක්‍රියාත්මකයි. ඒ සදහා අවශ්‍ය ගැසට් පත්‍රය පළ කරනවා. වත්මන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ස්වාධින නැහැ කියලා ජනතාව අතර මතයක් තිබෙනවා. ඒ සදහා සාධාරණ හේතු තිබෙනවා.1994 ස්ථාපිත කළ වත්මන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වසර 29 ක් ක්‍රියාත්මක වුණා. නමුත් අල්ලස දුෂණය මේ රටින් තුරන් වුණේ නැහැ. ඒ නිසාම නව දුෂණ විරෝධී පනතක් සම්මත කිරීමට අපි කටයුතු කලා. මෙතෙක් අල්ලස් නීතිය ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයින්ට පමණයි. එහෙත් නව පනත තුළින් පෞද්ගලික අංශයේ දුෂණ සම්බන්ධව විමර්ශනය කරන්න පුළුවන්. ලිංගික අල්ලස් සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ හැකියාව පවතිනවා. නීති විරෝධි ලෙස උපයාගත් ධනය විදේශ රටවල තැන්පත් කර තිබෙනවා නම් ඒවා නැවත අත්පත් කර ගැනීමේ බලය මේ පනත යටතේ තිබෙනවා. ඒ සදහා ලෝක බැංකුව විසින් එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලයට අවශ්‍ය බලය ලබා දී තිබෙනවා. එම කාර්යාලයේ උසස් නිලධාරීන් සමග අපි සාකච්ඡා පැවැත්වුවා. ඔවුන් අවශ්‍ය සහාය ලබා දෙන්න එකග වුණා .නව අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සංයුතිය අපි වෙනස් කර තිබෙනවා. බදවා ගැනීම් පිළිබදව අවශ්‍ය සුදුසුකම් ඉදිරිපත් කර තිබෙනවා. අල්ලස හෝ දුෂණ්‍ය තුරන් කිරීමට නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ. මහ ජනතාවගේ සහ මාධ්‍ය ආයතනවල සහයෝගය අවශ්‍යයි. මේ රටේ දුෂණය නැති කළහොත් ඇතැම් දේශපාලන පක්ෂවලට පැවැත්මක් නැහැ. පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ තිබුණු ආකාර්යක්ෂමතාවය නිසා සියලු දේශපාලඥයින් බැණුම් ඇහුවා. දුෂණයට එරෙහිව කටයුතු කරන අයටත් පොදුවේ බැණුම් අහන්න සිද්ධ වුණා.
දැනට පවතින අල්ලස් කොමිසමට මොන දේ කළත් ඊට ලබා දී තිබෙන ස්වාධීනත්වය නිසා එහි කටයුතු සොයා බැලීම කරන්න බැහැ. නමුත් නව නීතිය යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය මාස හතරකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න ආසන්න වන විට අපේ රටට විරුද්ධව විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරනවා. ඩයස්පෝරාව විවිධ දේවල් කරනවා. අපි ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයින් සමග සාකච්ඡා කළා. මේ පාස්කු ප්‍රහාරය සිදු වෙන්න මාස 29 කට පෙර මේ පිළිබදව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ කාලයේ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අය මට චෝදනා කළා. ජාතික සමගිය නැති කරන්න මම මේ ප්‍රකාශය කළා කිවුවා. අද විපක්ෂයේ ඉදලා දැඩි උනන්දුවෙන් සමහර අය කථා කරනවා. මම එදා ඒ ප්‍රකාශය කරන කොට අද කථා කරන, කෑ ගහන අය අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුවේ හිටියා. කොරහේ කිඹුල්ලු දකින්න එපා මේ රට ලේ විලක් කරන්න එපා කියලා මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ අය මට චෝදනා කලා. නමුත් මාස 29 කට පස්සේ සියලු දෙනාගේ ඇස් ඇරුණා. මගේ ප්‍රකාශය ගැන එදා සොයා බැලුවා නම් අදත් ඒ මිනිසුන් ජීවත් වෙනවා. පාස්කු ප්‍රහාරය පිටිපස මහ මොළකාරයෙක් ඉන්නවා කියලා ප්‍රකාශ වුණා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යන දවසේ තමයි මහ මොළකාරයෙක් ඉන්නවා කියන කථාව කිවුවේ. ඔහුට මේ ප්‍රකාශය විශ්‍රාම යන දවසේ කියන්නේ නැතිව එතුමාගේ කාලය තුළ සොයා බලන්න තිබුණා. නමුත් එතුමාගෙන් මේ පිලබදව ප්‍රකාශයක් ගන්න යන කොට අධිකරණ නියෝග ලබා ගන්නවා ප්‍රකාශ ලබා ගන්න එපා කියලා. දැනට පාස්කු ප්‍රහාරය ගැන නඩු 42 ත් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබදව දේශිය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්. අද ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය එදා පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ ආණ්ඩුවේ හිටියා. චැනල් 04 නාලිකාව ඩයස්පෝරාව එක්ක කටයුතු කරන මාධ්‍ය ආයතනයක් . එම නාලිකාව පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට යුක්තිය ඉටු වෙන්න ඕන කියන සද් භාවයෙන් ඉන්න ආයතනයක් නෙවෙයි. චැනල් ෆෝ නාලිකාව විකාශනය කරන පරිදි සිද්ධියක් වෙලා තිබෙනවා නම් ඒ ගැන සොයා බලනවා. මේ පිළිබදව අපි පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව කිසියම් වැරදි තීරණයක් තීන්දුවක් ලබා දී හෝ විවිධ හේතුන් මත නඩු ඉල්ලා අස් කර ගෙන තිබෙනවා නම් ඒ පිළිබදව සොයා බැලීමේ පුර්ණ බලය නව අල්ලස් හෝ දුසණ විමර්ශන කොමිෂන් සභාවට ඇති බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
කථානායකතුමාට මම ලිඛිතව දැනුම් දී තිබෙනවා මෙම මස 15 වැනිදා සිට දුෂණ විරෝධි පනත ක්‍රියාත්මක වෙනවා. ඒ පනත යටතේ සහ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සුදුසු පුද්ගලයින් සාමාජිකයින් ලෙස අල්ලස් කොමිෂමට පත් කරන්න කටයුතු කරන්න කියලා. මෙම මස 15 වැනි දින සිට නව දුෂණ විරෝධි පනත බලාත්මක වු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පරිදි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සදහා නව කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු වන අතර, ඔවුන් බදවා ගැනීමට අදාළ නිර්ණායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සකස් කිරීම සිදු කළ යුතුයි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න මහතා සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න