ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පාදක කරගනිමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙලා තිබෙනවා. ධර්මයට අනුව මේ සියලු කාරණා පළමුවෙන් ම උල්ලංඝනය කරන්නේ පවතින රජයන්. ඒ නිසා පාලකයින් සතු වගකීම් ලිඛිතව හා සම්ප්‍රදායිකව කරනු ලබන ගිවිසුම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ්වෙලා තිබුණත් ඒ සියල්ලක් දිය කර ප්‍රභූ පාලනයක් පැවති 75 වසරක් අපි ගෙවලා තියෙනවා. බලතල වගකීම් හා කාර්යභාර්යයන් සැකෙවින් අන්තර්ගත වුණත් ඒ සියලු අන්තර්ගතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම බොල් කරලා තියෙනවා ඒ පිළිබඳව අප මීට පෙර හෙළිදරව් කරන ලද ලේඛනවලින් තහවුරු වෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව සාක්ෂාත් කිරීම ජනරජයක වගකීමක්. සිවිල් වැසියන් අතර ගැටුම් හදිසි කලකෝලාහල, සිවිල් යුද්ධ ඇති වීම වළක්වාලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින රජයක වගකීමක්. නමුත් පාර්ලිමේන්තුවට පත්වෙන බහුතරයක් පාදක වෙන ඇතැම් නූගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් භාවිතය නිසා මේ රටේ පාතාලයක් සංවර්ධනය වෙලා තිබෙනවා. ඒ පාතාලය නඩත්තු කිරීම ක්‍රියාත්මක වීම සනාථ වන කරුණු කාරණා අප්‍රමාණව විටින් විට වාර්ථා වෙනවා. බරපතල සාපරාධි අපරාදකරුවන් දෙදෙනෙක් දැක බලා ගැනීම සඳහා පසුගිය දා බන්ධනාගාරය වෙත ගිය හිටපු ඇමතිවරු දෙදෙනා එයට හොඳම සාක්ෂියක්.රට පුරාම මේ වන විට ඇමරිකාවේ චිකාගෝ ක්‍රමයට මිනී මැරුම්, ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සිදු වෙමින් පවතිනවා.

2023 ජූනි 20 වනදා රාත්‍රී 9.10 ට පමණ ටී 56 වර්ගයේ ගිනි අවි සමඟ වෙඩි තැබීමක් සිදු වුණා. වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකු වන චමිල සංජීව පෙරේරා නැමති අය මිය ගිය බව ඒ තුළින් වාර්ථා කරන්නේ හෝමගම පොලීසියයි. සිද්ධිය වූ අවස්ථාවේ එම ව්‍යාපාරිකයා මිතුරන් පිරිසක් සමඟ නිවසේ සාදයක් පවත්වමින් සිට ඇත. මේ අතර ලැබුණු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගේට්ටුව අසලට පැමිණ සිටිය දී නියඳගල දෙස සිට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා එම මෝටර් රථයෙන්ම පලාගොස් තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. මේ ව්‍යාපාරිකයාට වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල කර තිබෙනවා. ඒ හිස් පතොරම් කොපු පහක් පමණ ඒ අවට වැටී තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.
මේ වෙඩි තැබීම හඳපාන්ගොඩ හඳයා නැමැත්තෙකුගේ මෙහෙයවීමෙන් සිදු කර ඇති බවට පොලීසිය සැක කරනවා. හඳපාන්ගොඩ හඳයා නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු මෙම ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ නිවසක සිට සිදු කළ මත්කුඩු ජාවාරමක් පොලීසිය විසින් මීට වසරකට පමණ පෙර වටලනු ලැබුවා. මෙම ව්‍යාපාරිකයා එම ඔත්තුව ලබා දී ඇති බවට සිතා සැකකරුවන් ව්‍යාපාරිකයා සමඟ අමනාපයෙන් සිට ඇති බවත් පොලීසිය පවසනවා.මේ සිද්ධිය මුල් කරගෙන සැකකරු ව්‍යාපාරිකයාට මීට පෙර කඩුවකින් පහර දීමට උත්සාහ ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ දී නීතිය මනාව සිදු වෙලා නැහැ. එය වැළැක්වීමට ගිය ව්‍යාපාරිකයාගේ පියාගේ අතට ද කඩු පහරින් තුවාල වී ඇති බව වැඩි දුරටත් පොලීසිය සඳහන් කරනවා.එම අවස්ථාවේ සැකකාර හඳයා නැමැත්තා නුඹව කවදාහරි මරනවා යැයි කියා ව්‍යාපාරිකයාට තර්ජනය කිරීම හේතුවෙන් ඔහුගේ නිවසට මාස තුනකට අධික කාලයක් පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා. නමුත් පසුව එම ආරක්ෂාව මාස තුනෙන් පසු ඉවත් වෙලා තියෙනවා.මේ ආරක්ෂාව ඉවත් කිරීමෙන් පසු මේ ඝාතනය සිදු වෙලා තියෙන්නේ.
මේ අතර කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පෞද්ගලික රසායනාගාරයක් තුළ ඊට පසු දින එනම් 2023 ජූනි මස 21 වන දින පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ඝාතනයට ලක්ව ඇති බව කොට්ටාව පොලීසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ නාමල් උයනේ පදිංචි මිහිරාන් ප්‍රභාත් පද්මසිරි නැමැති 33 හැවිරිදි තරුණයෙකු බව පොලිස් වාර්තාවලින් හෙළි වෙනවා. 21 වනදා පෙරවරුවේ රසායනාගාරයට පැමිණ එහි පුටුවක් මත ඉඳගෙන සිටියදී මුහුණු ආවරණයක් සහිත හිස් වැසුමක් පැළඳගෙන පෙරවරු 8.10 ට පමණ එහි පැමිණ ඇති නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා ඇතැ යි පොලීසිය වැඩි දුරටත් සඳහන් කරනවා.
ඔබට මතක ඇති ගෝල්ෆේස් සිද්ධියේ දී ලංකාවේ නිල හමුදා හා තුට්ටු දෙකේ අනියම් හමුදාවක් මඟින් ගෝල්ෆේස් අරගලයේ සිටි පුරවැසියන් ඉවත් කිරීමට රජය ක්‍රියාකළ ආකාරය. එහිදී ඔවුන්ව හඳුනා ගැනීමට බැරිවෙන පරිදි ඔවුන් මුහුණු ආවරණ සමඟ තමයි පහර දීම සිදු කළේ . මේ ආණ්ඩුව ලබා දුන් ඒ ආදර්ශය මනාව මේ වන විට රටේ සාපරාදී අපරාද සිදු කරන පුද්ගලයින් ආදර්ශයට ගෙන තිබෙනවා.
කොට්ටාවේ සිද්ධිය සිදු වන විට එම සේවා ස්ථානයේ සේවකයෙකු හා සේවිකාවන් දෙදෙනෙකු එම සේවා ස්ථානයේ ඉදිරිපස කවුන්ටරයේ සිට තිබෙනවා. වෙඩික්කරුවන් ඔවුන්ට ද පිස්තෝලය එල්ල කර තර්ජනය කර පලා යන සී.සී.ටීවී දර්ශන කැමරාවල සටහන් වී තිබෙනවා. සිද්ධියෙන් එම තරුණයාගේ හිසට හා ගෙල ප්‍රදේශයට වෙඩි වැදී තිබෙනවා. ඔහු හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණා.
මේ අතර කොස්ගොඩ හික්දරුව ප්‍ර‍දේශයේ දී ජූනි 21 වන දා ම අලුයම 5.45 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් තවත් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය පවසනවා.සිද්ධියෙන් මියගොස් ඇත්තේ විජිත මහේන්ද්‍ර සිල්වා නමැති 52 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු රන්මල්ලී නැමති අයෙකු බවත් එවැනි නාමයකින් ඔහු සංචාරක කර්මාතය සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකු බවත් පොලිස් තොරතුරුවල සඳහන් වෙනවා.ඒ පුද්ගලයා නිවසේ නිදා සිටිය දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මේ මිය ගිය පුද්ගලයා කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව පැවසෙනවා. ඔහු කොස්ගොඩ සුජීගේ ධන පරිත්‍යාගයෙන් සෑම ප්‍රධාන පොහෝ දිනකදී ම ප්‍රදේශයේ දන්සල් පවත්වන බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරනවා. මෙන්න යථා තත්වය. ලංකාවේ ආගමික පරිසරයට මුවා වෙමින් දන්සල් පවත්වමින් විහාරස්ථාන නඩත්තු කරමින් යැපෙන සාපරාදී අපරාදකරුවන් පිළිබඳ තොරතුරු නම් ගම් සමඟ අප ඉදිරියේ දී හෙළිදරව් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව බෞද්ධ භික්ෂූන්වහන්සේලා හා වෙනත් පූජ්‍ය පක්ෂයේ පූජක උතුමන් වගකිව යුතු බවත් අවධාරණය කරන්න කැමතී. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්ගම විදුර නැමැත්තාගේ මෙහෙයවීමෙන් තමයි අදාළ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ.

ඒ පිළිබඳ විමර්ශන කටයුතු දැනට පොලීසිය සිදු කරනවා. බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් දුෂාන් වඩුතන්ත්‍රි මහතා සිද්ධිය වූ ස්ථානයට පසු ගිය 21 වන දා දහවල් ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා තිබෙනවා.මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබුණා. ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති උප ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල්සිරි මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොස්ගොඩ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වනවා.
නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්.ජයමහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී බන්දුල ප්‍රනාන්දු හා හෝමගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත හා උප පරීක්ෂකවරුන් වන නිහාල්, උපුල් ,පොලිස් කොස්තාපල්වරුන් වන අංක 925 ලක්ෂිත, 92504 රොෂාන් , 92142 රණසිංහ, 103536 මදුෂාන් යන මහත්වරුන් ප්‍රමුඛ වන කණ්ඩායමක් සහ කොට්ටාව වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද, උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග යන මහත්වරුන් ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් හෝමාගම දී හා කොට්ටාවේ දී සිදු වූ ඝාතන සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් තියෙනවා.මීට අමතරව මෙම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් පත් කර ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරනවා. මේ පිළිබඳ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් හතළිහකින් පුද්ගලයින් විසි තුන්දෙනෙකු මිය ගොස් තියෙනවා.එසේ ඒ බව සඳහන් කරන්නේ පොලිස් මූලස්ථානයෙන්.මේ වෙඩි තැබීම්වලින් දාහත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම් සිද්ධි වැඩිපුර වාර්ථා වී ඇත්තේ බස්නාහිර හා දකුණ යන පළාත්වලින් බව ද පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරනවා.
බණ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමයි දකුණ භාරව සිටියේ. ඔහු, නියෝජ්‍ය පොලිස්පති අජිත්.වර්තමාන බස්නාහිර භාරව සිටින්නේ දේශබන්දු. මේ දෙදෙනාගෙන් සිය කාර්යය මනාව ඉටු නොවන බව පැහැදිලිව රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකර මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් මහතා පසුගිය දිනක දකුණේ අප්‍රමාණ ඝාතන හා වෙඩි තැබීම් අපරාද සිදුවෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතාට ප්‍රකාශ කරලා තිබුණා.ඒ පිළිබඳව ඉදිරි කාලයක දී අධිකරණයේ ගොනු වෙන යම් නඩු විභාගවල දී සාකච්ඡාවට බඳුන් වෙන්න පුළුවන්.
කොහොම වෙතත් රටේ ජන ජීවිතයට අදාළ සිවිල් ජනතාවගේ ආරක්ෂාව මුළුමනින්ම පීඩනයට හා අගතියට පත් වී තියෙනවා. කොහොම හරි එම නීතිය දඩමීමා කර ගනිමින් දේශපාලන පක්ෂ ආගමික සංවිධාන මේ රටේ කරපු කියපු වැදි බණ නිසා මේ තත්වය උද්ගත වී තිබෙනවා.මෙවැනි අපරාද අප්‍රමාණව පහුගිය කාලය පුරා සිදු වුණා. ඒ සිදු වීම් එකිනෙක පැහැදිලි කරන්න අපහසු තත්වයක් තිබෙන්නේ. කොහොම වෙතත් මෑත කාලයේ දී හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිදු කළ කාර්යයභාර්ය ඔබ දන්නවා ඇති. මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකි බවත් හිටපු මහ අධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය සිය වාර්ථාවේ මේ වන විට සඳහන් කර තිබෙනවා.
අවි ආයුධ පිටතින් රැගෙන පිස්තෝලය සමඟ කොට කලිසමකින් හා බීමත්ව බන්ධනාගාර දෙකකට ඇතුල්වීම, සිරකරුවන්ට පහර දීම, දණ ගැස්වීම, මරණීය තර්ජන එල්ල කිරීම රත්වත්තේ පරම්පරාවේ සාමාන්‍ය සිද්ධියක්. අනුරුද්ධ රත්වත්තේගේ පුතෙකු වන ලොහාන් රත්වත්තේ සම්බන්ධ සිද්ධි ගණනාවක් තිබෙනවා. මේ තොරතුරු ලියන ලියුම්කරු කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ හිමිකරු සමඟ දැනට වසර ගණනාවකට පෙර කැසිනෝ ක්ලබ්වලට ඇතුල්වෙලා තිබෙනවා. සාමාන්‍ය මාධ්‍යකරුවෙකුට එවැනි සුපිරි ක්ලබ් එකකට, සමාජ ශාලාවකට ඇතුළු වෙන්න බැහැ.
බෞද්ධ කාන්තා විද්‍යාලයේ හිමිකරු සිය පවුල් ජීවිතය අවුල් කරගත් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඔහුගේ මානසික පීඩනය අවම කර ගැනීම සඳහා බොහෝ විට ගියේ කැසිනෝ ශාලාවට. ඔහුගේ දේපළ ඔහුට තනි අයිතියට තිබුණේ නැහැ. ඒ නිසා ඒ දේපළවල හවුල්කාරීත්වයත් තිබුණා. ඔහුට අදාළ මුදල් නැතිකම නිසා ඔහු අගතියට පත් වී සිටියා. එවැනි අවස්ථාවල දී මා ලංකාදීප ටයිප් ඔෆ් සිලෝන් අයතනයේ සේවය කිරීමේ දී වනිතා විත්ති පුවත් පතේ හා ශ්‍රී ලංකාදීප පුවත් පත්වලට බෞද්ධ කාන්තා විද්‍යාලය පිළිබඳව ලිපි ලිවීමෙන් ඒ පාසලේ කාර්යයභාර්යන් පිළිබඳව ප්‍රවර්ධන ප්‍රචාරයක් ලබා දීම නිසා ඔහුත් මාත් අතර දැඩි හිතවත්කමක් වර්ධනය වුණා. මේ වර්ධනය වීම නිසා ඔහුට මගේ සේවයන් ඔහු ඔහුගේ ගොඩනැගිල්ලක් මේ ලියුම්කරුට ලබා දීමත් සිදු වුණා. ඒ පිළිබඳව පසු විස්තරයක් ඉදිරි ලේඛනයක දී ඉදිරිපත් කිරීමේ හිමිකම තබා ගෙන මේ කැසිනෝ මාෆියාව පිළිබඳව බොහෝ තොරතුරු මා සතුව වෙනවා. ඒ නිසා ඒ ලබපු අත්දැකීම් මට ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුරාචාර්ය නැමති කෘතිය මීට වසර ගණනාවකට පෙර ලියුම්කරු මඟින් ලියවෙනවා.
රත්වත්තේගේ පරම්පරාවේ හැසැරීම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පාලන කාලයේ දී ලොහාන් රත්වත්තේගේ පියා අනුරුද්ධ රත්වත්තේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා ඔහු වැඩිපුර කාලය ගත කළේ කැසිනෝ ධම්මිකගේ හා නලීන් ෆොන්සේකාගේ ක්ලබ්වල. ඒ සමාජශාලාවල දී ඔහු පාතාලය සමඟත් සුපිරි කාන්තාවන් සමඟත් හැසිරීම හා ඔහුගේ භාවිතාවන් පිළිබඳව කතුවරයා සතු අප්‍රමාණ නිරීක්ෂණ සටහන් තියෙනවා.
ඒ වගේම වි‍දේශීය රටක ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමට ද දායක වූ ආකාරය ඔබට මතක ඇති. ඒ පිළිබඳව තොරතුරු පසුවට දැනට තබා ගන්න අවශ්‍යයි. ඔබට මතක ඇති උඩතලවින්න මිනිස් ඝාතනය. ඊට රත්වත්තේ පවුලේ උදවිය සහ හමුදා පොලිස් සැකකරුවන් බවට පත් වුණා.
ඔවුන් අධිකරණ ක්‍රියා මාර්ගවල දී නිදහස් වුණේ කොහොම ද? රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේගේ යටතේ තමයි පොලිස් දෙපාර්තමේන්තුව තිබුණේ. පැමිණිල්ල ගොනු වුණේ අධිකරණයට ඉතාම දුර්වල විදිහට. ඒ නිසා ඔවුන් අධිකරණයෙන් නිදහස ලබනවා. කොහොම වෙතත් නීතිය පිළිබඳව තිබෙන ගෞරවනීයභාවය ලොහාන් රත්වත්තේ මායිම් නොකරන්නේ ඒ නිසා.
ඔහු රාජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් සිටියදී බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ගොස් සිදු කළ සිදුවීම් අරඹයා මේ වන විට ආණ්ඩුවේ තිබෙන නිහඬතාවය අනුව අද රටේ චිකාගෝ අපරාදවලට පසුබිම සකස් කරලා තිබෙනවා. පැන්ඩෝරා සිද්ධිය අරඹයා ආණ්ඩුවේ නිහඬතාවය කාලයක් සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඔහුගේ පුතා පසු කාලීනව සෞම්‍යබුද්ධි තොණ්ඩමන්ගේ මුණුබුරා දක්වා පරම්පරාව පොලීසියට තර්ජනය කිරීමේ වපසරියක් දකින්නට ලැබෙනවා. පොලීසියට පහර දී බලහත්කාරකම් කිරීම් තොණ්ඩමන් පරම්පරාවෙන් සිදු වූයේ අද ඊයේ නොවේ. මේ සියලු පහර දීම් බැනවැදීම් හමුවේ පවතින රජයේ නොසැලකිල්ල නිසා මේ තත්වය රට තුළ වර්ධනය වී තිබෙනවා. පසුගිය දා අලිසබ්රී මන්ත්‍රීවරයා අයුතු ලෙස රත්තරන් ගෙනඒම තුළ ඔහුට නීතිය නවා ක්‍රියාත්මක කිරීමත් විදේශිකයෙකුට තවත් නීතියකුත් රජය ක්‍රියාත්මක කිරීමෙන් මේ බව තව දුරටත් සනාථ වෙන සුළුයි.
ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට කළ කෝලාහල ඇති කිරීමට සෘජුව හා වක්‍ර ආකාරයෙන් සහයෝගය අනුග්‍රහය හා නිහඬතාවය දක්වන ආණ්ඩුක්‍රම දූරාවලියක් ශ්‍රී ලංකාවට උරුමයි. දේශීය විදේශීය පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමේ සම්ප්‍රදායක් සිංගප්පූරුව සතුයි. නමුත් ශ්‍රී ලංකාවේ එය මනාව සිදු වන්නේ නැහැ. යම් සමාජ අසාධාරණ සිද්ධීන් ඉදිරිපත් කළත් එය ඒ නඩු ගොනුව දුර්වල කර ඉදිරිපත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායක් වී තිබෙනවා. යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට කල් ගත කිරීම ආණ්ඩුවල සම්ප්‍රදායක්.
විදේශීය රාජ්‍යකට විදේශීය වැසියෙකුට පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට විරුද්ධව ලංකාවේ ඇතැම් විට වාසියට අනුව ආණ්ඩුව ක්‍රියාත්මක නොවන අවස්ථා තිබෙනවා. කොහොම හරි එම සිංහල , දෙමළ , මුස්ලිම් ජාතීන් හා බර්ගර් වෙනත් ජාතීන් රැසක් සිටින ශ්‍රී ලංකාව තුළ අයුක්තිය රජ වී තිබෙනවා. ලංකාවේ යහපත් ගොවියෙකු හදන සමාජ පරිසරයක් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නැහැ. නමුත් ශ්‍රී ලංකාව ජනරජය ස්වාධීන නිවහල් නිදහස් ස්වෛරී ජනරජයක් බව සඳහන් වෙනවා. රටවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටඅසමත් ආණ්ඩුව තුළ ඒ ආණ්ඩුවේ හැසිරීම හා භාවිතය නිසා රටට ගොනු වී තිබෙන අපරාද රැල්ල වර්ධනය කරන්නේ පාලක පක්ෂය බව ඊට සාධක බව භෞතික හා න්‍යායාත්මක තොරතුරු ඊළඟ ලේඛනයෙන් බලාපොරොත්තු වන්න.

සුමිත් කොඩිතුවක්කු ලියයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න