ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සදහා සන්නේදන සහ තාක්ෂණික උපකරණ බෙදාදීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී Julie .J. Chung මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, පිහිටි ජාතික ඒකාබද්ධතා අංශ කාර්යාලයේදී අද ( 22) පෙරවරුවේ සිදු විණි.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ ( USAID) SCORE ව්‍යාපෘතිය මේ සදහා අනුග්‍රහය ලබා දී තිබේ.
ලැප්ටොප් පරිගණක 61 ක් ඇතුළු සන්නිවේදන හා තාක්ෂණික උපකරණ බෙදාදීම මෙහිදී සිදු වු අතර, පරිගණක උපකරණ බෙදාදීමට අදාළව ලිපි ලේඛණ හුවමාරු කිරීම ද මෙහිදී සිදු විය.
ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංශයේ ප්‍රධානී J.Kaartthigeyan සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් පී.කුගනාදන් යන මහත්වරුන් උපකරණ ලබාදීමට අදාළ ලිපි ලේඛණ සදහා අත්සන් කරන ලදී.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් SCORE ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණ වන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සදහා පුහුණු වැඩ සටහන් 368 ක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් සිදු කිරීම අරමුණු කර ගනිමින් ලබා දෙන සහයෝගය පිළිබදව ඇමෙරිකානු තානාපතිනිය ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. වත්මන් රජය පිළිබදව දැඩි විශ්වාසයෙන් ජනතාව අති විශාල ජනවරමක් ලබා දුන්නා. අපි ඒ ජනවරමට අනුව කටයුතු කිරීමේදී ජාතින් අතර එකමුතුකම සංහිදියාව වැඩි දියුණු කිරීම මුලික වගකීමක් ලෙස සලකනු ලබනවා. වත්මන් රජයට ලැබුනු ජනවරම අනුවම එකිනෙකා වෙන් වෙන් වශයෙන් හැදින් වු කාලය අවසන්ව සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සැලකිය යුතු කාලය එළඹ තිබෙනවා. ජාති ආගම් ලෙස එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය කරුණක් බව සදහන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය මෙන්ම රට තුළ සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා ජාතික ඒකාබද්ධතාවය ප්‍රධානයි. සන්නිවේදන හා තාක්ෂණික උපකරණ ලබා දීම තුළින් ජාතික ඒකාබද්ධතා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්ව වත්මන් රජයේ අරමුණු සාක්ෂාත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී Julie .J. Chung මහත්මිය ද මෙහිදී අදහස් පළ කළාය.
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රෝහණ හපුගස්වත්ත, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු ආයතනයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද යන මහත්වරුන් ඇතුළු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය, ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ හා ජාතික ඒකාබද්ධතා අංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න