ලංකාවේ බෞද්ධ ජනතාවගේ පෞද්ගලික හා සමාජ භාවිතාවන් වලදී කැපී පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.
ඒකේ කුසලය හා බැතිය වශයෙන් දෙඅංශයකට බෙදන්න පුළුවන්.
කුසලය කියන්නේ පිනට තැනදීම.
බැතිය කියන්නේ දේවත්වයට බැතිමතුන් වීම.
සමාජ පරිහානියට ඍජුවම බලපාන හේතු මේ තුළ අන්තර්ගතයි.
සමාජීක, අධ්‍යාත්මික හා භෞතික ප්‍රගතියට හේතු වන්නේ ප්‍රඥාවයි.
පින නැත්නම් කුසලය සිදුකළ යුත්තේ හොඳ අවබෝධයකින්.
ප්‍රඥාව තියෙනවා නම් බැතිය බොහෝ වෙලාවට ප්‍රජාව තුළ වර්ධනය වෙන්නේ නැහැ.
කුසලයට කුඩම්මාගේ සැලකිල්ල දක්වලා දේවත්වයට බැතිවන ප්‍රජාවක් ලංකාව තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඒ නිසා මහාචාර්ය පට්ටම් ගහපු අයත් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් ක්‍රියා කරන සමාජ වපසරියක් අපට දකන්නට ලැබෙනවා.
බුදු දහමින් ඉගැන්වෙන කුසලයේ අගය පිළිබඳව හරි හැටි අවබෝධයක් නැති නිසා දේවත්වයට ගැතිවන බහුතරයක් රට තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා.
මේ ව්‍යාප්තිය කොච්චර දුරට තියෙනවාද කියලා තවදුරටත් දීර්ඝ වශයෙන් එකින් නෙක සාකච්ඡාවට බඳුන් කළ යුතු තත්ත්වයක අප ජීවත් වෙනවා.
මේ දවස්වල මුළු රටම පීඩාවට පත් කර තියෙන්නෙ.
මොකක්ද මේ පීඩාව, අධික පෑවිල්ල.
වියලි කලාපයට අයත් ප්‍රදේශ බෙහෙවින් බැටකන සමාජ වපසරියක් මේ නිසා ගොඩනැගී තියෙනවා.
පෑවිල්ල නිසා වේලීමට පත් වන ගහ කොළ ඇතුළු පරිසරයේ ව්‍යාධිය වැඩියෙන්ම බලපාල තියෙන්නේ කැලේ සතුන්ට.
ඒ සතුන්ව දඩයම් කරන දෙවියන් වැඩම ඉන්නවයි කියන ප්‍රදේශයේ එහෙම නැත්නම් කතරගම තුළ දිය පොදක් සොයා එන සතුන්ට වස දමා තමන්ගේ සාක්කුව පුරවගන්න සමාජ නරුමයන් බහුතරයක් කතරගම පමනක් නොව රට පුරා ඉන්නවා.
කොහොම හරිම ලංකාවේ මේ දවස්වල පායන පෑවිල්ලේ තරම තේරුම් ගැනීමට ජනමාධ්‍යවලින් හෙළිදරව් වුණු කරුණු ඕනාවටත් වඩා තියෙනවා.
නියගයෙන් කුඹුරු අක්කර 50,000ක් ඉක්මවල ගිලගෙන තියෙනවා කියල එක් පැත්තකින් වාර්තා වෙනවා.
වියළි කාලගුණයෙන් ලක්ෂයකට ආසන්න ජනතාවක් පීඩාවට පත් වෙලා තියෙනවා.
සමනල වැව සිඳී ගිහිල්ල.
වතුරත් විදුලියත් නවතින තැනට පත්වෙලා.
රටෙන් වැඩි කොටසක් නියගයෙන් දැවෙන තත්ත්වයක් උද්ගත වෙලා.
මේ වන විට පානීය ජල ධාරිතාව රට පුරාම අවම වෙමින් තිබෙනවා.
අවසානයේ ප්‍රතිඵලය ඉතාමත්ම භයානක තත්ත්වයකට රට තල්ලු වෙමින් තිබෙනවා.
රටේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමට ඇති ඉඩකඩ ළං වෙමින් තිබෙනවා.
උග්‍ර පානීය ජල හිඟයක් ද දිගු වෙමින් තියෙනවා.
දැනටම රටේ ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් විවිධ අනතුරු ඇඟවීම් මතුවෙමින් තියෙනවා.
නමුත් පාදඩ දේශපාලනයේ නිරත බහුතරයක් එහෙම නැත්නම් පාලකයින්ගේ ඇස් මනාව තවම ඒ සම්බන්ධව යොමු වෙලා නැහැ.
හැමදාමත් සිදුවෙන අවසානයේ පොදු ජනතාවට අත් විඳීමට සිදුවෙන ක්‍රියාවලිය සිදුවෙමින් යනවා.
සමස්ත රටම වියලීම ගැන මහප්‍රාණ කියමින් ගත යුතු පියවර නොගෙන සිටීම තවත් අවාසනාවන්ත තත්ත්වයක්.
මේ අතර පිරිත් කියමින් දේව ඇදහැලි කරමින් මිත්‍යාව මත යැපෙන රටේ බහුතරයක් ද ඉන්නවා.
මේය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
උඩවලව ගොවීන්ගේ ජල ගැටලුව විසඳූ ආකාරය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
නිසිවෙලාවට නිසි පියවර ගැනීමට අසමත්වීම නිසා රටේ බහුතරයක් කුඹුරු ගොවිතැන් විනාශ වෙමින් පවතිනවා.
ගොවීන්ගේ ජල ප්‍රශ්නය රජයට දැනුම් දුන්නේ පූර්ව මාස කිහිපයකට කලින්.
නමුත් රජය ඊට ඍජුව මැදහත් වුණේ නැහැ. කාලය ඉකුත් කළා.
සැබෑ ප්‍රශ්නය තිබියදී ඇමැතිවරු සිය අනන්‍යතාවය මතු කරගැනීමට ප්‍රතිරූපය ගොඩනැගීමට විවිධ ප්‍රකාශ කරමින් හිටියා.
ඒ අතර කෘෂි ඇමැති එක් අයෙක්.
අනෙකා නම් විදුලිබල ඇමැතියි.
ජලය මුදාහැරියොත් දකුණට පැය තුනක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිය භාර ඇමැති පැවසුවා.
ඒ තුළම ඔහුගේ පැහැදිලි සැඟවුණු තත්ත්වය ඒ ප්‍රකාශවලින් පැහැදිලි වුණා.
රටේ බහුතරයක් ගොවියෝ ගොයම් බේරා දෙන්න යැයි දෙවියන්ට කන්නල්ලව් කරා.
ආණ්ඩුවේ බලධාරින් ඇස් ඇරියේ නැහැ.
උඩවලවේ ගොවීන්ගේ ප්‍රශ්නය එක් දේශපාලන සංවිධානයක උද්ඝෝෂණ මාලාවක් බවට පත් වුණා.
මේ කිසිවක් නොවේ අපේ කරුමය.
එහෙම නැත්නම් සැබෑව තේරුම්ගෙන ඒ සඳහා ඍජු මැදිහත්වීමකින් ක්‍රියා කරන්න ජනතාව හා බුද්ධිමතුන් ක්‍රියා නොකිරීම ඉතාම කනගාටුවට කරුණක්.
දැන් දෙවියන් යැදලා මාසයකට වැඩි වුණා.
කිසිම වැසිපොදක් රටට ඇති වුණේ නැහැ.
ප්‍රජාවගේ හදවත් දැඩි සේ වේලීමට පත්ව තිබෙන මේ මොහොතේ ඔවුන්ගේ නූගත්කම ගැන කතා කිරීමට වඩා කතරගම පුදබිම තුළ දෙවියන් ඉන්නවා නම් අවට කැලෑරොද වල සිටින වන සතුන් මරා මස් කරන තත්ත්වයක් දකින්න පුළුවන්ද?
කතරගම යන බහුතරයක් දඩ මස් කෑමට ප්‍රිය කරන්නේ ඇයි?
දෙවියන් ඉන්න භූමියකට යන සැබෑ ප්‍රජාවක් නම් දඩමස් සොයා යනවාද?
කොහොම වෙතත් හොඳ වෙළඳපොළක් කතරගම හා අවට ප්‍රජාවට මේ වන විට ලැබී තිබෙනවා.
දිය පොදක් සොයාගෙන එන සතුන් දිය පානය කරන දිය කඩිති ආදී තැන්වලට වස දමා උන් මරා මස් කර විකිණීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මේ වන විට කතරගමින් හෙළි වී තිබෙනවා.
මෙය රට පුරා වෙනත් වෙනත් ආකාරවලින් වසර පුරාම සිදුවන දෙයක්.
දඹානේ ජනතාව බොහෝ විට මුව මස් කියා කොළඹින් යන අයට ලබාදෙන්නේ රිලා හා වඳුරු මස්.
ඒ පිළිබඳව වෙනම කතා කිරීමට ඉඩකඩ තබාගෙන දෙවියන්ගේ භූමියක් වූ කතරගම පිළිබඳව අපි කතා කරමු.
කතරගම සෙල්ල කතරගම වැනි ප්‍රදේශවල මස් ජාවාරම ගජරාමෙට මේ වන විට සිදු වෙනවා.
නියං සමයක පිපාසයෙන් පෙළෙන සතුන්ට කවර හෝ තැනක තිබෙන දිය බිඳක් ඇත්තටම අමාවක් වැනියි.
ඒ අමාවක් වැනි දිය බිඳටද වස දමන නරුම සමාජයක් දෙවියන් වැඩ සිටින භුමිය ආශ්‍රිතව සිටීම කනගාටුවට කරුණක්.
ඇත්තටම කතරගම දෙවියන් දේවත්වයෙන් ඉන්නවාද?
එය අප වෙනම සාකච්ඡා කළ යුතු කරුණක්.
දෙවියන් පිළිබඳව බැතිය උපදවා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දුන්නු ඉතිහාසය කෙටිකතාකරුවන්, කවියන්, ගත්කතුවරුන්, සිනමා ශිල්පීන් හා නාට්‍ය රචකයින් පිළිබඳව පසුව අපි නම් ගම් සමග එළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.
කොහොම වුණත් ලෝකයේ විවිධ දඩයක්කාරයන් ළඟ නොයෙක් වර්ගයේ ආචාරධර්ම පද්ධති තියෙනවා.
බොහෝ වෙලාවට එය ඉතිහාසයේ වැද්දන් තුළ තිබුණා යැයි කියන ජනකතාත් තියෙනවා.
එය ඇත්තටම සත්‍යයද කියන ප්‍රශ්නය පසුවට අප විපරම් කරමු.
ශිෂ්ඨ සම්පන්න යැයි කියන මිනිසා ගෝත්‍රිකයන් යැයි සලකා නිගා කරන එදා වැද්දන් තුළ තිබූ ආචාර ධර්ම වර්තමාන වැද්දන් තුළ තිබෙනවාද යන්න තවත් ප්‍රශ්නයක්.
හේතුව වැදිකම සමාජ මෝස්තරයක් බවට පත් කරගෙන යැපෙන ජන සමාජයක් තිබෙන නිසයි.
ඒ පිළිබඳවත් ඉදිරියට සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා.
සතුන්ට වස දී එම සතුන් දඩ මස් කිරීමට කතරගම වන්දනාවේ එන බැතිමතුන්ට විකිණීම සිදුවෙනවා නම් ඒවා මිලදී ගන්නා බැතිමතුන්ගේ බැතිමත් භාවය ද තේරුම්ගන්න පුළුවන්.
ඇත්තටම කතරගම යන බහුතරයක් දෙවියන් සම්ප්‍රදායිකව ඇදහූවත් දෙවි කෙනෙක් නැති බව අවබෝධ කරගෙන තමයි දඩමස් කතරගමදී භුක්ති විඳින්නේ.
කිරිවෙහෙර වැඳීමට බුද්න් වැදිමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට යන බැතිමත්හු අහිංසක සතුන්ගේ මස් රසට ලොල් වෙනවා නම් ඔවුන් තුළ තිබෙන්නේ කුමන දහමක්ද කියන වග අමුතුවෙන් කිව යුතුද?
දෙවියන් පිළිබඳව තිබෙන ඉච්ඡා භංගත්වය නිහඬව මේ බැතිමතුන්ගෙන් ප්‍රකාශ විමක් එමගින් සිදුවන්නේ නැද්ද?
දඩමසට ලොකු ඉල්ලුමක් බොහෝ විට වන්දනාකරුවන් අතර තිබෙනවා.
ඇත්තටම කතරගම වන්දනාව වන්දනාවක්ද නැත්නම් විනෝද සමයද?
බැතිබර බවක් තිබෙනවා නම් අහිංසක සතකුට කරුණාවක් දැක්විය නොහැකි තැනකට පුරවැසියා පත්වන්නේ කොහොමද?
කොහොම හරි උඩවලව ගොවි ජලගැටලුවට පත්වෙලා රටම අගාදයට පත් වුණු තැනකට ගොදුරු වී අවසන්.
තකතීරු කතා අමාත්‍යවරුන්ගෙන් හා දේශපාලන නායකයින්ගෙන් මේ වන විට දිගින් දිගට උද්ධච්ඡ මට්ටමින් සිදුවෙමින් තිබෙනවා.
වී ගොවීන්ගේ වගා විනාශ වෙමින් තියෙනවා.
ඉහළ බලධාරින් මැදිහත් වුවත් සමනල වැවෙන් මුදාහැරි ජලය ගොවීන්ගේ කුඹුරුවලට ළඟා වන විට ගොයම් පිදුරු බවට පත්වෙලා අවසන්.
50%කට අධික වගාවක් විනාශ වී ගොස් අවසන්.
රටට බත සපයන ගොවින්ගේ හඬට කන්දිය නොහැකි පසුගාමී ආණ්ඩුවක හැසිරීම භාවිතය තුළින් ප්‍රදර්ශනය වුණේ කුමක්ද?
කෘෂිකර්මයට සම්බන්ධ අමාත්‍යංශ ගණනාවක් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු ඉන්නවා.
ඔවුන්ට සියලු සැප පහසුකම් සමග විවිධ වරප්‍රසාද ලැබෙනවා.
ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ද කාලයක සිට ක්‍රියාත්මකයි.
නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් සඳහා පූර්ව සූදානමක සිටින කිසිදු වැඩපිළිවෙළක් කිසිම මේ බලධාරියකු සතුව නැහැ.
වැසි කාලයට උතුරා යන ගංගා අවසානයේදී මුහුදට දිගු වෙනවා.
මේ මුහුදට යන ජලය එක්රැස් කරගැනීමේ මාර්ගයක්, විධිමත් න්‍යාය පත්‍රයක් පැවති හා වර්තමාන රජයට නැතිකම මෙහි ප්‍රධාන ගැටලුවක්.
නියගය හෝ මහ වැසි හෝ සුළි කුණාටු හෝ ඇතිවීම අපට පාලනය කරන්න බැරි තත්ත්වයක්.
නමුත් එවැනි ස්වභාවික විපත් ඇති වන බව සියලුම දෙනා දන්නා කරුණක්.
සුළි කුණාටු කෙසේ වුවත් නියගය සහ මහ වැසි ඇතිවන කාල සීමා ගැන කල්තියා අනාවැකි අදාළ කාලගුණ විද්‍යා අංශවලින් පළ වෙනවා.
එවැනි අවස්ථාවලදී ඊට පූර්ව සූදානමක් හා විධිමත් වැඩපිළිවෙළක් නැති කම මේ සියල්ලකට මේ ඛේදවාචකවල මූලයයි.
විධිමත් සැලැස්මක් නැතිකම හා වැදි බණ කියමින් දේශපාලනය කරන රටක සහ පාර්ලිමේන්තුවක හැසිරිම භාවිතය මේ ප්‍රපාතයේ නිමිත්තයි.
ගොවීන්ගේ ජල ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බව ආණ්ඩුවේ ඇතැම් බලධාරයන් ගණනාවක්ම පසුගිය
දිනවල කියා සිටියා.
නමුත් පාඩුව සිදුවූයේ මැති ඇමැතිවරුන්ට නොවේ.
රටේ මුළු මහත් ජනතාවටමයි.
බඩගින්නේ රඟ දැනෙන්නේ සාමාන්‍ය ජනතාවටයි.
වර්තමානයේ ඇති වී තිබෙන බරපතල වියළි කාලගුණ විපත හේතුවෙන් ඉදිරි කාලයේ දී දැඩි ආහාර අර්බුදය සහ පානිය ජල හිඟය කුමන දිසාගත වීමකට රට ගොදුරු වෙයිද කියන එක පැහැදිලි චිත්‍රයක් දැනට නැහැ.
නමුත් උද්ඝෝෂණ, විරෝධතා හා රැඩිකල් දේශපාලනයේ රැස්වීම් වුවමනාවටත් වඩා ඉදිරි කාලයේදී තියෙන්න පුළුවන්.
කොහොම වුණත් මේ තත්ත්වය දිගු වීමට වැඩවසම් සමාජ ක්‍රමයත් මිත්‍යාව පසුපස ජනතාව ගමන් කිරීම මීට ප්‍රධාන සාධකයැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
කොහොම හරිම මස් මාංශ අනුභවය දෙවියන් වැඩ සිටින කතරගමත් නුවරත් මහියංගනයත් දිවයින පුරාත් සිදු වෙමින් තිබෙනවා.
හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් යන තේමා පාඨය වර්තාමාන ශ්‍රී ලංකාවට වඩාත් උචිතයි.
දඩමස් ගැන ලංකාවේ මිනිස්සුන්ට අමුතු රසයක් තියෙනවා.
ඒක අමුතු කෑදරකමක් කියල කියන්නත් බැහැ.
ඉතිහාසයේ පටන් ප්‍රාග් ජනජීවිතයේ සිට සතුන් මරාගෙන කාපු ජන කොට්ඨාශයක් ශ්‍රී ලංකා වාසීන්.
නමුත් වර්තමාන දඩයක්කරුවන්ට වාසි සහගත වී තිබෙන්නේ ස්වභාවික පරිසරයේ වියලි සමාජ පරිසරය ආශ්‍රිතවයි.
බැතිමතුන්ගේ කෑදරකමත් දඩමස්කරුවන්ගේ ම්ලෙච්ඡ හැසිරීමත් දිහා බලනකොට රටේ සමස්ත බහුතරයකගෙන් වැඩි කොටසක් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් යැයි කීම වඩාත් නිවැරදියැයි කියන්න පුළුවන්.
අහිංසක සතුන්ගේ අවාසනාවට එහෙම නැත්නම් පුරවැසියන්ගේ ආහාරපාන නොමැතිකම නිසාද යන ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කළ යුතු වෙනවා.
කොහොම වුනත් අපි ඉදිරියට දේව විශ්වාසය තවදුරටත් දිගු නොවන සමාජ ප්‍රඥාවක් වර්ධනය කළ යුතු වෙනවා.
කතරගම ඇත් රජකුට එහෙම නැත්නම් කතරගම බස්නායක නිලමේගේ ආශ්‍රිත ඇතාට වස දීමට තරම් දෙවියන් ආශ්‍රිත භූමියේ පිරිස් ක්‍රියා කරල තියෙන බවත් තේරුම්ගන්න අවශ්‍යයි.
පසුගිය 19 දා දවල් 12.30ත් 1.00ත් අතර කාලයේ දී කතරගම අලියාට එහෙම නැත්නම් දේවාලයේ ඇතාට වස දෙන්න තරම් මාෆියාවක් තිබිල තියෙනවා.
ඒ පිළිබඳව ඌව කලාපය පිළිබඳ පශු වෛද්‍ය නිලධාරි ආනන්ද ධර්මකීර්ති අලියා පරීක්ෂා කර තිබෙනවා.
අලියාගේ ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශනට මේ ගැන සැක හිතලා කතරගම පොලිසියට පැමිණිලි කරල තියෙනවා.
මේ වන විට කතරගම පොලිසිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට අරගෙන තියෙනවා.
අසේල අලියාගේ ඇත්ගොව්වා ලෙස කලක් සේවය කළ ඇති පුද්ගලයෙක් තමයි මෙසේ අත්අඩංගුවට ගෙන තියෙන අයගෙන් එක් අයෙක්.
අනෙකා බීමතින් අලියා බලාගැනීම නිසා ඔහු සේවයෙන් ඉවත් කර සිටි පුද්ගලයෙක්.
අලියාට විස ද්‍රව්‍යක් යෙදූ පලතුරක් ලබාදී අලියා මරන්නේ තවත් තිරය පිටුපස බොහෝ කරුණු අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්.
කතරගම අභිනවාරාමයේ පැවැත්වෙන පූජාවට නිරන්තරයෙන් පැමිණෙන පුද්ගලයෙක් ද මේ සැකකරු සමග කතා බස් කර කුලුපඟ වීම හේතුවෙන් ඔහු ලවා පැණි කොමඩු ගෙඩියට අලියාට ලබාදීමට උත්සාහ ගෙන තිබෙන බවක් ද මේ අතර වාර්තා වෙනවා.
කොහොම වෙතත් කතරගම පෙරහැරේ කරඬුව වඩම්මන අලියාට දෙවියන් වැඩ සිටින භූමියක පුරවැසියන් දෙදෙනෙක් පැණි කොමඩු ගෙඩියකට වස ඇතුළත් කර අසේල නමැති අලියාට ලබාදීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළත් ඒ ආශ්‍රිත පුද්ගලයින්ගෙනුත් දෙවියන් පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බව නොවේද?
තව කොටසක් මේ ගැන දිගින් දිගටම දේවත්වය පිළිබඳ විවිධ පැතිවලින් මානවලින් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න