පළමු කොටස
රාජ්‍ය දේපළ වංචා කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය එහෙම නැත්නම් අල්ලස් ලබාගැනීම ඇත්තටම නීති විරෝධී තත්ත්වයක්.
අල්ලස් හෝ සාවද්‍ය පරිහරණය තුළින් මුදල් උපයාගත් රාජ්‍ය නිලධාරින් ඒ මුදල්වලින් යම් ප්‍රාග්ධනයක් උපයාගෙන දේපලක් මිලදී ගෙන සත්‍ය වසංකර තිබේ නම් ඊටත් පිළියම් ලංකා නීතිය යටතේ ප්‍රතිපාදන තිබෙනවද?
ඇත්තටම එවැනි අයුතු ලෙස මුදල් උපයාගත් දේපල දිවයින පුරා කොහේ තිබුණත් නැවත පොදු ජනතාවටම පවරාගැනීම සඳහා ලංකාවේ නීති ප්‍රතිපාදන තිබෙනවා.
එය මීට වසර 100කට ආසන්න පෙර පනවන ලද එහෙම නැත්නම් ඒ ආසන්න කාලයක තුළ ගොනු වුනු අධිරාජ්‍යවාදී යුගයේ නීති නෛතික පනත් තියෙනවා.
ඉන් 1917 අංක 09 දරණ භාර ආඥා පනතේ ප්‍රතිපාදන දූෂණයෙන් හෝ වංචාවෙන් උපයාගත් දේපල රජයට පවරා ගැනීමට අදාල අංශවලට ක්‍රියා කරන්න පුළුවන්.
මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කිරීමේදී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ආරම්භය හා විකාශනය අප තේරුම් ගන්න අවශ්‍යයි.
ලංකාවේ නිදහස ලැබෙන්නේ 1948දී.
ලංකාවට නිදහස ලැබීමට පෙර ඉංග්‍රීසි පාලනයේ රාජ්‍ය ව්‍යවසාය ස්ථාපනය කර තිබුණා.
මූලික වශයෙන් භාණ්ඩ හා සේවාව සැපයීම සඳහා එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව බහුලව හා මූලිකව යොදාගනු ලැබුවේ රජයේ දෙපාර්තමේන්තු ක්‍රමයයි.
ඉංග්‍රීසි පාලන කාලය තුළ සිවිල් පරිපාලන කටයුතු රජයේ දෙපාර්තමේන්තු මගින් එවකට සිවිල් සේවය යනුවෙන් හඳුන්වන ලද පරිපාලන නිලධාරින් යටතේ පවත්වාගෙන ගියා.
තැපැල් සේවය, 1855දී ආරම්භ වෙලා තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුවත් දුම්රිය සේවය සඳහා 1880දී ආරම්බ වී තිබෙනවා.
කර්මාන්ත සංවර්ධන සඳහා එතරම් එදා ඉංග්‍රීසි පාලනය උනන්දුවක් දක්වලා නැහැ.
රජයේ දෙපාර්තමේන්තු ක්‍රමයෙන් බැහැරව රාජ්‍ය සංස්ථා ව්‍යාවස්ථාපිත මණ්ඩල හෝ අධිකාරිය සංස්ථාපිත ආයතන ඇති කිරීම සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන් කිසියම් උනන්දුවක් දක්වල නැහැ.
පොල් පර්යේෂණ මණ්ඩලය 1928 අංක 27 දරණ ආඥා පනත යටතේ ස්ථාපනය කර තිබෙනවා.
එය වාණිජමය පරමාර්ථ මූලික කරගෙන කරන ලද්දක් බව කියන්න බැහැ.
රාජ්‍ය ව්‍යවසාය යන ගණයට එය අයත් වන්නෙත් නැහැ.
එසේම 1930 අංක 10 දරණ ආඥා පනත මගින් රබර් පර්යේෂණ ආයතනය සංස්ථාපනය කර තිබෙනවා.
1931 අංක 16 දරණ ආඥා පනත මගින් රාජ්‍ය උගස් බැංකුව සංස්ථාපනය කර තිබෙනවා.
මේ අනුව බලනකොට රාජ්‍ය උගස් බැංකුව මෙරට ප්‍රථම වාණිජමය රාජ්‍ය ව්‍යවසාය බැංකුව බව පිළිගන්න පුළුවන්.
දෙවන ලෝක යුද්ධය සමග ඇතිවුණ ප්‍රබල ආර්ථික ගැටලු‍ හමුවේ රජයට නිෂ්පාදන හා කර්මාන්ත පදනම් කරගත් වාණිජමය පරමාර්ථ උදෙසා රජයේ දෙපාර්තමේන්තු යොදාගැනීමට නොහැකි වෙලා තිබෙනවා.
එවකට පැවති ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවට මේ බව පෙනී ගිහිල්ල තිබෙනවා.
රජයේ දෙපාර්තමේන්තු ක්‍රමය ව්‍යවසායකත්වය කාර්යභාරය සඳහා යෝග්‍ය නොවන බැවින් රාජ්‍ය අයිතිය යටතේ ඒ සඳහා සුදුසුම සංවිධාන ව්‍යුහය රාජ්‍ය සංස්ථා බවත් රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා එසේ අත්‍යවශ්‍ය බවත් එදා පිළිගෙන තිබෙනවා.
බි්‍රතාන්‍ය පාලනයෙන් අප නිදහස ලබා දැනට අඩසිය වසකට වඩා ගත වී තිබෙනවා.
ඒ නිදහස ලැබීමෙන් අඩ සියවසක් ගත වීමෙන් පසුවත් අපහට ආර්ථික නිදහස අත්කරගැනීමට නොහැකි වී තිබෙනවා.
මේ අනුව 1933 එවකට කම්කරු කටයුතු කර්මාන්ත හා වාණිජ ඇමතිව සිටි පෙරුසුන්දරම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ වාර්තාවක පහත සඳහන් කරුණු අවධාරනය කරල තිබුණා.
ලංකාව කාර්මික කරණය වීම අවශ්‍ය බව.
කර්මාන්ත පිහිටුවීමට රජය මැදිහත් විය යුතු බව සහ ඒවගේම ආනයනය ආදේශන කර්මාන්ත පිහිටුවිය යුතු බවත් අදාළ කරුණුවල අන්තර්ගතව තිබෙනවා.
බැංකුකරණය සහ ණය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම පිණිස 1934 දී ආණ්ඩුව විසින් ලංකා බැංකු කොමිසම යනුවෙන් කොමිසමක් පත් කරල තිබෙනවා.
මේ කොමිසම නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබුණා.
රාජ්‍ය මැදිහත්වීම යටතේ වාණිජ බැංකුවක් පිහිටු විය යුතු බව එයින් ප්‍රධාන වෙනවා.
ඒ අතර තවත් වැදගත් නිර්දේශ තිබෙනවා.
1934 අංක 53 දරණ ලංකා බැංකු ආඥා පනත සම්මත වුණා.
1939 අගෝස්තු මස ලංකා බැංකුව රාජ්‍ය සංස්ථාවක් ලෙස ඉන් පස්සේ සංස්ථාපනය වෙලා තියෙනවා.
1942 අංක 20 දර්ණ විශ්වවිද්‍යාල ආඥා පනත යටතේ ලංකා විශ්වවිද්‍යාලය සංස්ථාපනය කර තිබෙනවා.
මේ සඳහා ලංකා වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාල කොලිජිය ඒකාබද්ධ කර තිබෙනවා.
ඉන් අනතුරුව 1943 අංක 18 දරණ ආඥා පනත මගින් කෘෂිකාර්මික හා කාර්මික ණය සමායතනය රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපනය කර තිබෙනවා.
මේ ආදී වශයෙන් ලංකාවේ ආයතන ව්‍යුහය දිගු වෙමින් රට පුරා දිසාගත වෙමින් ඇවිල්ල තියෙනවා.
මේ දිසාගත වීම ලංකාවේ ප්‍රගතියට කොච්චර දුරට වටිනාකමක් ඇති කරල තියෙනවද කියන පසුබිම හමුවේ ලංකාවේ රාජ්‍ය සේවය දූෂණයෙන් පිරුණු තත්ත්වයකට මේ වන විට රට තල්ලු‍ වෙලා තියෙනවා.
ඒ නිසා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2018 කාර්ය සාධන වාර්තාවට අනුව බොහෝ ආයතන මෙහිදී සංස්ථාපනය වුණු ආකාරය පැහැදිලි කරගන්න අවශ්‍යයි.
අද ලංකාව දූෂණය ගැන කොතරම් කතා කළත් රාජ්‍ය දේපල වංචා කිරීම සම්බන්ධව කතා කරත් රාජ්‍ය ආයතනවල විකාශනය ඒ සංස්ථාපනය වුණු ආකාරය පිළිබඳව නිරවුල් අවබෝධයක් ලංකාවේ ප්‍රජාවට නැහැ.
ඒ නිසා ලංකාවේ රාජ්‍ය අංශය දීපව්‍යාප්තව ව්‍යාප්ත වුණු ආකාරය අප පළමුවෙන්ම තේරුම්ගැනීම ඉතා වැදගත්.
1948 ලංකාව ඉංග්‍රීසි පාලනය නිදහස ලැබීමෙන් පසුව රාජ්‍ය ව්‍යවසායන් බිහි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම ආරම්භ වුණා.
රටේ ආර්ථික දියුණුව සඳහා කාර්මික නිෂ්පාදන යොමු විය යුතු බව මතු වූ කරුණක්.
පෞද්ගලික අංශයට කාර්මික නිෂ්පාදනවලට සම්බන්ධවීමට අවශ්‍ය පහසුකම් රජයක් විසින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ඒ වන විට ස්වදේශීය පාලකයින් පිළිගෙන තිබුණා.
ලංකාවේ පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගෙන තිබූ තීරණයට ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව ලෝක බැංකුව එකගත්වය පළ කර තිබුණා.
රජය ඍජුවම කර්මාන්ත නිෂ්පාදන හා වෙළෙඳ කටයුතු සඳහා රාජ්‍ය සංස්ථා පිහිටවනු ලැබුවා.
පොදුවේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා අවශ්‍ය විවිධ සේවා සැපයීමේ අරමුණින් බොහෝ සංස්ථා රට තුළ බිහි වුණා.
මේ අතර රනිල් වික්‍රමසිංහ රජය මේ වන විට යම් තීරණයක් ගෙන තිබෙනවා.
එනම් ඉදිරි කාලය තුළ තවදුරටත් රාජ්‍ය ආයතනවලට මුදල් පොම්ප කිරීමට රජය ක්‍රියා නොකරන බවයි.
ඒ පිළිබඳව පසුවට විස්තර විවරණය කිරීමේ හිමිකම තබාගෙන වර්ෂ 1953ට පසුව කර්මාන්ත පිහිටුවීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනස අප තේරුම්ගන්න අවශ්‍යයි.
රජය එදා මූලික වී කාර්මික අංශයේ සංස්ථා පිහිටුවීම සිදු කළා.
පෞද්ගලික අංශයට ඒවා සම්බන්ධ වීමට අවස්ථාව තිබිය යුතු බවට ලෝක බැංකුව විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් එදා රජයට පෙන්වා දී තිබෙනවා.
ඇතැම් රාජ්‍ය කාර්මික සංස්ථා ඒ වන විටත් අලාභ ලබන තත්ත්වයක තිබුණා.
රජය කාර්මික නිෂ්පාදනවලින් ඉවත්විය යුතු බවට ගෙන එන ලද තර්කය එයින් වඩාත් තහවුරු වුණා.
ඒ වන විටත් ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් රජයේ කර්මාන්තශාලා වශයෙන් පවත්වාගෙන ගියා.
නෛතික පුද්ගල භාවය ලබාදීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට ඒ වන විට පත් වී තිබුණා.
මේ අනුව 1955 අංක 19 දරණ ගවන්මන්ට් ස්පොන්සර්ඩ් කොපරේෂන් ඇක්ට් (Government Sponsored Ca‍orporation act) සම්මත කරා.
ඇතැම් රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය සංස්ථා බවට පරිවර්තනය කර අවශ්‍ය ප්‍රාග්ධනය රජය ඒ සඳහා මුලින්ම සැපවූවා.
දෙවනුව එකී රාජ්‍ය සංස්ථාවල කොටස් ප්‍රාග්ධනය මහජනතාවට නිකුත් කරා.
අවසානයේදී රාජ්‍ය සංස්ථාවේ කොටස් ප්‍රාග්ධනයෙන් 20%කට වඩා අඩු ප්‍රතිශතයක් රජය තබාගෙන තිබෙනවා.
ඒ රාජ්‍ය සමාගම් නීතිය යටතේ සීමාසහිත සමාගම් යටතට පරිවර්තනය කෙරුණා.
එසේ කිරීමෙන් එකී සමාගම්වලට බහුතර කොටස් ප්‍රාග්ධනය පෞද්ගලික අංශයට විවෘත කර තිබෙනවා.
රජයේ දෙපාර්තමේන්තු යටතේ තිබූ කර්මාන්ත රාජ්‍ය සංස්ථා බවට පත් කිරීම අදාළ පනත යටතේ සිදුවී තිබෙනවා.
මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරනව නම් රාජ්‍ය දේපල වංචා කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය හෝ අල්ලස් ලබාගැනීම මගින් මිලදී ගන්නා ඕනෑම දේපලක් නැවත ජනතාව වෙතම පවරාගැනීම සඳහා රටේ නීති ප්‍රතිපාදන සකස් වී තිබෙනවා.
1917 අංක 09 දරණ භාර ආඥා පනතේ ප්‍රතිපාදන දූෂණය හෝ වංචාවෙන් උපයාගත් දේපල රජයට නැවත පවරාගැනීමට අවශ්‍ය කටයුතු කරන්න නෛතික ඒ අනුව පදනමක් තිබෙනවා.
1918 අංක 09 දරණ භාර ආඥා පනතේ 90 වගන්තියේ මෙහෙම දැක්වෙනවා.
භාරකරුවකු, පොල්මන්කරුවකු, හවුල්කරුවකු, සමාගමක අධ්‍යක්ෂකවරයකු, නීති උපදේශකයකු හෝ වෙනත් පුද්ගලයකුගේ බැඳියාවන් සුරැකීමට විශ්වාසිත ස්වරූපයකින් බැඳුණු වෙනත් පුද්ගලයකු ස්වකීය ඒකී ස්වරූපය උපයෝගී කොට ගෙන තමාට කිසියම් මූල්‍ය ලාභයක් ලබාගන්නා විටදී හෝ එසේ බැඳුණු කවර හෝ පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ගේ බැඳියාවන් සහ සිය බැඳියාවන් ගැටෙන පරිවේශයන් යටතේ කිසියම් ගනුදෙනුවකට මැදිහත් වී ඒ මගින් මූල්‍යමය වාසයක් ලබාගන්නා විටදී ඔහු විසින් එසේ ලබා ගන්නා වාසිය අනෙක් තැනැත්තාගේ යහපත සඳහා දැරිය යුතුය යන භාර ආඥා පනතේ 91 වන යටතේ මෙසේ සඳහන් වෙනවා.
අයකු බලපෑම යෙදවීම මගින් අනෙකුත් බැඳියාවන් යටපත් කරගෙන කිසියම් වාසියක් ලබාගැන්ම විටදී එවැනි බලපෑමක් යොදා ගන්නා බව දනිමින් හෝ ප්‍රතිශ්තාපනයකින් තොරව එසේ වාසිය ලබගන්නා පුද්ගලයා විසින් එලෙස හානි සිදුවූ බැඳියාවන් ඇති පුද්ගලයාගේ යහපත සඳහා එකී වාසිය දැරිය යුතු වන්නේය.
ඉහත වගන්ති දෙක අන්තර්ගත වන භාර නීතිය ඉංග්‍රීසි නීති සංකල්පයක් ඉංග්‍රීසි නීතියේ හොඳම යොදා ගැනීම මේ භාර නීතිය බවට නීතිවේදීන් ප්‍රකාශ කර තිබෙනවා.
භාර නීතියේ අදහස නම් යම් දේපලක් යම්කිසි සුවිශේෂ තත්ත්වයන් යටතේ යම් අයකුගේ නමින් පැවතුණ ද ඔහු විසින් එකී දේපල වෙනත් අයකුගේ යහපත සඳහා භාරකරුවකු ලෙස දැරිය යුතු බවයි.
දේශපාලකයා යනු මහජන ඡන්දයෙන් මහජනතාවගේ විශ්වාසයෙන් දිනා ජනතාව පාලනය කිරීමට පත් වන පිරිසක්.
ඇත්ත වශයෙන්ම දේශපාලනයත් දේශපාලකයාත් ජනතා දේපල සීමිත කාලයක් සඳහා පත්වන පිරිසක්.
එවැනි පුද්ගලයන් විසින් තමන් ලබාගත් විශ්වාසනීයත්වය හේතුකොටගෙන හෝ අයුතු බලපෑම් යෙදවීම මගින් කිසියම් ලාභයක් ලබන්නේ නම් එළෙස ලබන ලාභය මහජන දේපලක්.
එවැනි අවස්ථාවක එකී පුද්ගලයන් හට අපරාධ වගකීම පැවරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.
පුද්ගලයන්ට දඬුවම් ලබාදීම පමණක් මගින් සිදු වන්නේ ඔහු ලබාගත් අයුතු ලාබය ඔහුගේ අයුතු ධනවත්විම සඳහා යෙදවීමට අවසර ඇති බවක්.
කොහොම වෙතත් දූෂණ විරෝධී පනත ලංකාවේ මැතකදී පාර්ලිමේන්තුවෙන් සම්මත වුණා.
කොහොම හරිම මෙවැනි බොහෝ කරුනු අනුව පෙනී යන සත්‍යය කුමක්ද?
ඒ අනුව ලංකාවේ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යනුවෙන් පොදු පනතක් සම්මත කරගෙන තිබෙනවා.
ඒ පනත යටතේ මේ රාජ්‍ය ආයතන බිහි කරල තියෙනවා.
ජාතික රෙදිපිළි සංස්ථාව, සළුසල, තෙල් සහ මේද සංස්ථාව, පරන්තන් කෙමිකල් සංස්ථාව, ලංකා පිගන් සංස්ථාව, ජාතික කුඩා කර්මාන්ත සංස්ථාව, ජාතික ලුණු සංස්ථාව, ලංකා ඛනිජ වැලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, නැගෙනහිර කඩදාසි කර්මාන්ත සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, ලංකා සම්භාණ්ඩ සංස්ථාව, ලංකා ටයර් සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලංකා රාජ්‍ය ලෝහභාණ්ඩ සංස්ථාව, ලංකා රාජ්‍ය පිටි කර්මාන්ත සංස්ථාව, ලංකා පොහොර සංස්ථාව, ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය දැව සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව.
1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා අදාළ පනත යටතේ මේ බිහි කරපු කර්මාන්ත ආයතන ලංකාවේ පොදු මහජනතාවගේ ආශිර්වාදයට තුඩු දී තිබෙනවද?
රජය මූලික වී කාර්මික අංශයේ සංස්ථා පිහිටුවීම සිදු කළත් පෞද්ගලික අංශයට එයට සම්බන්ධවීමට අවස්තාව ලබාදිය යුතු බවටත් ලෝක බැංකුව විසින් කරනලද අධ්‍යයනය මගින් පෙන්වා දී එදා තිබුණා.
කොහොම හරි ඇති ගැටලුව නම් රාජ්‍ය සංස්ථා සංස්ථාපනය කිරිම මොන ක්‍රමයක් යටතේ සිදු වුවත් එය අද පොදු ප්‍රජාවගේ ආශිර්වාදයට තුඩු දී තිබෙනවාද යන ගැටලුවයි.
කිසියම් ප්‍රධාන පොදු පනතක් සම්මත කර එම පනත යටතේ විවිධ රාජ්‍ය සංස්ථා පිහිටුවීම සිදු වුණා.
අදාළ පොදු පනතේ ඇති ප්‍රතිපාදන යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන නිවේදනයක් යටතේ විවිධ අරමුණු උදෙසා සංස්ථා පිහිටුවනු ලැබුවා.
මේ යටතේ සම්මත කරන ලද ප්‍රධාන පොදු පනත් තවදුරටත් තුනක් සඳහන් කරන්න පුලුවන්.
1957 අංක 49 දරණ පනත, 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනත, උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පනත යටතේ 1967 කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුවා.
පසුව විද්‍යෝදය හා විද්‍යාලංකා විද්‍යාල මෙම පනත යටතේ ගෙන එනු ලැබුවා.
1970 අංක 33 දරණ රාජ්‍ය වානිජ සංස්ථා පනත, උදාහරණයක් විදියට ශ්‍රී ලංකා රාජ්‍ය පොදු වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකා වානිජ රෙදිපිළි සංස්ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ ට්‍රැක්ටර් සංස්ථාව මේ අදාළ පනත යටතේ පිහිටවනු ලැබූ ආයතන.
මේ ආයතන අතරින් බහුතරයක් වැසී ගොස් එහෙම නැත්නම් සේවා ආයතන අත්හිටුවා තිබෙනවා.
ජනසතු ව්‍යාපාර, මහජනතාවට කොටස් නිකුත් කරන ලද රාජ්‍ය සංස්ථා ආදී වශයෙන් බොහෝ දේවල් බොහෝ පැති අපිට ඉදිරි කාලයේදි කතා කරන්න පුළුවන්.
ආණ්ඩුවක් විශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් මේ වන විට ලබාගෙන තිබෙනවා.
එහෙත් අපට ඇති සෑම පුරවැසියකුම, මානවයකු ලෙස ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට තවමත් අදාළ රජයන් අසමත් වෙලා තිබෙනවා.
ජනතාව වෙනුවෙන් ලබාගත් විදේශ ණය ඇත්තවශයෙන්ම ජනතාව සඳහා වැය කෙරුවද කියන ප්‍රශ්නය මතු වී තිබෙනවා.
රටේ වර්තමාන තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයකට තල්ලු වෙමින් තිබෙනවා.
විදේශ ණය වලින් ඉතා විශාල ප්‍රමාණයක් දූෂිත නිලධාරින් මගින් නැත්නම් දූෂිත දේශපාලනඥයන් විසින් දූෂිත නිලධාරින් මගින් වංචා කරන සමාජ රටාවක් ලංකාව තුළ ස්ථාපිත වී තිබෙනවා.
ඒ වංචා සහගත ජනතා දේපල ඒ තුළින්ම ප්‍රතිරූප ගොඩනගා ගත් ලංකාවේ රාජ්‍ය නිලධාරින් හා දේශපාලනඥයන් යහමින් වැජඹෙමින් තිබෙනවා.
ඒ අනුව තවදුරටත් ජනතාව තේරුම් ගන්න ඕන ඔවුන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න.
ඒ සඳහා දේශපාලන සාක්ෂරතාවයක් පොදු ජනතාවට ලබාදීමට රැඩිකල් යැයි කියන වාමාංශික දේශපාලන පක්ෂ උනන්දු නොවීම තවත් ගැටලුවක්.
මේ පිළිබඳව තවදුරටත් ඉදිරි ලේඛනවලින් විමසමු.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න