ලාංකික අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය ස්ථාපනය වී නැති පරිසරයක් තුළ ආත්මාර්ථකාමී ලෙස සිය ඉල්ලීම් ඉටු කරගැනීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පසුගිය කාලය තුළම දැඩි උත්සාහයක් ගත්තා.
ඒ උත්සාහය සඵල වුණේ 2023 මාර්තු 03වන සතිය අවසානයේදී.
මූලික වශයෙන් ඔවුන්ට බලපාන බදු පිළිබඳව මාර්තෘකාව තමයි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරල තියෙන්නේ.
බදු බර හමුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපහසුවක් ඇති වන බව ජනාධිපතිවරයා පිළිගත් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නහැක්ක ආචාර්යවරයාම මාධ්‍යයට ප්‍රකාශ කරල තිබුණ.
ලංකාවේ විද්වත්ම සමාජ පන්තිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්.
මේ ආචාර්යවරුන් ජනාධිපතිවරයා සමඟ ගිහිල්ල කතා කරන්නේ සිය ආත්මාර්තකාමී අවශ්‍යතා වෙනුවෙන්.
රටේ ජනතාවට අදාළ ප්‍රධාන ගැටලු‍ ගැන කිසිම සාකච්ඡාවක් නොකරන මේ ආචාර්යවරු තමන්ගේ හුදු අවශ්‍යතා සඳහා පෙනී ඉන්නවා.
නමුත් ජනමාධ්‍ය ඉදිරියේ සාකච්ඡාවට එක්වන අවස්ථාවලදී ඔවුන් ප්‍රකාශ කරන්නේ පොදු සමාජ ප්‍රශ්න දෙසයි.
ලංකාවේ විධායකය හමුවූ අවස්ථාවේදී ඔවුන් සිය ආත්මාර්ථකාමී අවශ්‍යතා න්‍යාය පත්‍රය ඉදිරියට දමාගෙන සාකච්ඡා කරනවා.
දැනට පවතින අයි.එම්.එෆ්. එකඟතා වැඩපිළිවෙළ හා රාජ්‍ය ආදායම් වියදම්වලට සාපේක්ෂාව බදු ගැටලු‍වට සාධනීය විසඳුමක් ලබාදිය නොහැකි බව සාකච්ඡාවේදී අවධාරණය වූ බව සභාපතිවරයා පවසා තිබුණා.
නමුත් බදු ගැටලු‍ව යම් විසඳුමක් ලබාදීම සඳහා ආදායම් බදු පනතේ පවතින නීතිමය ප්‍රතිපාදන නිතිමය බාධා පිළිබඳව යෝජනා හා අදහස් කැඳවීමටද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට දැනුම් දුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බන්නහැක්ක මහතා ප්‍රකාශ කරන්නේ හරිම ආඩම්බරයෙන්.
ඇත්තටම මේ ගෙවී යන්නේ හා සූදානම් වන්නේ ජනාධිපතිවරයාගේ ජනාධිපති අපේක්ෂක ඉදිරි ජනාධිපතිවරණ වැඩපිළිවෙළ සඳහායි.
ජනාධිපතිවරයාට අවශ්‍ය සියලු‍ පාර්ශ්වවලින් තමන්ගේ මතය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කිරීමට.
ඒ නිසා ජනාධිපතිවරයා බොහෝ විට සිය අවශ්‍යතා වෙනුවෙන් මූලික උපක්‍රමික දායකත්වය මෙවැනි අවස්ථා මනාව ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලියි.
බදු ගැටලු‍වලට යම් විසඳුමක් ලබාදීම සඳහා ආදායම් බදු පනතේ පවතින නීතිමය ප්‍රතිපාදන, නීතිමය බාදා පිළිබඳව යෝජනා හා අදහස් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දෙන්නේ මෙවැනි උපක්‍රමශීලී පරිසරයක් තුළ.
බදු ගැටලු‍වලට අමතරව විශ්වවිද්‍යාවල පවතින 3500කට අධික ආචාර්යවරුන්ගේ පුරප්පාඩු රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකාලපය ආදිය ගැනද සාකච්ඡාවට බඳුන් වූ බවද මහාචාර්යවරයා සඳහන් කරනවා.
ඇත්තටම රුහුණු විශ්වවිද්‍යාලය තුළ නවක වදය ක්‍රියාත්මක කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවීමට වර්තමාන උපකුලපතිවරයා ක්‍රියා කරලා තියෙනවා.
නමුත් ඊට ප්‍රතිවිරුද්ධව ආචාර්ය සමිති සම්මේලනය ඉතාම ආත්මාර්ථකාමී ලෙස අදාළ උපකුලපතිවරයාට එරෙහිව ගතු කියන තත්ත්වයක් මෙම සාක්චඡාවේදී සිදු කරලා තිබෙනවා.
ඒ නිසා ඒ පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙලක් හා විමර්ශනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව හා සමස්තයක් ලෙස අද හෙට නැතත් යම් දිනක සුබ තත්ත්වයක් ඇතිවන බවට විශ්වාසය තබන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බන්නහැක ආචාර්ය වරයායි.
මේ සැබෑ යතාර්ථය හඳුනාගෙන අප ක්‍රියා කරන්න නම් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා යම් අවබෝධයක් අප තේරුම්ගන්න අවශ්‍යයි.
ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන ගැන සැලකීමේදී පෙනී යන්නේ ඈත අතීතයේ සිට ක්‍රි.ව. 16 වන ශතවර්ෂය දක්වා පැවති දේශීය අධ්‍යාපන රටාව සිහිගැන්වෙනවා.
විශ්වවිද්‍යාල යන නමින් නොහැඳිනවූවත් ඒ හා සමාන තත්ත්වයෙන් පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ විද්‍යාතන විහාරස්ථාන පිරිවෙන් ආශ්‍රිතව තිබුණා.
ඊට මෑත කාලයේ පැවති උදාහරණයක් ලෙස ශ්‍රී රාහුල හිමියන්ගේ නායකත්වයෙන් කෝට්ටේ රාජධානි සමයේ ක්‍රි.ව. 1412 – 1580 අතර තොටගමුවේ පැවති විජයබා පිරිවන දක්වන්න පුළුවන්.
විජයබා පිරිවෙනේ දේශීය හා විදේශීය විෂයයන් අධ්‍යයනය කළ බව එම අවදියෙහි රචිත පද්‍ය කාව්‍යයක් වන ගිරා සංදේශයෙහි සඳහන් වෙනවා.
මෙහිදී එවකට පැවති රජුන් වෙනුවෙන් ගායනය කරන ලද ලියන ලද ලේඛන පිළිබඳ විචාරාත්මක ඇගයීම දැනට පසුවට තබා වර්තමාන දේශපාලන තත්ත්වය අරඹයා ජනතාවගේ පැත්තෙන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සාමුහික ආචාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී බඳුන් කළ යුතු කරුණු පිළිබඳව අප මොහොතකට සාකච්ඡාවට ලක් කරමු.
ජනාධිපතිවරණයක් පිළිබඳ උණුසුම අප රටේ දේශපාලන සාකච්ඡාවකට අලු‍තෙන්ම එකතු වී ඇති මාර්තෘකාවක්.
එවැනි අවස්ථාවක තමයි ලංකාවේ ආචාර්ය සමිති සම්මේලනය මේ සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ එක් වන්නේ.
ප්‍රධාන විරුද්ධ පක්ෂ වන සමගි ජනබලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා බවට ප්‍රකාශයට පත් කර තියෙනවා.
තමන්ට පහසුවෙන් දිනන්නට හැකිවනු ඇතැයි ප්‍රේමදාස මහතා තුළ තද විශ්වාසයක් තිබෙන බව දැනට පෙනී යනවා.
ඒ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ හා පක්ෂ හා කණ්ඩායම් කිහිපයක්ම සමගි ජනබලවේගය කේන්ද්‍ර කරගෙන පෙරමුණක් ලෙස ඉදිරියට ඒමේ සූදානමක් තිබෙන පරිසරය තුළ ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගේ සාකච්ඡාව ඉතාමත් පැහැබර ලෙස ජනමාධ්‍යයට කරුණු පැහැදිලි කරන්නේ කුමන අරමුණින්ද යන බව අපට තේරුම්ගැනීමට වැඩි ප්‍රඥාවක් අවශ්‍ය නැහැ.
ලංකාවේ දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින්නේ පරස්පර සම්බන්ධතාවයක් බව මේ ආචාර්ය සමිති සම්මේලනයේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාව තුළින් කුළුගැන්වෙන සිද්ධියක්.
මේ පරස්පර සම්බන්ධතාවය ප්‍රකාශයට පත් කරන ප්‍රවණතා ගණනාවක් තිබෙනවා.
ඒ පිළිබඳව ලංකාවේ දේශපාලනයේ සදාචාරය පිරිහීම දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී හරය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ඍජුව සාකච්ඡා කිරීමට තිබුණ අවස්ථාව මේ ආචාර්ය සමිති සම්මේලනය පැහැර හැර තිබෙනවා.
රටේ රාජ්‍ය ආයතනවල භාවිතය හා එහි තිබෙන වටිනාකම් පිරිහීමට ලක්වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට තිබූ අවස්ථාව උවමනාවෙන්ම චේතනාත්මකව මේ ආචාර්ය සමිති සම්මේලනය මගහැරිල තියෙනවා.
දෙවැන්න දේශපාලනයේ සදාචාර පිරිහීම නිර්සදාචාරවාදී භාවිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුල් වී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ද පරිහානියට පාත්‍ර වීමේ තත්ත්වයක් මේ තුළින් නිරීක්ෂණය වන සුළුයි.
ලංකාවේ දේශපාලන සදාචාරය යළි ගෙන ඒමට යම් ප්‍රයත්නයක් දැරීමේ මුලධර්මය ආචාර්ය සමිති සම්මේලනයේ වගකීමක් යුතුකමක්.
ඒ පිළිබඳව කිසිම සැලකිල්ලක් නොගෙන මේ රටේ බුද්ධිමතුන් විදියට විද්වතුන් විදියට උසස් අධ්‍යාපන ආයතනවල ගුරුවරුන් විදියට සිය වගකීම පැහැර තිබීම ඉතාමත් කනගාටුවට කරුණක්.
ලංකාවේ යහපත් දේශපාලන යළි ගෙන ඒමට කළ යුත්තේ කවර ආකාරයේ යෝජනාද යන්න මූලික අවබෝධයක්වත් මේ ආචාර්යවරුන් සතුව තිබිල නැහැ.
සදාචාරය පිරවුණු ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිතවී තිබෙන පරිසරයක ඔවුන්ගේ යුතුකම් වගකීම් චේතනාත්මකව අමතක කරල තියෙනවා.
ජනාධිපතිවරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ මේ වසරේ පැවැත්වූවත්, නැතහොත් සාමාන්‍ය දේශපාලනය තුළ ලබන වසරේ පැවැත්වූවත් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ලංකාවේ දේශපාලනයේ ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඒ සඳහා යහපත් න්‍යාය පත්‍රයක් ජනාධිපතිවරයාට මේ සාකච්ඡාවේදී යෝජනා කරන්න ඒ පිළිබඳව සූදානම්ව යෑම ආචාර්යවරුන්ගේ වගකීමක්. කාර්යභාරයක්.
නමුත් එවැනි සලකුණක් හෝ ගැඹුරු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණය සඳහා අදහස් ඔවුන් සතුව නැති බව මේ වන විට කරුණු පැහැදිලියි.
මහජන බලපෑමක් මතු වූ පසුගිය අරගල කාලය තුළ දී පුරවැසි අරගලය තුළින් උද්ගත වූ සමාජ දේශපාලන තත්ත්වය පිළිබඳව න්‍යායාත්මක හා හරයාත්මක තොරතුරු බෙදාහදාගැනීමට තිබූ අවස්ථාව හා ඒ සඳහා නිවැරදි දැක්මක් ජනාධිපතිවරයා සතු කිරීමට තිබූ හැකියාව චේතනාත්මකව අමතක කරලා තිබෙනවා.
මෙය ඉතාම කනගාටුවට කරුණක්.
මේ නිසා රටේ තව තවත් පාදඩ දේශපාලන උණුසුම වර්ධනය කරන තත්ත්වයක් ඉදිරි කාලයේදී උද්ගත වෙන්න පුළුවන්.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා මේ අවශ්‍ය මූලධර්ම ආචාර්යවරුන් සතුව නැති බව ඉතාම සියලු‍ම සෙසු ආචාරයවරුන් හා මේ රටේ බුද්ධිමත් ජනතාව ලැජ්ජා විය යුතු කරුණක්.
දේශපාලන දූෂණය බලය අයුතු සහ ප්‍රජා පීඩක ලෙස ජනාධිපතිවරයාගේ භාවිතය හා හැසිරීම පසුගිය කාලය තුළ සහ දැනට පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනාත්මක කරුණු පැහැදිලි කිරීමක් ඔවුන්ට කරන්නට තිබුණු අවස්ථාව මගහැරී ගොස් තිබෙනවා.
මේ නිසා පවුල්වාදය අල්ලස ජනතාවට බොරු කිරීම යනාදී දූෂිත ප්‍රවනතාවලින් මේ රට බේරාගැනීමට තිබුණු අවකාශය සඳහා යම් කාන්දු කිරීමක් ජනාධිපතිවරයාට කිරීමට තිබුණු අවස්ථාව ප්‍රයෝජන නොගැනීම ඉතාම කනගාටුවට කරුණක්.
යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රට නිදහස් කරගැනීමට වෙහෙස විය යුතු ආචාරයවරුන්ගේ හැසිරීම භාවිතය ආත්මාර්තකාමී අවස්ථාවන් නම් මහාචාර්යවරු චේතනාත්මකව පැහැර හැර තිබෙනවා.
මේ රටේ අධ්‍යාපනයේ මූලධර්මවල සිඳී බිඳී ගිය විෂමතාවයන් එයින් ජනිත නොවන්නේද?
එක්සත් ජාතික පක්ෂය පොහොට්ටු සන්ධාන ආණ්ඩුව ඊට පෙර හැම ආණ්ඩුවකම පොදුවේ ක්‍රියාත්මක වුණු අල්ලස දූෂණය අත්තනෝමතික පාලනය තුළින් රටක් තුළ වර්ධනය විය හැකි බැරූරුම් තත්ත්වයන් තේරුම් බේරුම් කිරීමට ජනාධිපතිවරයාට පෙන්වාදීමට ඒ තුළින් පැන නගින දීර්ඝ කාලීන අයුතු සමාජ විෂමතාවයන් තෝරාබේරා පැහැදිලි කිරිම තුළින් ඇති වන අවකාශය මඟහැරී ගොස් තිබෙනවා.
දිගින් දිගටම පාදඩ දේශපාලනය මහජනතාව රැවටීම තුළ තවදුරටත් ජනාධිපතිවරයා ඒ මගම යාම යුතු බව නිහඬව ප්‍රකාශ කිරීම තුළම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ දුරාචාර බවත් ආචාර්ය සමිති සම්මේලනයේ දුර්ගුණත් මේ තුළින් මතු වී පෙනෙන්නේ නැද්ද?
රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රකාශකයකු වශයෙන් දසක දෙකකට ආසන්න කාලයක් සේවය කළ ජී. එල්. පීරිස් මීට දින කිහිපයකට පෙර කියා සිටියේ වර්තමාන ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් මීට පෙර නොවුණු බවයි.
එසේ නම් ජී. එල්. පීරිස් පාදඩ දේශපාලනය තුළ රැf​ඳමින් එවැනි ප්‍රකාශයක් කිරීමත් මේ රටේ බුද්ධිමය සමාජ සංස්කෘතිය තුළ හැසිරෙන ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් මනා අවබෝධයකින් තොරව ක්‍රියා කිරිම ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක් නොවන්නේ ද?
අල්ලස දූෂණය හා බලය අයුතු ලෙස අවභාවිතා කිරිම ලංකාවේ පාලක පන්තියේ ප්‍රධාන කාර්යභාරයක් වන බව අප දන්නා කරුණක්.
ඒ සඳහා තවදුරටත් ඊට සේවය කරන බුද්ධිමත් සමාජ සංස්කෘතියක් තවදුරටත් දිගු වෙමින් තිබෙන බව ආචාර්ය සමිති සම්මේලනයේ සාකච්ඡාව තුළින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් එයින් ඉන් ජනිත නොවනේද?
සාමාන්‍ය චර්යාවක්ව පවතින දූෂණය ඡන්ද දිනාගැනීම සඳහා ජාතිවාදය වැපිරීම ලංකාවේ දේශපාලන ප්‍රවණතාවය තවදුරටත් නැති කිරීම සඳහා ප්‍රතිපත්තිමය සැලසුම් යෝජනා කිරීම ආචාර්ය සමිති සම්මේලනයේ වගකීමක් නොවන්නේද?
එවැනි ප්‍රවණතා කඩා බිඳ දමා දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක් පුරවැසියන්ට අලු‍තෙන් ගොඩනැගීම
සඳහා නායකත්වයට විධායකයට එවැනි ලැබෙන අවස්ථාවලදී කාන්දු කිරිම බුද්ධිමතුන්ගේ වගකීම නොවන්නේද?
එසේ නැත්තේ ඒ දුරාචාර දේශපාලනය තුළත් තවදුරටත් නිදි වැදීමට යහන්ගතවීමට මඟුල්කෑමට අවබෝධයක් ලංකාවේ බුද්ධිමතුන් සතු දේශපාලන දූරාවලියේම කොටසක් නිසාද?
සාමාන්‍ය ජනතාවට කැක්කුමක් ඇති බොහෝ කරුණු ආචාරය සමිති සම්මේලනය අමතක කිරීම දූෂිත දේශපාලන සමාජය තවදුරටත් නියෝජනය කිරිම සඳහා ආචාර්යවරුන් මැදිහත්ව තිබීම ඉතාම පාපකාරී ක්‍රියාවක් නොවන්නේද?
දුර්ගුණවලින් මිදීමේ අවශ්‍යතාවය ගැන හැඟීමක් මේ ආචාර්යවරුන්ට නැතිකම ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන්නන්ගේ අනාගතය පිළිබඳව ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක් උදාවන සුළුයි.
මෙවැනි පසුබිමක් තුළ ඉදිරි කාලයේදී අලු‍ත් ආණ්ඩුවක් යනු දූෂිතයන්ගේ අලු‍ත් සංධානයක් වශයෙන් ඉදිරියේ ගොඩනැගීම අපට දකින්න පුළුවන් වේවි.
මේ දිනවල දේශපාලන සිදුවීම් දෙස ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි අපේක්ෂා පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් බලන විට පෙනී යන අභියෝග ගණනාවක්ම තිබෙනවා.
දේශපාලන සදාචාරය සමඟ සම්බන්ධ වන කර්තව්‍යයන් තවදුරටත් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන සමාජ වැපිරීමක් බව මින් පෙනී යනවා.
දැනට බලයේ සිටින එමෙන්ම බලයේ නොසිටින දූෂිත සහ බලලොභී දේශපාලන පන්තියේ ග්‍රහණයෙන් අප රටේ දේශපාලනය ගොඩගැනීමට ඉන්නා පිරිස අතර යථිවර සමාජය විද්වත් ආචාර්ය සමිති සම්මේලනය මේ වන විට සිය යුතුකම් වගකීම් පැහැර හැර තිබෙනවා.
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය යහපත් අනාගතයක් රටක් සඳහා රට ගොඩනගන්න්නේ කෙසේද යන්න අභියෝගය රට තුළ ජනිත වී තිබෙන සංසිද්ධියක්.
මෙවැනි පසුබිමක් තුළ දේශපාලන පක්ෂවලින් ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජ කණ්ඩායම් හමුවේ ඇති අභියෝගය ඔවුන් ද මනාව තේරුම්ගත යුතුයි.
පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් වැඩපිළිවෙළක් සමාජ කථිකාවක් පුරවැසියන් සඳහා ගොඩනැගීමේ අවස්ථාව ඉන් පිළිබිඹු වෙනවා.
සංවිචාරණීය සමාජයක් උදෙසා කාලය දේශය සමාජ තත්ත්වය දැන් පුරවැසියන් තේරුම්ගත යුත්තේ ඒ නිසයි.
පුරවැසියන්ගේ යහපත් පිබිදීම ප්‍රජාතන්ත්‍රවාදී මාවතක හොඳ දිසාගතවීමක් වෙන්න පුළුවන්.
ඒ නිසා ඊට අවශ්‍ය විවිධ මාර්ගවලින් සිය න්‍යාය පත්‍ර පුරවැසියන් විසින්ම එකිනෙකා ගොඩනාගැනීමේ මාවතක් දියත් කරගැනීම අත්‍යවශ්‍යයි.
දැනට පාදඩ දේශපාලනය තුළ තිබෙන බිය ගැන්වීම බොරු පොරොන්දු මත ඡන්දදායකයන් රැවටීම මන්ත්‍රීවරුන් මිලටගැනීම වැනි මේවා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් දිගු කරගැනීමේ මාවතක මේ රටේ බුද්ධිමත් පාර්ශ්වයන් සිටගෙන ඉන්නා බව තේරුම්ගැනීම පුරවැසි ඔබ තේරුම්ගැනීම ඉතාම යහපත්.
තවදුරටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විශ්වවිද්‍යාලයේ පැවැත්ම පිළිබඳව උසස් අධ්‍යාපන ගැටලු‍ අරඹයා ලංකාවේ ආරම්භය වර්ධනය හා ඉදිරි වෙනස්කම් කුමන ආකාරයට තල්ලු‍ වේද යන්න අපි ඉදිරි ලේඛනවලින් බලාපොරොත්තු වෙමු.
මේ අතර රජයට අනියම් බලපෑමක් විශ්වවිද්‍යාල සංස්කෘතිය හරහා දිගු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂක් සභාවේ සභාපතිවරයා ඉරිදා ජාතික පුවත්පතක කතෘ මණ්ඩල ප්‍රධානියා හරහා ක්‍රියාත්මක බව ඔබ දන්නවාද?
ඉදිරි ලේඛනවලින් නම් හා තනතුර සමඟ බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න