මැකියාවේලි න්‍යාය මේ දිනවල ලංකාවේ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටු පක්ෂය මනාව ප්‍රකාශ කරමින් ඉන්නවා.
ඒ ඔවුන්ගේ බලය උදෙසා සිදු කරන අරගලය සඳහා රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමශීලී කපටි කුමාරයකුගේ භූමිකාව මනාව ඉටු කනවා යැයි මහින්ද නඩය හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂත් පුන පුනා ප්‍රකාශ කරමින් ඉන්නවා.
නමුත් ඔවුන් කිසි විටකත් එය හුදෙක් මැකියාවේලිගේ උපක්‍රමශීලී කුමාරයාගේ බලය රැකගැනීමේ න්‍යාය ඍජුව කියන්නේ නැහැ.
කොහොම වෙතත් ත්‍රස්තවාදී උවදුර නැතිකර ගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන පැහැදිලිවම 1979 දෙසැම්බර් 31 දිනට පෙර ඊනියා උතුරේ ත්‍රස්තවාදය තුරන් කිරීමට ක්‍රියාමාර්ගයක් ගත්තා.
ඒ ත්‍රස්තවාදය තාවකාලික වැළැක්වීමේ පනතයි.
ජේ. ආර්. ජයවර්ධන එය සම්මත කර ගන්නා විට දකුණේ ඊට විරෝධය පැන නැගුනා.
නමුත් බොහෝ දෙනකුගේ ආශිර්වාදය ඊට හිමි වුණා.
සිංහල ජාතිවාදය හා දෙමළ විරෝධය ඊට සාධක වුණා.
දකුණේ බොහෝ මාධ්‍ය ඒ කාලයේ ආණ්ඩුවට හීලෑව කටයුතු කළා.
හීලෑ නොවුණු මාධ්‍ය මර්දනය කරන්නත් ජේ. ආර්. සමත් වුණා.
මේ තාවකාලික ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සිංහල පුවත්පත්වල කතා නොකළ තරම්.
කොටින්ම දකුණේ සංවාදයක් පැහැදිලිව විධිමත්ව සිදු වුණේ නැහැ.
නමුත් උතුරේ පළ වූ ඉංග්‍රීසි පුවත්පතක් වන සැටර්ඩේ රිවිව් පුවත්පත ඒ පිළිබඳව අවධානය යොමු කළා.
එහි කතෘ වුණේ එදා ගාමිණී නවරත්න පුවත්පත් කලාවේදියයි.
ඔහු ඒ පිළිබඳව කිසියම් කාර්යභාරයක් එදා සිදු කළා.
කොහොම වුණත් ලංකාවේ නිදහස් අරගලය මෙහෙය වූ ජාතික නායකයකුගෙන් සැදුම්ලත් ජාතික සංගමය ඔබ දන්නවා ඇති.
මෙරට නිර්මාණය වූ පළමු ජාතික මට්ටමේ දේශපාලන සංවිධානය ලෙස එය නම් කරන්න පුළුවන්.
ආරම්භයේ පටන් ජාතික සංගමය ප්‍රභූ සංවිධානයක ලක්ෂණ පෙන්නුම් කළා.
ඒ තුළින් සනාථ කරේ මොකක්ද?
සදාචාරය හා නීතිය කා සඳහා ද? හුදෙක් බලය උදෙසා ප්‍රභූ දේශපාලනය සඳහා බව ජාතික සංගමයේ සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන විකාශනය දක්වා කරුණු පැහැදිලි කරන්න අප්‍රමාණව තිබෙනවා.
බලය දරන්නා දාර්ශනිකයකු විය යුතු බව ප්ලේටෝ සඳහන් කර තිබෙනවා.
ඇරිස්ටෝටල් තම ගුරුවරයා වූ ප්ලේටෝගේ තනි පුද්ගලයකුගේ බලය දැරීම පිළිබඳව අදහසින් ව්‍යුක්තව සුළු පිරිසකගේ ආණ්ඩුවකින් යුත් සද්භාවයෙන් යුතුව සිදු කරන බලය දැරීම පිළිගත්තා.
මධ්‍යතන යුගයේ දේවධර්මවාදීන්ගේ අදහස වුණේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන පුද්ගලයින් බලය දැරිය යුතු බවයි.
ඒ මිත්‍යාව ඈත අතීතයේ පටන් ලෝකය පුරා ප්‍රසාරණය වෙලා තියෙනවා.
සම්මුතිවාදී චින්තකයෙක් වන හෝප් දැක්වූ අදහස නම් අසහාය බලැති පාලකයකු විසින් ජනතාව පාලනය කළ යුතු බවයි.
මැකියාවේලි උපක්‍රමශීලී කපටි කුමාරයකු විසින් බලය දැරිය යුතු බව පෙන්වා දුන්නා.
පසු කලෙක ලිබරල්වාදය යුරෝපය තුළ ස්ථාපිත වීමත් සමඟ සීමිත බලයකින් යුතු පාලකයකු පිළිබඳ අදහස් ඉදිරිපත් වුණා.
කොම්ප්ටේ, ටොකුවිල් වැනි චින්තකයින්ගේ අදහස වූයේ සමාජ පරිවර්ථනයක් සිදු කිරීම ප්‍රභූ පන්තිය විසින් සිදු කරන්නේ හුදෙක් බලය රැක ගැනීම සඳහායි.
මේ බලය රැක ගැනීම සඳහා සදාචාරය වසාගෙන තමන්ගේ නීතිය ව්‍යවස්ථානුකූලව ඊට සදාචාරත්මකව මුහුණු වරක් පෙන්වමින් නෛතික භාවයක් පෙන්වමින් කූඨ ලෙස පොදු ප්‍රජාවගේ හිමිකම් වසා ගැනීමේ සමාජ ප්‍රවනතාවයකට ශ්‍රී ලංකාව මේ වන විට පත් වී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන එදා සැටර්ඩේ රිවිව් කතෘ ගාමිණී නවරත්නගේ කතුවැකිය තුළ මෙසේ සඳහන් වුණා.
කුකුළා උතුරේ හඬලමින් සිටී. දකුණට ඒ ගැන අවධානයක් නැත.
එහෙත් කල් නොයවා කුකුළා දකුණේද හඬලනු ඇත්තේය.
ඔහු කකුළා ලෙස හැඳින් වූයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පිළිබඳවයි.
නවරත්න එදා කිව්වා සේම අවුරුදු 5ක් ගත වීමටත් පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාවේ දකුණ මර්දනයට ආණ්ඩුව එනම් එදා ජේ. ආර්. ජයවර්ධන ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරා.
ඒ පනතේ බරපතලකම දකුණට අවබෝධ වන විට ලංකාවේ කොළඹ, මාතර, ගාල්ල, හම්බන්තොට හා දිවයින පුරා ලේ ගංගා ගලා යමින් තිබුණා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම පසු කලෙක මැතිවරණ පොරොන්දුවක් බවට පත් වුණා.
ඒ ශ්‍රී ලංකාවේ දකුණ තුළ ජීවත් වූ ජනතාව ඇති තරම් මර්දනයට ගොදුරු වූ නිසයි.
උතුරේ එල්.ටී.ටී.ඊ ඇතුළු දේශපාලන සංවිධානත් දකුණේ ජේ.වී.පී. ඇතුළු දේශපාලන සංවිධානත් මර්දනයට මේ පනත සාර්ථකව ජේ. ආර්. ජයවර්ධන එදා යොදා ගත්තා.
පසුකාලීනව ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුත් ඊට පියවර ගත්තා.
ඊටත් පසුව ජනාධිපති චන්ද්‍රිකා, ජනාධිපති මහින්ද පමණක් නොව මේ වන විට ජනාධිපතිව සිටින රනිල් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අඩු වැඩි වශයෙන් මේ වන විට ප්‍රයෝජන ගනිමින් ඉන්නවා.
අන්තර් විශ්වවිද්‍යාල බලමුළුවේ මුදලිගේ මාස ගණනක් රඳවාගෙන සිටියේ ඒ ත්‍රස්තවාදයට අදාළ පනතට අනුවයි.
කොහොමහරිම 1946 මැතිවරණ ඉලක්ක කර ගනිමින් එවකට ලංකා ජාතික සංගමයේ සිටි නායකයින්ගෙන් සමන්විත පිරිස එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ගත්තා.
ඒ උප්පත්තියත් සමඟ පරම්පරාවෙන් හිමිවන ප්‍රභූත්වය මත ආධිපත්‍යය හිමි වූ දේශපාලන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය.
මේ සඳහා හොඳ අනවර්ත නාමයක් ද දී තිබෙනවා.
එනම් මාමගෙයි බෑනගෙයි පක්ෂය ලෙස.
එක්සත් ජාතික පක්ෂය තුළ ආරම්භයේ සිට පැවති සේනානායක පරම්පරාවේ ආධිපත්‍යය ඊට හේතු වුණා ඒ එදා.
එක්සත් ජාතික පක්ෂයේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා උප්පත්තියෙන් හා පරම්පරාවෙන් ප්‍රභූත්වයට පත් පිරිසක් විසින් මෙහෙයවන ධනවාදී දේශපාලන පක්ෂයක් බවට මේ වන විට තහවුරු වී අවසන්.
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත හා කුසලතාවය මත බලය ලබාගැනීමේ හැකි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියත් එහි උපක්‍රමශීලී කපටි න්‍යාය නම් මැකියාවේලීගේ න්‍යායයි.
පහළ මධ්‍යම පන්තික පසුබිමකින් පැමිණි රණසිංහ ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නට සිදු වුණා.
අගමැති හා ජනාධිපති ධුරයන්ට පත් වීම දක්වා බලය හැසිරවීමේ ස්වභාවය ඒ කාලවල අදාළ දේශපාලන පරිසරය අධ්‍යයනයේදී ඒ බව තහවුරු වෙනවා.
ප්‍රභූ පැලැන්තියක් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ කුසලතාවයන් මත ලබාගැනීම පහළ ස්ථරයේ සිටින සාමාජිකයකුට වුවද ඉහළ ස්ථිරයකට පැමිණීමට අවකාශය තිබෙන බව මතු පිටින් පෙන්වූවත් එය සැබෑ සත්‍යය නොවේ.
ජේ. ආර්. ගේ පරම්පරාවේ අයෙක් වන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් ජේ. ආර්. ගෙන් පසුව පක්ෂය බදාගෙන ඉන්නවා.
ඉන් පසුව රංජිත් විජේවර්ධනගේ පුතෙකුට භාරදීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට රනිල් වික්‍රමසිංහ සකස් කරමින් ඉන්නවා.
කරුණු කෙසේ වෙතත් ප්‍රභූ දේශපාලනයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි මායාව එක්සත් ජාතික පක්ෂයයි කීවොත් වඩා නිවැරදියි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම පසු කලෙක මැතිවරණ පොරොන්දුවක් බවට ඇතැම් අවස්ථාවලදී පත් වුණා.
කොහොම වෙතත් මේ වන විට රනිල් සැරසෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට උතුරේ මෙන්ම දකුණේ තිබෙන විරෝධය දඩමීමා කරගෙන ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමටයි.
මෙම යෝජිත පනතට දැඩි විරෝධයක් දේශපාලන පක්ෂවලින් හා විද්වත් සංවිධානවලින් මතු වෙමින් තිබෙනවා.
මේ පනතේ ත්‍රස්තවාදය යන වචනයට දී ඇත්තේ සාවාද්‍ය අත්තනෝමතික අර්ථකතනයක්.
මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණ අනුමත වී පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් මෙරට දේශපාලන ක්‍රියාකාරී සක්‍රීය පුරවැසියෙකුට ජීවත් වීමට සිදුවන්නේ ත්‍රස්තවාදියකු යැයි නම් කර අත්අඩංගුවට ගැනීමේ සැකය හා බිය මුසු හැඟීමෙන්.
ජේ. ආර්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් ද සිදු වූයේ ප්‍රජාව මර්දනය කිරීමයි.
නමුත් දිගින් දිගටම ත්‍රස්තවාදය වර්ධනය වීමක් ද දකින්නට ලැබුණා.
වර්තමාන ජනාධිපති රනිල් මේ ප්‍රතිත්‍රස්ත පනතින් බලාපොරොත්තු වන්නේ 1971 සිට ඉකුත් වසර දක්වාම අඛණ්ඩව අසීමිතව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මේ සමාජය තුළට මුදාහැරීමට ප්‍රති ත්‍රස්ත පනත මගින් උත්සාහ ගැනීමයි.
මෙය ප්‍රභූ ප්‍රචණ්ඩ දේශපාලනයේ සමාජ හැසිරීම හා නෛතික භාවිතය සඳහා සිදු කරන්නක්.
මෙය ඇත්තටම ඉතාම කණගාටුදායක තත්ත්වයක්.
ආර්. ප්‍රේමදාස ඉදිරියට ගෙන ගියේත් මහින්ද ඉදිරියට ගෙන ගියේත් මේ ත්‍රස්ත පනත අඩු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගැනීමෙන්.
පසුගිය දිනක අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ජනමාධ්‍යයට අපූරු අදහසක් ප්‍රකාශ කර තිබුණා.
එනම් කවුරු හරි සහතිකයක් දෙනව නම් ඉදිරියේදී ත්‍රස්තවාදයක් ඇති වන්නේ නැහැ කියලා අපි මේ පනත ගේන්නේ නැහැ.
මේ පනත අදාළ වන්නේ ත්‍රස්තවාදයට පමණයි.
අපිට දැන් විකල්ප තුනක් තියෙනවා.
මේ තියෙන පනත තියාගන්න එක.
දෙවැන්න ඒ පනතත් අහෝසි කරල දාන එක.
අනෙක් පියවර තමයි ජාත්‍යන්තරය පිළිගත් මට්ටමේ ජාතික ආරක්ෂාව තහවුරු වන මූලික මිනිස් අයිතිවාසිකම් තුළනය වන නව පනතක් ගේන එක.
දැන් අපි මේ ගෙනත් තියෙන්නේ ඒ විකල්පය තමයි.
නමුත් මේ ප්‍රතිත්‍රස්ත පනතින් මුලික අයිතිවාසිකම් තුලනය නොවන බව පැහැදිලියි.
ජනතාවගේ ආරක්ෂාව අහිමි වන බව වඩාත් පැහැදිලි කර තිබෙන්නේ ජාත්‍යන්තර සංවිධාන.
ඇමෙනිස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්‍යන්තර හිමිකම් ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිත්‍රස්ත පනත දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා.
ඒ සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාට මැදිහත් වන්න යැයි ද අන්තර්ජාතික සංවිධාන මේ වන විට ඉල්ලීම් කරල තියෙනවා.
මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය සංකීර්ණ වීමේදී පාලකයාගේ පහසුව සහ ප්‍රභූ දේශපාලනය සඳහා මෙවැනි පනත් ගෙන ඒම සාමාන්‍ය දෙයක්.
ආර්ථිකය බිඳ වැටීම තුළ පසුගිය වසර 75ක් තුළම ප්‍රචණ්ඩ දේශපාලනය ව්‍යාප්ත වීම නිසා ඇත්තටම ශ්‍රී ලංකාව බිංදුවට වැටී තිබෙන අවස්ථාවක මේ වන විට දිවයින පුරා ජනතාව වෙහෙසට පත් වෙලා ඉන්නේ.
කොහොම වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වසා දමමින් ප්‍රභූ පරම්පරවේ ප්‍රභූත්වය හා ප්‍රභූත්වය රැක ගැනීම සඳහා ප්‍රති ත්‍රස්ත පනත යටතේ ව්‍යාවස්ථා රාමුවකින් කොටු කිරීමට රනිල් උත්සා දරමින් ඉන්නවා.
බලය රැක ගැනීමේ හැකියාව ඒ සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සකස් කරගැනීම මේ ප්‍රති ත්‍රස්ත පනත අනුව ක්‍රියා කරලා තිබෙනවා.
මේ තත්ත්වය ඉතාම භයානකත්වයට තල්ලු වී තිබෙනවා.
සදාචාරය සමාජය විසින්ම නිර්මාණය වන යහපත් සංසිද්ධීන් වෙනුවට දූෂිත සමාජ ක්‍රියාවලින් මතුවීමට ඇති ඉඩකඩ වැඩියි.
මිනිසාගේ හා තිරිසනාගේ වෙනස බෙදා වෙන් කරන මිනුම් දණ්ඩ මේ ප්‍රතිත්‍රස්ත පනත අනුව වියැකී යන තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා.
ආගම දහම ඇසුරෙන් පුරුදු පුහුණු කරගත් සිතුවිලි ඒ සඳහා ලබාදිය යුතු වටිනාකම්වලට ප්‍රජාව ඉදිරි කාලයේදී මේ ප්‍රභූ දේශපාලනය සඳහා කඩේ යන බෞද්ධ හා වෙනත් පූජ්‍ය පක්ෂවල හැසිරීම හා භාවිතය නිසා ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක නීතිය කොයිබට ද යන ප්‍රශ්නය මතුවෙන සුළුයි.
ඒ සඳහා දිවයින පුරා සමාජ සංස්ථා සෝදාපාලුවට යන තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙනවා.
දුප්පත්කම නිසා මැසිවිලි නගන යැපීමේ සංස්කෘතියකට කපටි දේශපාලනඥයින්ගේ හැසිරීම භාවිතය නිසා රට තල්ලු වෙමින් තිබෙනවා.
කැලෑ නීතිය පිළිබඳ විවිධ ගැටලු සහගත තත්ත්වයන් මතු විය හැකියි.
ඒ පිළිබඳ විදිමත් යථා ස්වභාවයන් පිළිබඳව අනතුරු හැඟවීමට විශ්වවිද්‍යාල මට්ටමෙන් කිසියම් වැඩපිළිවලක් තවමත් ඉදිරිපත් වී නැහැ.
විද්වතුන්ගේ අදහස් උදහස් මතුපිටින් අතගාන තත්ත්වය තුළ විද්වතුන්ගේ සැබෑව සහ අසත්‍ය කුමක්ද යන්න තේරුම්ගැනීමට නොහැකි තත්ත්වයක් ද දකින්නට ලැබෙනවා.
ප්‍රජාවගේ අධ්‍යාත්මික දැනුම සෝදාපාලුවට යන්න තිබෙන අවකාශය මේ තුළින් ගැඹුරු ගැටලු සහගත තත්ත්වයන් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්.
සංස්කෘතිය රඳවා ගනු ලබන්නේ සදාචාරයේ සැබෑ මිනිසුන්.
නමුත් ප්‍රජාවට සාමුහික හැඟීම වියැකී යන තත්ත්වයට ජනතාව ඉදිරි කාලයේ දී පත්වෙන්න පුළුවන්.
නෛතික සදාචාරය රජය ආරක්ෂා නොකරන්නේ නම් සමස්ත සමාජ සංස්ථා බිඳ වැටෙන සුළුයි.
රටක සදාචාරය ආරක්ෂා කිරීම නීතියේ ප්‍රධාන කාර්යයක්.
ඒ අනුව රජයක ප්‍රධාන ගුණාංග පහත මතුවෙන සුළුයි.
රජයකට සදාචාරාත්මක ආවේණික ගුණාංග තිබිය යුතු බව.
ඒ ආවේණික ගුණාංගවලට ආවේණික චර්යාවන් නියෝජනය විය යුතු බව.
රජයක සැබෑ අනන්‍යතාවය පැහැදිලි විය යුතු බව.
මානුෂීය ලක්ෂණ රජය සැබවින්ම ප්‍රදර්ශනය කළ යුතු බව.
විනිවිද දැකීමේ ආණ්ඩුවක ලක්ෂණ තිබිය යුතු බව.
මානුෂික ගුණාංග සැබැවින්ම ජනතාව ජීවත් කරවීමට රජය උත්සාහ ගන්නා බව ජනතාව තුළ විශ්වාසයක් පිළිගැනීමක් ඇති විය යුතු බව.
එවැනි විශ්වාසනීයත්වයක් මේ ප්‍රති ත්‍රස්ත පනත යටතේ ඉච්ඡා බංගත්වයට පත්වෙමින් තිබෙනවා.
ඒ නිසා ශිෂ්ඨ සම්පන්න ප්‍රජාවකගේ හැසිරීම හා භාවිතය ඉවත් වෙමින් මානව හිමිකම් ප්‍රඥප්තියේ තේරුම රජය නොදන්නා බව මේ ප්‍රති ත්‍රස්ත පනත මගින් වැඩිදුරටත් සනාථ කරන සුළුයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා සෙසු පනත්වල නීතියෙන් ලබාදී ඇති හිමිකම් සමඟ ගැටෙන පනතක් ප්‍රතිත්‍රස්තවාදී පනත.
එපමණක් නොව මේ පනත තුළින් බලය ඉක්මවා කටයුතු කිරීමට පොලිසියට අවකාශ ලබාදී තිබේ.
මේ නිසා සමස්ත සමාජය තුළ අවිනිශ්චිත භාවය දිගින් දිගටම ප්‍රවර්ධනය වන සුළුය.
සාමාන්‍ය නීතිය සමඟ නොපෑහීම නිසා අයුක්තිය රජවන තත්ත්වයක් මතුවන සුළුය.
මේ නිසා අසාධාරණය පූර්ණ වශයෙන් සමාජගත වන පරිපාලනමය සමාජ රටාවක් කෙමෙන් රට තුළ වර්ධනය වීමේ අවකාශය පුළුල්ය.
මේ නිසා යුක්ති ධර්මය වෙනුවට අයුක්තිය රජ කරන පොලිසියක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
දැනටමත් ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව සිය ඉතිහාසය තුළ හා වර්තමානය තුළ ඔවුන්ගේ හැසිරීම හා භාවිතය තුළින් දූෂත බව ඉහළ සිට පහළටම නිලධාරින්ගෙන් ප්‍රදර්ශනය වී ඇත.
කෙසේ හෝ සමස්තයක් ලෙස බලන විට මෙය අයුක්තියේ උල්පත වශයෙන් නම් කිරීම වඩාත් සුදුසුය.
ශ්‍රී ලංකාව කඩා වැටී ඇත්තේ අල්ලස් දූෂණ හා හොරකම නිසයි.
ඉතිහාසයේ සිට වර්තමානය දක්වා මැති ඇමැතිවරු නිලධාරින් අල්ලස් දූෂණයේ ප්‍රමුඛයින් වී සිටිති.
හොරු සමඟින් හිඳ පරිපාලන ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රභූ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂිත පනතක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
ඒ නිසාම මේ වන විට පාර්ලිමේන්තුවේ අධිකරණ අමාත්‍යවරයා සිය පනත ඉදිරිපත් කිරීම පසුවට කල් තබා ඇත.
කෙසේ වෙතත් පොදු පුරවැසියා අවබෝධකර ගත යුතු දෙයක් ඇත.
එනම් තමන්ට දැනෙනකම් පමණක් මෙය තේරුම්ගෙන ක්‍රියාකිරීමට මැලිවීම පසුකාලයක පසුතැවීමට ප්‍රධාන සාධක ගණනාවකින් යුතු සංකීර්ණ ගැටලු පොදු පුරවැසියා බදාගෙන මහ පොළොවට පස් වන තුරු සමාජ ඛේදවාචක උද්ගත වීමේ අවකාශය පුළුල්ය.
ඉතිහාසයේ ආවර්ජන මත වර්තමානය තේරුම්ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්ය.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කළ යුතු හා හොරු ඇල්ලීම සඳහා මීට වඩා ප්‍රතිපාදන මේ වන විටත් ආණ්ඩුවේ පනත්වල ගොනුව තිබියදී කොහේවත් නැති ප්‍රතිත්‍රස්ත පනතක් ඉදිරියට රනිල් වික්‍රමසිංහ රජය ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාව මත තවදුරටත් සත්‍ය වසන් කිරීමේ ඉතිහාසය සනාථ කිරීමෙන් නොවේද?
2 වන කොටස බලාපොරොත්තු වන්න

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න