10 කොටස
2012 දෙසැම්බර් 04 වැනි අඟහරුවාදා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරොදියම් සම්බන්දන් මහතා
පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්, ධම්මික දසනායක මහතා,
කේ. ඒ. රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

  1. කල් තැබීමෙන් අනතුරුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුලසුන දැරීය.
    2.
    (i) ගරු අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන්ගේ සමාගමේ ඉල්ලීම පරිදි 2012 නොවැම්බර් 23 වැනි දින පත්වන ලද රැස්වීමේ කටයුතු පිළිබඳ විස්තර ඔවුන්ට භාර දෙන ලද බව,
    (ii) 2012 නොවැම්බර් 4 වැනි දින පැවැත්වීමට නියමිත ඊළග රැස්වීම පිළිබඳව ගරු අගවිනිසුරුතුමියට දැනුම් දෙන ලද බව,
    (iii) 2012 නොවැම්බර් 29 දාතමින් යුතු අතුරු විත්ති වාචකයක් නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන්ගේ සමාගම වෙතින් ලැබී ඇති බව, සහ
    (iv) කාරක සභාවට අවශ්‍ය ලිපි ලේඛන අදාළ ආයතනවලින් ඉල්ලු‍ම්කර ඇති බව සහ එම ලේඛන ලේකම් කාර්යාලය වෙත ලැබෙමින් පවතින බව,
    ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
    එම ලිපි ලේඛන ලබාගන්නා ලෙස කාරක සභාව විසින් නියෝගයක් කරනු ලැබුවේදැයිවිමසමින් ගුරු ජෝන් අමරතුංග මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ලේකම්වරයා, කාරක සභාවේ කටයුතු පිළිබඳ පදානුගත වාර්තාවේ 89 වැනි පිටුවේ දැක්වෙන “අවශ්‍ය ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මගින් ලබාගන්නා බවට මම වැඩිදුරටත් තීරණය කරමි.” යනුවෙන් කියැවෙන තීන්දුවක් සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ලබාදී ඇති බව සඳහන් කළේය.
  2. ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් අදාළ ලිපි ලේඛන ගරු කථානායකවරයා වෙත ලැබී ඇති බව ගරු නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය වෙත දැනුම් දී ඇති බැවින් එබඳු තත්ත්වයක් තුළ ලිපි ලේඛන නිසි පරිදි ලැබී නොමැති බව පැවසීම වැරදි බව ගරු විජිත හේරත් මහතා කාරක සභාවේ වඅධානයට යොමු කළේය.
    අදාළ ලිපි සාමාජිකයන්ගේ පදිංචි ලිපිනයන්ට යොමුකර ඇති බවත්, සාමාජිකයන් වෙනුවෙන් ගරු කථානායකතුමාට එබඳු ලිපි භාරගැනීමට නොහැකි බවත් එබැවින් ලේඛන නිසි අයුරින් ලැබී ඇති බවට පිළිගත නොහැකි බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.
  3. 2012 නොවැම්බර් 23 දින පවත්වනු ලැබූ රැස්වීමේ කාර්ය සටහන් කියවා සම්මත කරන ලදී.
  4. ස්ථාවර නියෝගවල විමර්ෂණය සිදු කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් පිළිබඳව විධිවිධාන සලස්වා නොමැති බැවින් විමර්ශනය සිදු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කරගැනීම අවශ්‍ය බව ගරු විජිත හේරත් මහතා කාරක සභාවේ අවධානයට ලක් කළේය.
    පටිපාටියට අදාළ කරුණු සහ සාධන සම්මත පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් ගරු ජෝන් අමරතුංග මහතා කාරක සභාවේ අවසරය ඇතිව ලිඛිත කරුණු දැක්වීමක් කියවන ලදී.
    කාරක සභාව සතු අධිකරණ බලය සහ පක්ෂග්‍රාහී බව වැනි කරුණු පිළිබඳව ඇති මූලික විරෝධතා සම්බන්ධව කාරක සභාව විභාග කර තීරණයක් ලබාදිය යුතු බව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
    අවශ්‍ය වුවහොත් කාරක සභාවේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට කටයුතු කළ යුතු බව ගරු ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරන ලදී. මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට එකගවිය නොහැකි බව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
    කාරක සභාවට සිය කාර්යයන් මනාව ඉටුකිරීම සඳහා අතුරු ව්‍යවස්ථ ාසහ ස්ථාවර නියෝග පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කර ලබා දිය යුතු බව ගරු රාජවරෝදියම් සම්බන්දන් මහතා කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබීය.
  5. දැනටමත් මහලේකම් කාර්යාලයට ලැබී ඇති ලේඛනවල පිටපත් සාමාජිකයන්ට ලාබදෙන බව සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි කාරක සභාවේ ලේකම්වරාය විසින් දැනුම් දෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ද, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ද, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ද, රිවිර පුවත්පතේ ප්‍රධාන කතෘවරයාගෙන්ද, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයාගෙන් ද, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල්වරයාගෙන් ද, අදාළ බැංකුවලින් ද සහ අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්වරයාගෙන් ද ලේඛන ඉල්ලා ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
    අදාළ ලේඛනවල සහතික කළ පිටපත් කාරක සභාව කැඳවා ඇති බව, ගරු නියෝමාල් පෙරේරා මහතා ඉල්ලා සිටි පැහැදිලි කිරීමකට පිළිතුරු ලෙස සභාපතිතුමා දැනුම් දුන්නේය. කාරක සභාව විසින් විමර්ශනය කිරිමට නියමිත කරුණු පිළිබඳව වඩා පැහැදිලි චිත්‍රයක් ලබාදෙන බැවින් හැකිතාක් ලේඛන ලබාගැනීම වැදගත් බව ද සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
  6. කාරක සභාව විසින් පහත දැක්වෙන නිතිඥවරුන් ද සමග අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය කැඳවන ලදී.
    ජේ. රොමේෂ් ද සිල්වා මහතා, ජනාධිපති නීතිඥ
    ජනාධිපති නීතිඥ නලීන් ලද්දුහෙට්ටි මහතා, ජනාධිපති නීතිඥ
    සාලිය කේ. එම්. පීරිස් මහතා, ජනාධිපති නීතිඥ
    සුගත් කල්දේරා මහතා, නීතිඥ
    රියාස් අමින් මහතා, නීතිඥ
    කන්දයියා නීලකන්දන් මහතා, නීතිඥ
    ඉරාජ් ද සිල්වා මහතා, නීතිඥ
    නීතිඥ සරවනන් නීලකන්දන් මහතා ද තම කණිෂ්ඨ නීතිඥ මඩුල්ල ඇතුළත් කරන ලෙසත්, කාරක සභාවේ සාකච්ඡාවන්ට සහභාගිවීමට ඔහුට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රමේෂ් ද සිල්වා මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
    නීතිඥ සරවනන් නීලකාන්දන් මහතා නීතිඥ මඩුල්ලට ඇතුළත් කිරීමට අවසර දුන් සභාපතිවරයා තවත් කිසිවෙකු හෝ ඇතුළත් කිරීමට අවසර නොදෙන බව ප්‍රකාශ කළේය.
    ඒ අනුව නීතිඥ සරවනන් නීලකාන්දන් මහතා කාරක සභාව හමුවට පැමිණියේය.
  7. ස්ථාවර නියෝග 78අ (8) හි සඳහන් “මෙම නියෝගයේ (2) වන ඡේදය යටතේ පත් කරනු ලැබූ විශේෂ කාරක සභාවේ විමර්ශනයට සම්බන්ධ සියලු‍ කටයුතු එකී විනිශ්චයකාරවරයාට විරුද්ධව නගා ඇති කවර හෝ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු වී ඇතැයි එකී විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබන්නේ නම් හා එසේ කරනු ලබන තෙක් ප්‍රකාශයට පත් නොකළ යුත්තේය යන්නෙහි” අවශ්‍යතාවය වනුයේ එකී විනිශ්චයකාරවරයා වැරදිකරු නොවුවහොත් ඔහු/ඇය ආරක්ෂා කිරීම වන බවත් තම සේවාදායකයා එම ආරක්ෂාව ඉල්ලා සිටීමෙන් වැලකී සිටින බැවින් කාරක සභාවේ කටයුතු ප්‍රසිද්ධියට පත්කිරීම අවශ්‍ය බවත් ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය. කාරකසභාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන්ට අවසර ලබා දෙන ලෙසටත් හෙතෙම ඉල්ලා සිටියේය.
    අග්‍රවිනිශ්චයකාරවරියට එකී ආරක්ෂාව අවශ්‍ය නොවන්නේ නම් කාරක සභාව එම ඉල්ලීම සළකා බැලිය යුතු යැයි රාජවරෝදියම් සම්බන්දන් මහතා කියා සිටියේය.
    ස්ථාවර නියෝග අංක 130 අ (ii) හි සඳහන් “රැස්වීම්වලට ආගන්තුක පුද්ගලයින් ඇතුළත් කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය යම් කාරක සභාවක හෝ අනුකාරක සභාවක සභාපති විසින් නිශ්චය කළ යුත්තේය” යන කරුණ මතු කළ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල හා ගරු විජිත හේරත් යන මහතවරුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තීරණයක්ගැනීමේ අයිතිය සභාපතිවරයා සතුවන බවයි.
    ස්ථාවර නියෝග 78 අ (8) අනුව එම ඉල්ලීම සළකා බැලීම කළ නොහැකි බව සභාපතිවරයා දන්වා සිටියේය.
    සභාපතිවරයාගේ තීරණය පිළිබඳව සිය විරෝධය සටහන් කරගන්නා ලෙස ගරු ජෝන් අමරතුංග, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල හා ගරු විජිත හේරත් යන මහත්වරු දන්වා සිටින ලදී.
  8. තමා දන්නා පරිදි අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විස්තර ඉල්ලා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විවිධ ආයතන වෙත ලිපි යවා ඇති බවත්, එය වැරදි ක්‍රියාවක් බවත් ජනාධිපති නිතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් පවසන ලදී. තමන්ට ද පිටපත් සහිතව සාක්ෂිකරවැන්ගේ හා ලේඛනවල ලැයිස්තුවක් කාරක සභාව වෙත ඉදරිපත් කොට, ලබාගත යුතු ලේඛන හා එම ලේඛන ලබාගත යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න තමන් ඉදිරිපිටදී කාරක සභාව විසින් තීරණය කළ යුතුව තිබුණු බව හෙතෙම තවදුරටත් කියා සිටියේය. පාර්ලිමේන්තු විශේෂ කාරක ෂභා සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය වූයේ ඊට අවශ්‍ය වන්නා වූ ලේඛන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හරහා ගෙන්වා ගැනීම බැවින් එම කාරක සභාව සභාව සම්බන්ධයෙන්ද එම ක්‍රමවේදය අනුගමනය කළ බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. අවශ්‍ය ලේඛන කාරක සභාව වෙත ලැබීමෙන් අනතුරුව එම ලේඛන කාරක සභාව විසින් සලකා බලා ඒවායේ පිටපත් අග්‍රවිනිශ්චයකාරවරිය වෙත ලබාදෙන බව හෙතෙම තවදුරටත් පැවසීය.
  9. චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට වැඩිපුර කාලයක් ඉල්ලා සිටි රොමේෂ් ද සිල්වා මහතා දෝෂාභියෝග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස ආගමික නායකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බව පැවසීය. එසේම අදාළ ලේඛන විත්තිකාර පාර්ශ්වය වෙත ලබාදෙන ලෙස හෙතෙම තවදුරටත් ඉල්ලා සිටියේය.
    (අ.භා. 1.00ට දිවා ආහාරය සඳහා කල් තබන ලද කාරක සභාව නැවත අ.භා. 2.30ට රැස්විය)
  10. කාරක සභාව විසින් ඉල්ලා ඇති ලේඛනවල ලැයිස්තුවක් හා දැනටමත් කාරක සභාව වෙත ලැබී ඇති ලේඛනවල ලැයිස්තුවක් සභාපතිවරයා විසින් කියවන ලදී. කාරක සභාව වෙත දැනුම් දීමෙන් අනතුරුව කාරක සභාවට අවශ්‍ය වෙනත් ලේඛන ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය. යම් යම් ලේඛන ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ගරු නියෝමාල් පෙරේරා මහතා විසින් මතු කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
    මෙම ලේඛන අධ්‍යයනය කොට ඉන්පසු අදාළ ලේඛන අග්‍රවිනිශ්චයකාරතුමියට ලබාදීමට මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව තීරණය කළේය.
  11. අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇගේ නීති උපදේශකවරුන්ද සමග කාරක සභාව වෙත කැඳවන ලදී.
  12. චෝදනාවලට විරුද්ධ නම්‍ විස්තරාත්මකව විත්ති වාචක ඉදිරිපත් කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කාරක සභාවෙන් ඉල්ලීමක් කළේය.
    අග්‍රවිනිශ්චයකාරතුමිය විසින් චෝදනා කළ පරිදි පක්ෂග්‍රාහී බව පිළිබඳව ගැටලු‍ව සම්බන්ධයෙන් තම කරුණු ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගෙන් කාරක සභාව ඉල්ලා සිටියේය.
    ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා සහ ගරු විමල් වීරවංශ මහතා සම්බන්ධනේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය. මෙම කරුණට අදාළව පහත සඳහන් ලේඛන ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.
    (i)A3 ලෙස සලකුණු කරන ලද වෛද්‍ය සේනාරත්න මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සම.
    (ii)A4 සහA5 ලෙස සලකුණු කරන ලද ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යංශයට නිදහස් කරමින් වෛද්‍ය සේනාරත්න මහත්මියට නිකුත් කළ ලිපිය.
    (iii)A6 ලෙස සලකුණු කළ 2012/03/26 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය.
    (iv)A7 ලෙස සළකුණු කර ඇති මාධ්‍ය ප්‍රකාශනය.
    (v)A8 ලෙස සලකුණු කර ඇති නීතිපතිවරයා අත්සන් කළ ලේඛනය.
    (vi) A9 ලෙස සලකුණු කර ඇති නඩු නීතිය.
    B-1 ලෙස සලකුණු කර ඇති sc.Hc.LA 18 යොමුව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ පිටපතක් සහ මේ පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක් ගරු විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
    2012 දෙසැම්බර් 06 වන බ්‍රහස්පතින්දා දින කාරක සභාවේ තීරණය ප්‍රකාශයට පත් කරන බව කරුණු ඉදිරිපත් කිරීම අවසානයේදී සභාපතිතුමා දැනුම් දුන්නේය.
  13. කාරක සභාවේ මීළග රැස්වීම 2012 දෙසැම්බර් මස 05 වන බදාදා පූ.භා. 10.30ට පැවැත්වීමට කාරක සභාව යෝජනා කළේය.
  14. පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හි 2012 දෙසැම්බර් 06 දින අ.භා. 2.30ට පැවැත්වීමට නියමිත රැස්විමට පෙනී සිටින ලෙස අග්‍රවිනිශ්චයකාරතුමියට සහ ඇගේ නියෝජිතයන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී.
    (මෙදින අ.භා. 4.55 ට 2012 දෙසැම්බර් 05 බාදාද, පූ. භා. 10.30 දක්වා රැස්වීම කල්තබන ලදී.)
    2012 දෙසැම්බර් 05 වැනි බදාදා
    පැමිණ සිටි අය
    ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
    ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
    ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
    ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
    ගරු ඩිලාන් පෙරේරා මහතා
    ගරු විමල් වීරවංශ මහතා
    ගරු නියෝමාල් පෙරේරා මහතා
    ගරු ජෝන් අමරතුංග මහතා
    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    ගරු විජිත හේරත් මහතා
    ගරු රාජවරොදියම් සම්පන්දන් මහතා
    පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්, ධම්මික දසනායක මහතා,
    කේ. ඒ. රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්
  15. කල් තැබීමෙන් අනතුරුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා රැස්වීමේ මුලසුන ගත්තේය.
  16. කාරක සභාවේ කටයුතුවල කාල රාමුව සකස් කරගැනීමට අදාළ කටුයතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවනු ලැබූ බව සභාපතිතුමා විසින් සඳහන් කරන ලදී.
    කාරක සභාවේ සාමාජිකයින් මේ වන වටත් අයවැයෙන් පසු එළඹෙන පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය තුළ දි ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික වැඩකටයුතු යොදාගෙන ඇති බැවින් එම නිවාඩු කාලය තුළ කාරක සභාවේ කටයුතු කල් තබන ලෙස ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා සිටින ලදී.
    අයවැයෙන් පසු ජනවාරි මාසයේ පලමුවැනි හෝ දෙවැනි සතිය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම පෙර සිට පැවත එන සම්ප්‍රදායක් බවත් මෙම සම්ප්‍රදායට ගරු කිරීමක් ලෙස මෙම කාලය තුළ දී කාරක සභාවේ රැස්වීම් කල් තැබිය යුතු බවත් ගරු රාජවරෝදියම් සම්බන්දන් මහතා විසින් සඳහන් කරන ලදී. මෙම කාලය තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා එතුමන් රටෙන් බැහැරව සිටින බව ද එතුමා විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.
    පාර්ලිමේන්තු නිවාඩු කාලය තුළ කාරක සභාවේ රැස්වීම් කල් තබන ලෙස විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන කාරක සභාවේ සාමාජිකයින් හතර දෙනා විසින් ඉල්ලා ඇති නිසා කාරක සභාව විසින් එම ඉල්ලීම පිළිබඳව සලකා බලන ලෙස ගරු විජිත හේරත් මහතා විසින් යෝජනා කන ලදී.
    2012 දෙසැම්බර් මස 12 වැනි දින දක්වා කාරක සභාවට රැස්විය හැකි බවත් ඉන් අනතුරුව ඉදිරි රැස්වීම් පිළිබඳව තීරණය කළ හැකි බවත් ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සඳහන් කරන ලද අතර ගරු ජෝන් අමරතුංග මහතා ද එම අදහසට සහයෝගය පළ කරන ලදී.
    2012 දෙසැම්බර් මස 09 වැනි ඉරිදා හැර 2012 දෙසැම්බර් 12 වැනි දින දක්වා වන සෑම දිනයකදීම රැස්වී ඉන් අනතුරුව ඉදිරි රැස්වීම් පිළිබඳව තීරණය කිරිමට කාරක සභාව විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන ලදී. 2013 ජනවාරි මස 14 වැනි දින දක්වා කාරක සභාවේ කාලය දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමට ද කාරක සභාව විසින් තීරණය කරන ලදී. එයට අදාළ යෝජනාව සකස් කරන ලෙස කාරක සභාව විසින් කාරක සභාවේ ලේකම්වරයාට නියෝග කරන ලදී.
  17. සමහර ප්‍රවෘත්ති පත්‍ර කාරක සභා රැස්වීම්වලදී සාකච්ඡා කරන කරුණු වාර්තා කරන අතර, මෙම ක්‍රියාව නැවැත්වීමට පියවර ගත යුතු බව ගරු (දොස්තර) රාජිත සේනාරත්න මහතා දැන්වීය. ඔහු විසින් මේ සම්බන්ධව මීළඟ දිනයේදී පාර්ලිමෙව්න්තුවේදී වරප්‍රසාද ප්‍රහ්නයක් මතු කරන බවද මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
  18. කාරක සභාවේ ලේකම්වරයා සභාපතිවරයාගේ උපදෙස් පරිදි විවිධ ආයතනවලින් කාරක සභාවට ලැබුණු පහත දැක්වෙන ලේඛන සාමාජිකයන් අතර බෙදා දෙන ලදී.
    (1) SCFR/SC/SD ලේඛණ ඉදිරිපත් කිරීම පිණිස තවදුරටත් කල් ඉල්ලා සිටිමින් ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහයලේකම් වරයා වෙත එවන ලද 2012.11.129 දාතම දරණ ලිපිය.
    (2) ඉල්ලා සිටින ලද ලේඛන ඉදිරිපත් කිරීම පිණිස, තවදුරටත් කල් ඉල්ලා සිටිමින්, අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත එවන ලද 2012.11.28 දාතම දරණ ලිපිය.
    (3) කොලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අදිකරණ නඩු අංක 13029/01/12 6අල්ලස්) ඉදිරිපත් කරමින් ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා විසින්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලද 2012.11.28 දාතම දරණ ලිපිය.
    (4) 2001 වසර හැර 2000 සිට 2012 දක්වා වර්ෂවලට අදාළ අග්‍රවිනිශ්චයකාරතුමියගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්තුමා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා වෙත එවන ලද 2012.11.30 දාතම දරණ ලිපිය.
    (5) ගරු අග්‍රවිනිශ්චයකාරතුමියගේ, එතුමියගේ ස්වාමි පුරුෂයාගේ සහ පුත්‍රයාගේ ගිනුම් තොරතුරු ඉදිරිපත් කරමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට එවන ලද 2012.11.30 දාතම දරණ ලිපිය.
    (6) ගරු අග්‍රවිනිශ්චයකාරතමිය සහ අනෙකුත් අයවලුන් සම්බන්ධ ලේඛන හඳුනාගැනීම පහසුකර ගැනීම පිණිස තොරතුරු ඉල්ලා සිටිමින්. හැටන් නැෂනල් බැංකුවෙහි ප්‍රධාන කළමනාකාර (මෙහෙයුම්) විසින් පාර්ලිවේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලද 2012.12.03 දාතම දරණ ලිපිය.
    (7) ගරු අග්‍රවිනිශ්චයකාරතුමිය, එතුමියගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයාට අදාළ ගිණුම් තොරතුරු ඉදිරිපත් කරමින් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත එවන ලද 2012.12.03 දාතම දරණ ලිපිය.
    (8) ගරු අග්‍රවිනිශ්චයකාරතුමිය සහ අනෙකුත් අයවලුන් සම්බන්ධ ලේඛන හඳුනාගැනීම පහසු කරගැනීම පිණිස තොරතුරු ඉල්ලා සිටිමින්, සම්පත් බැංකුවෙහි ප්‍රධාන කළමනාකරු (නිති) විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලද 2012.12.03 දාතම දරණ ලිපිය.
    (9) නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරුන් සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන්ගේ සමාගම විසින් ගරු අග්‍රවිනිශ්චයකාරතුමිය වෙනුවෙන් රිවිර මීඩියා සමාගම වෙත යවන ලද ලිපියක සහතික කළ පිටපතක් ඉදිරිපත් කරමින් රිවිර මීඩියා සමාගමෙහි ප්‍රධාන කර්තෘවරයා විසින් එවන ලද 2012.12.05 දාතම දරණ ලිපි.
    (10) ඉල්ලා සිටින ලද ලේඛන ඉදිරිපත් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත එවන ලද 2012.12.02 දාතම දරණ (2012.12.03 දිනයේදී ලැබුණු) ලිපිය.
    (11) ආර්. න්. බණ්ඩාරනායක මහත්මියගේ සහ කේ. ආර්. කරුනාරත්නගේ ඉල්ලා සිටින ලද ගමන් බලපත් ඉදිරිපත් කරමින් ආගමන සහ විගමන පාලක ජනරාල්වරයා විසින් එවන ලද 2012.12.03 දාතම දරණ ලිපිය.
    (12) ඇමුණුම් සමඟ තොරතුරු ලබාදෙමින්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් එවන ලද පිළිතුර.
    (13) අදාළ ලේඛන ඉදිරිපත් කරමින්, ඉඩම් රෙජිස්ට්‍රාර්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලද 2012.11.30 (2012.12.03 දින ලද) ලිපිය.
    ඉදිරිපත් කරන ලද සියලුම ලේඛන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නිල වශයෙන් භාරගත් බවත්. ලේඛන නැවත පරික්ෂා කිරිම අවශ්‍ය නම් එම ලේකනවල මුල්පිටපත් ඔහු සතුව ඇති බවත්. සභාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
    කාරක සභාව විසින් පෙර දින ගනු ලැබූ තීරණයට අනුව තවත් ලේඛන කිහිපයක් ඉල්ලා සිටින ලද අතර එම ලේඛන ලැබුණු පසු ඒවා ද බෙදා දෙනු ලැබේ. මේ සම්බන්ධව තමන් සතුව පවතින ලේඛන ඉදිරිපත් කරන ලෙසට යෝජනාවෙ අත්සන් කළ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින බවද එතුමා සඳහන් කළේය.
    අගවිනිසුරුවරියගේ, ඇගේ ස්වාමිපුරුෂයාගේ සහ ඇගේ පුත්‍රයාගේ වත්කම් සැසඳුම් ප්‍රකාශ සහ ලැබීම් ගෙවීම් ගිණුම් විස්තර (RPA) ලබාගන්නා ලෙසට ගරු නියෝමාල් පෙරේරා මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
    සිංහල භාෂාවෙන් පවතින ලේඛන ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කරවන ලෙසට රාජවරෝදියම් සම්පන්දන් මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
  19. කාරක සභාවේ මීළඟ රැස්වීම 2012 දෙසැම්බර මස 06 වැනි බ්‍රහස්තින්දා අ.භා. 2.30ට පැවැත්වීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
    (රැස්වීම අ.භා. 12.25 ට 2012 දෙසැම්බර් මස 06 වැනි බ්‍රහස්පතින්දා අ.භා. 2.30 දක්වා කල් තබන ලදී)

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න