ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම හා පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන වගකීම සුළුපටු නැහැ.
අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යෑමේ සහ සමාජය වෙනස්වන අවශ්‍යතාවයන්ට අධ්‍යාපන ක්‍රමය අනුකූලතාවය දැක්වීම ඒ සඳහා ඊට අදාළ අදහස් ඇතුළත් අධ්‍යාපන ප්‍රතිපත්ති සියලුම අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ හිමිකම 1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතින් කොමිෂන් සභාවට හිමිවෙලා තිබෙනවා.
කොහොම වෙතත් එවැනි භාරදූර වගකීමක් කාර්යභාරයක් ඇති කොමිෂන් සභාව සිය යෝජනා පර්යේෂණ මට්ටමින් සිදුකර අවසානයේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යංශය ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන සාමුහිකව එකතුව ඒ යෝජනා පාසල් සමාජයට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කිරීම, ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ජනාධිපතිවරයාගේ අතපසුවීමක් නිසා සිදු වන්නේ නම් එය රටක ඉතාම අභාග්‍යයට කරුණක් නොවේද?
1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතේ විධිවිධානවලට අනුව අධ්‍යාපනයේ සියලු අංශ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු අධිකාරින් හා ආයතන විසින් අනුකූලතාවයක් දැක්විය යුතු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් කලින් කලට ප්‍රකාශයට පත් කරනු ලැබිය යුත්තේ කොමිෂන් සභාවේ යෝජනා හා නිර්දේශ මතයි.
එහි තුන්වන වගන්තියෙන් පිහිටුවන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත කරනු ලබන නිර්දේශ හා දෙනු ලබන උපදෙස් මනාව සැලකිල්ලට ජනාධිපතිවරයා නොගන්නේ නම් තත්ත්වය කෙබඳුද?
ඔහු යටතේ තිබෙන ආයතනයක් වගකීමක් හිසරදයක් සෙ සලකා ක්‍රියා කරන්නේ නම් තත්ත්වය කෙබඳුද?
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරනු ලැබිය යුතු අදාළ කොමිෂන් සභා පනතින් වැඩිදුරටත් මෙසේ කියන්න පුළුවන්.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඒ පැවරී ඇති බලතල ප්‍රකාශ සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කරනවා.
ඒවා නිර්දේශ කරලා අවසානයේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා කරන මුඛ්‍ය සංකල්ප මනාව රට තුළට කාන්දු කිරීමට අදාළ බලධාරින් අසමත් වන්නේ නම් තත්ත්වය ඉතාම ඛේදනීය නොවේද?
2023 මැයි සිට ක්‍රියාත්මක වීමට තිබුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවන් ඉටු නොවීම නිසා අනාගතය තවදුරටත් කෙබඳු වෙන්න පුළුවන්ද?
අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සැලසුම් කොට එය පාසල් සමාජය වෙත අත්හදා බැලීමේ පදනමක් යටතේ දියත් කිරීමට සැලසුම් කිරීම පසුව එය කල් ඉකුත් කිරීමෙන් හෙළි වන්නේ මේ රටේ රාජ්‍ය කළමනාකාරිත්වය පිළිබඳ ගැටලුවක් නොවේද?
රජයේ ප්‍රතිපත්තිවලින් ප්‍රජා ඔබට එහෙම නැත්නම් පුරවැසි ඔබට මනා විදිමත් සහයක් නොලැබෙන්නේ නම් එවැනි රාජ්‍ය පාලනයක අවශ්‍යතාවය තවදුරටත් රටකට අවශ්‍ය ද?
ඇතැම් අධ්‍යාපන ආයතනවලට සහ පුද්ගලයින්ට රජයේ ආධාර විවිධ ආකාරයෙන් ලබාදෙනවා.
කාලීන නැති බොහෝ දේවල් විටින් විට රජය ක්‍රියාත්මක කරනවා.
එය හුදෙක් දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන්නේ නම් තත්ත්වය කෙබඳුද එහෙම නැත්නම් මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ ලාබ ප්‍රයෝජන උදෙසා අධ්‍යාපන ක්‍රමය දිගු කරන තත්ත්වය කෙබඳු විය හැකිද?
අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් පෞද්ගලික සමාගම්වලටත් අධ්‍යාපනය අලෙවි කරන රජයේ ආයතනවලටත් මහඟු උපකාර වන වැඩ කොටස් පසුගිය කාලය පුරාම ලංකාවේ අධ්‍යාපන විෂය ධාරා මගින් සිදු වුණා.
අලුතින් විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයට රජයෙන් ලැබෙන විශාල අනුබලය මින් එක් උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්.
රජයේ අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල අමාත්‍යංශ සහ ඒජන්සි සඳහා අධ්‍යාපනය විකිණීමට අනුබල දෙන රජයක යටි අරමුණ කුමක්ද?
බලය සහිත පුද්ගලයින් වැදගත් යැයි සිතන දෑ සඳහා ඔවුන්ගේ මුදල් යෙදවීමට හැකිවන ලෙස එහෙම නැත්නම් ආයෝජකයින් ලංකාවට ගෙන්වීම සඳහා අධ්‍යාපනය බාල්දු කරන්නේ නම් තත්ත්වය කෙබඳුද?
රටක මූලික මූලධර්මය විය යුත්තේ අධ්‍යාපනයයි.
දැනටමත් ලංකාවේ අධ්‍යාපනය උපාධි පෞද්ගලික පන්ති අලෙවි කරන සමාජ සංස්කෘතියක් දකින්න පුළුවන්.
මේ නිසා රටේ පුරවැසියන් හා මුදල් යහමින් ඇති ශිෂ්‍ය ප්‍රජාව ඉමහත් කනස්සල්ලෙන් පසුවෙනවා කිව්වොත් වඩාත් නිවැරදියි.
අධ්‍යාපනය යනු බලාපොරොත්තුවක්.
කුමක් තෝරාගත යුතු දැයි සිතාගැනීමට අසීරු තත්ත්වයකට ලංකාවේ පොදු ශිෂ්‍ය ප්‍රජාව පත් කර තිබේනම් ඒ සමාජය තුළින් සංවර්ධනය වන්නේ බිය සැක සහ කනස්සල්ල උපයෝගී කරගත් සමාජ සංස්කෘතියක් නොවේද?
රජයේ අධ්‍යාපන විභාගවලදී දැනට තිබෙන්නේ දරුවන්ට විවිවේකයක් ලබාගැනීමට නොහැකි තරගකාරී අධ්‍යාපන රටාවක්.
ඒ අධ්‍යාපන රටාව තුළ ගිරවුන් සේ කියවීමට උනන්දු කරන අධ්‍යාපනය රටක සෞභාග්‍යයට රටේ සංවර්ධනයට ලබාගත හැකි දායකත්වය කුමක්ද?
කරුණු කොහොම වෙතත් ලංකාවේ පාසල් අධ්‍යාපන කාලය තුළ දී දෙමාපියන්ට සිය ආදායමෙන් යමක් ඉතිරි කරගැනීමට නොහැකි තත්ත්වයක් ටියුෂන් මාෆියාව තුළින් වර්ධනය වී තිබෙනවා.
ඊට සමස්ත රජයේ පාසල් ගුරුවරුන් විදුහල්පතිවරුන් වගකිව යුතුයි.
ඒ පිළිබඳව අදාළ නෛතික තත්ත්වයන් පවා තිබියදී ඒවා නොසලකා ටියුෂන් මාෆියාවට දරුවන් හුරු කිරීමේ මාවතක් සංවර්ධනය වී තිබීම ඉතාම කනගාටුවට කරුණක්.
මේ නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම තුළ තිබෙන ප්‍රතිඵල කනගාටුදායක බව දැන් දැන් ප්‍රදර්ශනය වන්නේ පාසල් ගුරුවරුන්ට විවෘත සමාජය තුළත් පාසල් අභ්‍යන්තරය තුළත් පහරදීමේ සංස්කෘතියක් මනාව දකින්නට ලැබීමයි.
අධ්‍යාපනයේ මුඛ්‍ය සංකල්පය ඉටු කරගැනීමට කොහොම වෙතත් සියලු බලධාරින් අසමත් වෙලා තියෙනවා.
සමස්ත ළමා ජනගහනයෙන් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණාත්මක හැකියාවක් වර්තමාන අධ්‍යාපන පද්ධතියට තිබෙනවාද යන්නත් ගැටලු සහගතයි.
ප්‍රබුද්ධ සදාචාරාත්මක හා සමාජ සාරධර්ම සහිත දිගු සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාව මේ වන විට කුණු වී එහි ඕජස ගලන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩුකම් නිසයි.
ජාතියක අභිලාෂයන්ට උචිත වන ආකාරයේ ජාතික අපේක්ෂාවන් සපුරාලීමට ලංකාවේ අධ්‍යාපනය ගුණාත්මක භාවය ඉහළ ගොස් නැති බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සිය වාර්තාවලින් ප්‍රකාශ කරපු අවස්ථා අපමණවත් තිබෙනවා.
මේ ගැන කොහොම වෙතත් ලංකාවේ පොහොසතුන්ට පමණක් සීමා වන අධ්‍යාපන ක්‍රමයක් ලංකාව තුළ බිහි වෙලා තියෙනවා.
උසස් අධ්‍යානයට සුදුසුකම් ලබන දරුවන්ගෙන් 85%ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ නැහැ.
හේතුව ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සැපයීමට රජය අසමත් වීම.
විෂයන් තුනටම ඒ සාමාර්ථය ගත් සිසුන්ට පවා එසෙඩ් ස්කෝ ක්‍රමය යටතේ විශ්වවිද්‍යාලයට නුසුදුසු වී තිබෙනවා.
උසස් පෙළ සමත් වන සිසු සිසුවියන්ගේ මෙරට විශ්වවිද ්‍යාල පද්ධතියට ඇතුළත් කර ගත හැක්කේ 15%ක් පමණ ප්‍රතිශතයක්.
මේ නිසා ගොඩනැගෙමින් තිබෙන භයංකාර තත්ත්වය ඉතාම කනගාටුදායකයි.
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති හමුවේ දේශපාලනඥයන් හැසිරෙන ආකාරය අනුව රට ගමන් කරමින් සිටින්නේ ඉතාම නරක දිසාවකටයි.
ඒ දිසාව විවිධ හැඩරුව දිනපතා හෙළිදරව් වන පුවත්පත් වාර්තා, රූපවාහිනී නාලිකාවලින් කැඩපතක් සේ ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
නමුත් රට තුළ පවතින්නේ නිදහස් අධ්‍යාපනයයි.
ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන්ට පහසුකම් දිය හැකි පිරිස තොරාගෙන සෙසු පිරිස අත්හැර දමනවා.
එය අධ්‍යාපන ක්‍රමයක තිබිය යුතු යුක්තියද?
පෞද්ගලක විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නීති බාධාවන් තිබියදී පවා විදේශීය ආයතනයන්ට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාල 100කට වැඩි ප්‍රමාණයක් දැනට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.
තොරතුරුවලට අනුව දස දහසකට ආසන්න උපාධි ධරයෝ ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ මෙරට අධ්‍යාපන ආයතනවලින් බිහි වී තිබෙනවා.
මේ උපාධිධාරින් තම උපාධිය වෙනුවෙන් දෙමාපියන්ගේ වියදම් කර ඇති ධනය අති විශාල එකක් බව නොඅනුමානයි.
මෙරට පවතින නිදහස් අධ්‍යාපනය එයද?
ආර්ථික, කාර්මීකරණය, කෘෂිකර්ම, සෞඛ්‍ය හා සමාජසේවා ගණිතය, විද්‍යාව හා තාක්ෂණ අංශ පිළිබඳව ජාතික ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සම්බන්ධ දැක්මක් කරා ඉදිරියට යාමට ලංකාවේ අධ්‍යාපන මූලධර්මවලින් සමත් වී තිබෙනවාද යන්න ඉතාම ගැටලු සහගත තත්ත්වයක්.
අධ්‍යාපන ප්‍රතිපත්තිය හා සැලසුම් සමාලෝචනය කිරීම සඳහා පෘථුල අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තිබනෙවා.
නමුත් දැනට 1991 අංක 19 දරණ අධ්‍යාපන කොමිෂන් සභා පනතට අනුව ජනාධිපතිවරයාට නිර්දේශ කරන ප්‍රතිපත්ති පිළිබඳ චේතනාත්මක නොකඩවා ඒ පිළිබඳව අවධාරණය යොමු කරන ජනාධිපති ධුරාවලියක් තුළ පසුගිය කාලය තුළම දක්නට නැහැ.
එය හුදෙක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් චෝදනා කරන්න බැහැ.
මේ රටේි හිටපු සියලුම ජනාධිපතිවරු ලංකාවේ දැනට සකස් වන අධ්‍යාපන නව යෝජනා පිළිබඳව ඒ ඒ කාලවලදී විධායක ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු නොවීමේ ප්‍රතිඵලය කුමක්ද?
දිගින් දිගටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළට සමාජගත නොවීමේ තත්ත්වයක් වර්ධනය වීමයි.
එය 2023 වර්ෂය තුළ දැන් සිදුවී හමාරයි.
අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යෑම සහතික කිරීමේ හා සමාජයේ වෙනස්වන අවශ්‍යතාවයන්ට අධ්‍යාපන අනුකූලතාවය සඳහා සියලුම ක්‍රියාදාමයන්වල ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතුයි.
ක්‍රියාත්මක වෙමින් පවතින දැනට තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හා සැලැස්ම හෝ සැලසුම් බොහෝ වෙලාවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ඍජු යෝජනා වෙනස් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය හා ජාතික අධ්‍යාපන ආයතනයේ අවශ්‍යතාවයන්ට අනුකූලව නිර්දේශ වුණ අවස්ථාත් තිබෙනවා.
සමාලෝචනය කිරිම හා විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත්.
නමුත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යම්කිසි නිර්දේශ කරන සැලසුම් ඒ සැලසුම්වල කළ යුතු වෙනස්කම් මනාව සමාජ සංවාදයකින් පසුව නිර්දේශ කිරිම ද ඉතාම වැදගත්.
කොමිෂන් සභාවේ උපදෙස් සඳහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරවිය හැකි අධ්‍යාපනයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතට අනුව සිදු විය යුත්තක්.
නමුත් මේ දෙපැත්තම මනාව සිදුවෙනවාද කියල ගැටලුවක් මතු වන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මනා පෞරෂයකින් යුතුව මේ වන විට ක්‍රියාත්මක වනවාද යන ගැටලුව නිසයි.
ඒ නිසා අධ්‍යාපනයට අදාළ කාරණාවලදී ව්‍යාප්තියට හානියක් නොමැතිව කොමිෂන් සභාව නැගී සිටීම වැදගත් කරුණක්.
සේවා නියුක්තියන්ට කර්මාන්තවලට හා සාමාජික ලාංකික අවශ්‍යතාවලට සරිලන පරිදි අධ්‍යාපනය සකස් කිරීමේ වගකීම ජනාධිපතිවරයාටත් අධ්‍යාපන අමාත්‍යංශයටත් පැවරෙන මූලික වගකිමක්.
අධ්‍යාපනික ආයතනවල ශිෂ්‍යයන්ට ඔවුන්ගේ ස්වශක්තිය පුර්ණාකාරයෙන් හැකිවන පරිදි ලබාදිය යුතු මාර්ග උපදේශකත්වය උපදේශනසේවාවල ප්‍රමාණාත්මක භාවය මනාව කළමනාකරණය කිරීමත් අදාළ බලධාරින්ගේ වගකීමක්.
අධ්‍යාපනික ආයතන හා ප්‍රජාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ලා අවශ්‍ය වැඩපිළිවෙළවල් බහුතරයක් තිබෙනවා.
ඒවා පොදු මහජනතාව අතර ගොස් අධ්‍යයනය කිරීමෙන් තීරණය කළ යුත්තක්.
ප්‍රජාවගේ සමස්ත මානුෂික සංවර්ධනය උදෙසා අධ්‍යාපනික ආයතන සම්පත් මධ්‍යස්ථාවලින් ඊට අදාල කටයුතු සිදුවෙලා තියෙනවාද කියන ගැටලුව පැනනැගි තිබෙනවා.
එහිදී පෙනී යන ඉතාම කනගාටුදායක තත්ත්වය නම් ඊට මනා පිටුවහලක් මේ සමාජය තුළ වර්ධනය වී නැති බවයි.
ඒ නිසා දෛනිකව රට තුළ දූෂණය වර්ධනය වෙමින් ආර්ථික අගාධයකට රට තල්ලු වෙලා තියෙනවා.
ප්‍රාදේශීය වශයෙන් පාසල් අතර පවත්නා යම් යම් අඩුවැඩිකම් අනුව ඇති වී තිබෙන ගැටලු අප්‍රමාණයි.
ගුරුවරුන් හා අධ්‍යාපන සේවා කාර්ය මණ්ඩලයේ වෘත්තීය තත්ත්වය නගා සිටුවීමේ ලා අවශ්‍ය විධිමත් පියවර නොගැනීම නිසා විටින් විට මේ රටේ ගුරු වර්ජන වර්ධනය වෙනවා.
ප්‍රාථමික හා ද්විතික පාසල් නියමිත කාලයට පෙර හැර යන ළමයින්ගේ තත්ත්වය වර්ධනය වෙමින් තිබෙනවා.
දරුවන්ගේ ශක්‍යතාවය පූර්ණාකාරයෙන් වර්ධනය කරගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා සැලසුම් කළ යුතු විකල්ප වැඩසටහන් නැති කම මීට ප්‍රධාන සාධකයක්.
සියලු ජනකොටස්වල සහ ආගම්වල ශිෂ්‍යයන්ගේ හැදියාවන්, ලැදියාවන්, සංස්කෘතික ආගමික අපේක්ෂාවන් ඉටු නොවන විෂයමාලා පද්ධතියක් නැති නිසාද මේ රට මෙතරම් ඉතාම අගාධයකට තල්ලු වී තිබෙන බව පෙන්වන්නේ.
මේ සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා නෛතික අවශ්‍යතා අනුව ක්‍රියාත්මක විය යුතු බව තේරුම්ගන්න අවශ්‍යයි.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංයුතිය 1978 අංක 16 දරණ විශ්වවිද ්‍යාල පනතින් පිහිටුවන ලද විශ්වවිද ්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් 1990 අංක 20 දරණ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන පනතින් පිහිටුවන ලද තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාන විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවයා විසින් පත් කරන ලද සාමාජිකයින්ගෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින්ගෙන් පළාත් සභා විෂය භාර අමාත්‍ය නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින්ගෙන් අධ්‍යාපනය කළමනාකරණය හෝ කළමනාකරණය යන ක්ෂේත්‍රවල හැකියාව දක්වා ඇති වූ යම් වෘත්තික විශිෂ්ඨයින්ගෙන් ලබාගෙන ඇත්තා වූ තැනැත්තන් අතරින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන වෙනත් සාමාජිකයින් 10 දෙනෙක් පස්වන වගන්තියට අනුව (කොමිෂන් සභාවේ) යටතේ පත් කරනු ලබන සභාපතිවරයා උප සභාපතිවරයාගේ වගකීම ප්‍රතිපත්ති සැකසීම අනිත් උප සභාපතිවරයා සැලසුම් කිරිම සිදුවිය යුත්තක්.
මෙය පූර්ණ කාලීනව සේවය කළ යුතු ආයතනයක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව.
නමුත් රටේ අධ්‍යාපන සංයුතිය කෙසේද යන්න ලංකාවේ අධ්‍යාපන විභාග ක්‍රමය තුළින් මතුවන ගැටලු ඊළගට පාසල් සමාජයේ පුරවැසි සමාජයට බිහිවන සාමාජිකයින්ගේ හැසිරීම භාවිතය අනුව අධ්‍යාපන කොමිෂන් සභාවේ සංයුතියට ඉන්නා සාමාජිකයින්ගෙන් මේ වන විට ඒ වගකීම් මනාව ඉටු වී තිබෙනවාද යන්න ගැටලු සහගත තත්ත්වයක් උද්ගත කර නැතිද?
ඒ පිළිබඳව ප්‍රජාව නැවත නැවත සැලකිය යුතු තෝරාගත යුතු උනන්දු විය යුතු අත්දැකීම් බෙදාහදා ගත යුතු මේ පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන පර්යේෂණ අධ්‍යයනයන් කළ යුතු තත්ත්වයක අප ඉන්නා බව තේරුම්ගැනීම කාගේත් වගකීමක් නොවන්නේද?
තව කොටසක් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න