ලෝකයේ බොහෝ ආගමික වශයෙන් කඳවුරු බෙදිලා වෙළෙඳපොළ ව්‍යාප්ත කරගත් විවිධ පැති තිබෙනවා .

ඒ කඳවුරු තුලින් ම ජීවත් වන ආගමික මතිමතාන්තර තුළ යැපෙමින් ඊට ප්‍රතිවිරුද්ධ වෙමින් හැසිරෙන සමාජ සංස්කෘතියක් ලෝකය පුරා දකින්න ලැබෙනවා .

මේ වටපිටාව තුළ ගොඩනැගුණු පොදු ඇදහිලි සමුදායක් තිබෙනවා .

මූලික ආගමික ඉගැන්වීම්වලින් පරිබාහිරව මිනිස් සිත් සතන් තුළ ස්වභාවිකව ජනිත වන එම ඇදහිලි අධි විශ්වාසයන් තවදුරටත් සංවර්ධනය කරලා තියෙන්නේ වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ආශ්‍රිතව .

මේ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් නිකුත් වූ කෘතිය පිළිබදව විචාරාත්මක පසුබිමක් කියවමු .

යන්ත්‍ර මන්ත්‍ර ආදී අතුරින් ලංකාවේ බොහෝ යන්ත්‍ර මන්ත්‍ර සමඟ බුදු දහම සම්බන්ධ වන බව මේ සමීක්ෂණ කණ්ඩායමට පෙනී ගිහිල්ලා තියෙනවා ‘

යන්ත්‍ර ජප කිරීමේ දී තෙරුවන් වැද එහි පිහිට ලබාගෙන සිදු කිරීම මේ කණ්ඩායමට විශේෂ වෙලා තියෙනවා .

බුදු හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඒ පිළිබඳව ප්‍රමෝට් කරන එක් අවස්ථාවක් මේ යන්ත්‍ර මන්ත්‍ර ආශ්‍රිතව අන්තර්ගත වෙලා තියෙනවා.

ඒ පිළිබඳව පසු විපරම් කිරීමට වැඩිදුරටත් විග්‍රහ කිරීමට අදාළ පර්යේෂණ කණ්ඩායම අසමත්වී තිබෙන බව කෘතියේ එන පරිච්ඡේදවලින් පැහැදිලි වෙනවා .

බුදු ගුණ ගායනය , පිරිත් දේශනය මගින් යක්ෂ ප්‍රේත ආදී නොපෙනන බලවේග මර්ධනය කිරීමෙන්  සහනය ලබා ගැනීම පිළිබඳව ලාංකික සමාජයේ පොදු විශ්වාසයක් තිබෙනවා .

පොදු විශ්වාසයන් අභිබවා යමින් විග්‍රහ කරන ඒ පිළිබඳව විචාරය කරන සමාජ පරිසරයක් අපි විශ්වවිද්‍යාල තුළින් දැකිය යුතුය .

බුද්ධ බලය යන්ත්‍ර මන්ත්‍ර භාවිතයට ප්‍රමුඛ වෙනවා කියලා අපි නොදන්න කරුණක් නෙවෙයි.

විශේෂයෙන් ම පුද්ගලයින්ට යහපතක් සිදු කිරීමට බුදු ගුණ සහිත මන්ත්‍ර භාවිත වන බවත් එසේ නොවන ඇතැම් ඒවා පුද්ගල අයහපතට යොදා ගන්නා බවත් මේ සමීක්ෂණයේ දී හෙළි වෙලා තියෙනවා .

නමුත් ඒ පිළිබඳව වැඩිදුරටත් කර තිබෙන නිර්වචන ඉතාම සීමිතයි.

පුද්ගලයන්ට අයහපතක් සිදු කරන මන්ත්‍ර බිඳ දැමීමට බුදු ගුණ සහිත මන්ත්‍රී ඉවහල් කර ගන්නා බවට මේ සමීක්ෂණ කණ්ඩායමට හඳුනා ගන්න ලැබිලා තිබෙනවා.

යක්ෂ ප්‍රේත දෝෂ රෝග ඇතිවීම පිළිබඳ සාමාන්‍ය ජනමතය විශ්වාසය පිළිගැනීමක් තුළ අන්තර්ගත වන බව සැබෑ සත්‍යක්.

හැබැයි එම සත්‍යය මේ සමීක්ෂණය තුළින් යොමු වූ නැති තවත් පැති ගණනාවක් ම තිබෙනවා .

ඇස් වහ, කට වහ, වහ දොස් පිළිබඳ තුළින් බොහෝ වෙලාවට මේ යන්ත්‍ර මන්ත්‍ර සඳහා වෙළෙඳ පොළ සමාජය නිර්මාණය වෙලා තිබුණ බව හඳුනාගෙන ඒ පිළිබද පුළුල් විමර්ශනයක් කිරීමට සමීක්ෂණ කණ්ඩායම අසමත්ව තිබෙනවා.

අධි විශ්වාසය ආගමිකවල දර්ශනය හෝ අන්තර්ගත නොවේ .

විශ්වාසයෙන් සිදුවන අයහපත් මානසික බලපෑම්වලට ආගමික හා අනාගාමික විසදුම් සෙවීමට සමාජය පෙලඹී තිබෙනවා .

ඒ සඳහා මිනිස්සුන්ට අවශ්‍ය දැනුම ලැබිය යුත්තේ බහුශ්‍රැත සමාජ ව්‍යුහයන් හා පද්ධතීන් තුළින් නොවේ ද?  .

පොදු අධි විශ්වාසයන් අතරින් ඇස් වහ , කට වහ , බෝ වහ හෙවත් වහ දොස්වලට ලංකාවේ පොදු සමාජයේ හිමි වන්නේ ප්‍රකට තැනක්.

ඇස් වහ , කට වහ , බෝ වහ යන දොස්වලට වඩා තරමක් වෙනස් තවත් පැත්තක් තියෙනවා .

ඒ අදෝවැඩියා දෝෂ.

මෙවැනි දෑ පිළිබඳව ඇත්තටම මේ සමීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වෙලා නැහැ.

මේ නිසා තව දුරටත් යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත කලාව නිවැරදිව යොදා ගැනීමෙන් රෝගීන් නිවැරදිව සුවපත් කිරීම තහවුරු කිරීමට හැකියාව ඇති බවට මේ සමීක්ෂණ කණ්ඩායමෙන් කිසියම් තල්ලුවක් ලබා දීල තිබෙනවා.

රෝගී තත්ත්වයන් වැළදීම පාලනය කිරීමේ බලයක් ද මේ යන්ත්‍ර මන්ත්‍රවලට තිබෙන බවට සමීක්ෂණ කණ්ඩායම ප්‍රත්‍යක්ෂ කරන කරුණක් .

ප්‍රතිකාර සඳහා නිරන්තර ව යොදා ගනු ලබන ආයුර්වේද ක්‍රම හෙළ වෙදකම ඇසුරෙන් රෝග නසන විශේෂිත බළයක් පවතින බවට සමීක්ෂණ කණ්ඩායමේ මේ කෘතිය තුළින් තුළින් ප්‍රකාශ වෙනවා .

විවිධ ඖෂධ පැලවල අඩංගු ඖෂධීය බලය රෝග නිවාරණය කෙරෙහි බලපාන බව සමාජයට අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ .

ජෝතිෂ්‍යය ආශ්‍රිත ශාස්ත්‍රයන් ඇසුරෙන් යන්ත්‍ර මන්ත්‍ර සිදු කිරීමත් ඒ මගින් ගණිත ශාස්ත්‍රය , තාරකා ශාස්ත්‍රය , ග්‍රහ පිහිටීම ආදී වූ විවිධ ක්‍රමවේද ඇසුරෙන් රෝග විනිශ්චය සිදු කරන බව මේ කෘතියේ සදහන්.

නමුත් එය අපට , සමාජයට , පුරවැසියන්ට අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ.

මේ නිසා තමයි යන්ත්‍ර මන්ත්‍ර ආශ්‍රිතව වර්තමාන සමාජයේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා ජනතාව නොමග යවමින් සූරා කන සමාජ පරිසරයක් ගොඩ නැගිලා තියෙන්නේ.

ඒ පිළිබඳව සතිපතා , දෛනිකව පළවන ජාතික පුවත්පත්වලත් වෙනත් ටැබ්ලොයිට් ප්‍රමාණයේ  පුවත්පත්වලත් ප්‍රකාශිත වෙළද දැන්වීම්වලින් තහවුරු වෙනවා.  

ඒ බව තවදුරටත් ව්‍යාප්ත වෙන්නේ මාධ්‍ය වේදීන් විසින් ආදාළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අදාළ අයගේ සාකච්ජා පුවත්පත්වල පල වීමෙන් තවදුරටත් ව්‍යාප්තියක් සමාජය තුළ තිබෙන පරිසරයක් තුළ විශ්ව විද්‍යාලය වැනි බුද්ධිමය සමාජ සංවර්ධනය කළ යුතු ප්‍රගතිය කරා සමාජය ගෙන යන ආයතනයක් තුළින් එහි සමාජිකයින් විසින් මෙවැනි කෘතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් සමාජයට ඇතිවන හිතකර හා අහිතකර ප්‍රතිඵල විවිධ ස්වරූප ගන්න පුළුවන්.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් සෙත සැලසීම පිළිබදව පුවත්පත් දැන්වීම් තුලින් රූපවාහිනි සාකච්ඡා මණ්ඩප වලට එන තොරතුරු හා යූ ටියුබ් චැනල්වලින් වෙනත් සමාජ ජාලා තුළින් යන ප්‍රවර්ධන වැඩසටහන් තුළින් තවදුරටත් ලාංකික පුරවැසියන්ගේ ප්‍රඥාව කොටු කිරීමේ සමාජ ව්‍යාප්තියක් දකින්නට ලැබෙනවා .

එම යන්ත්‍ර මන්ත්‍ර න්‍යායාචාරීන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩසටහන්වල ගැටළු සහගත තත්වයන් ද වර්ධනය වූ අවස්ථා දකින්ට ලැබෙනවා .

පසුගිය දා ජාතික රූපවාහිනියේ යම් වැඩසටහනක දී මේ පිළිබදව විවෘතව ම දකින්නට ලැබුණා.

පොල් ගෙඩියක් කෙළින් කිරීම රූපවාහිනි වැඩසටහන ,  මිත්‍යාව උඩින් පල්ලෙන් අත ගෑමක්.

මීට පෙර ජාතික රූපවාහිනියේ යම්කිසි සමාජ දැක්මක්  විනිවිද දැකීමේ ජීවමාන සංකේතයක් බඳු යථාරූපී වැඩසටහන බලධාරීන් කප්පාදු කළා.

ඒ ඇතැම් භික්ෂූන් වහන්සේගේ මැදිහත් වීම මත .

වැඩවසම් සමාජ ක්‍රමය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම , සත්‍ය හෙළි කිරීම භික්ෂුවට පාඩු සහගත දෙයක්.

මේ සිද්ධිය වෙන්නේ 2017 /04/ 27 වන දින යථාරූප වැඩසටහන දී.

ඇත්තටම මේ යථාරූප වැඩසටහන සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම නිවාඩු දින හැර රාත්‍රී 10 . 10 සිට රාත්‍රී 12 දක්වා විකාශනය කරනු ලැබුවා  .

මේ වැඩසටහනහි ඇත්තටම නිෂ්පාදකයා වූයේ සුමින්ද තිලකසේන.

සුමින්ද තිලකසේන යනු කෙටිකතා රචක අජිත් තිලකසේනගේ පුත්‍රයා ය .

මේ වැඩසටහන තුළ යම් සමාජ මෙහෙවරක් චින්තන විප්ලවයක් සදහා හොඳ පසුබිමක් සංවර්ධනය වෙමින් තිබෙන විට ඒ සඳහා එය කප්පාදු කරන්න මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේ ගත්තේ ඉතාම කුරිරු සහගත , ඉතාම ජනතාවගේ බුද්ධිය මොට කරන්න ගත්ත වෑයමක් කිව්වොත් වඩාත් වැදගත්.

මේ පිළිබඳව වඩාත් වැදගත් වන්නේ  සිරිපාල රණවක කංකානන්ගේ කතුවරයාගේ මිථ්‍යා විශ්වාසය සහ යථාර්ථය  කෘතිය තුළින් කරන ලද හෙළිදරව්වක දී කර තිබෙන සටහනක මෙහි දී නිර්වචන කිරීම ඉතාමත් වැදගත්.

එහි පිටු අංක 62 බලන්න .

එහි මෙසේ සඳහන් වේ .

“ ජපානය දී පිරිත් බලයෙන් අපිරිසිදු වතුර පිරිසිදු වතුර බවට පත් කළැයි ” , භික්ෂූන් වහන්සේ නමක් දෙරණ රූපවාහිනී නාලිකාවේ පෝදා දවල් නොපෙනෙන මානය වැඩසටහනක දි කළ ප්‍රකාශයකට උත්තර දෙන හේතූවාදී සංගමයේ සභාපති එස් රණතුංග මහතා “ ජපානයේ දී නොවේ , මෙන්න මෙතන දී පිරිත් බලයෙන් අපිරිසිදු වතුර ටිකක් අරගෙන පිරිසිදු වතුර බවට පත් කරලා පෙන්වන්න . ” යැයි කරපු අභියෝගය අද වනතුරුත් ඉටු වෙලා නෑ නේ ද  ?

පිරිත් නූලෙන් අපිරිසිදු වතුර පිරිසිදු වතුර බවට පත් කරනවා වෙනුවට මේ භික්ෂූන් වහන්සේ “ පිරිත් බලයෙන් කෙනෙක් ගල් කරලා සුව කරන්න  පුළුවන් ”  යැයි කියා  එය ඉටු කර පෙන් වූ විට ඒ වැඩසටහනේ දීම මාතලේ වෛද්‍ය සෙනරත් වීරගම මහත්තයත් , මහනුවර රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයත් කිසිත් ගුප්ත මන්තර බලයකින් තොරව කෙනෙක් ක්‍රම දෙකකින් සුව කරලා , ගල් කරලා , මස් පිඩුවල වෙනසින් මෙය සිදුවන්නක් බව පැහැදිලි කළ ආකාරය “ මහා ගුප්ත බලයක් හාස්කමක් තියෙනවා  ” යැයි කියන පිරිත් බලයට හොද ම පිළිතුරක් වුණා නේ ද?

2004 වර්ෂයේ සුනාමිය එන්න කළින් මාතර නිල්වලා ගගේ ගංගා රෝහණ වර්ණාව නමින් ලොවට ම සෙත් පතා සතියක් පිරිත් කියා දෙසතියකින් සුනාමිය ඇවිත් 50000 ට අධික  සංඛ්‍යාවක් මරු මුවට පත් වීමෙන් පිරිතට එබඳු බලයක් නැති බව ඔප්පු කරන්න , තවත් කරුණු අවශ්‍ය ද ?

පිරිතට ඔච්චර බලයක් තියෙනවා නම් , පිරිත් කියලා ඉවරවෙලා අන්තිමට නිදුක් වේවා ! නිරෝගී වේවා!  සුවපත් වේවා ! , කියලා ප්‍රාර්ථනා කරන්න ඕන ද?

පිරිතෙන් ලෙඩ සනීප කරන්න පුළුවන් නම් රෝහල්වලට , වෛද්‍යවරුන්ට , ශල්‍යකර්මවලට , ඖෂධවලට යන වියදම් නතර කරලා ඒ මුදල් දුප්පතුන්ගේ දුප්පත්කම නැති කරන්න අවශ්‍ය දේවල්වලට යොදවන්න පුළුවන් නේ ද ?

ඇත්තටම පිරිතට එහෙම කරන්න පුළුවන් හයියක් සත්‍යක් බලයක් නැහැ .

ඒත් මැති ඇමැතිවරුන් අන්ධ විශ්වාසයෙන් පිරිත් නූල් වෙනුවට අත්වල කඹ බැදගෙන තියෙනවා .

මේ පිළිබදව තවදුරටත් කරුණු විග්‍රහ කරන්නේ නම් කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය හා පසුව උපකුලපති වූ එන්.එම්. ජේ. මාරසිංහ මහතාගේ බුදුසමය සහ බුද්ධාගම යන ග්‍රන්ථයෙන් ඔප්පු කරන්න පුළුවන් .

බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මාරසිංහ මහතා ලියූ එම ග්‍රන්ථයට 189 වන පිටුවේ මෙසේ සඳහන් වේ .

“ සමාජ ජීවිතයේ දී මුහුණ පාන්න සිදුවන කරදර කම්කටොළු ආශ්‍රිතව හා ලෙඩ රෝග ආදිය සහ අමනුෂ්‍ය උපද්‍රව ආදිය නිසා සිදුවන බව විශ්වාස කළ ප්‍රාථමික සමාජ මට්ටමේ ජීවත් වූ ලාංකිකයින් එවැනි කරදරවලින් මිදීම සඳහා බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ආදියේ පිහිට සෙවූ අතර බුදු දහම මෙරටට හඳුන්වා දීමෙන් පසු ඒ වෙනුවට පිරිත් සජ්ජායනය කිරීමෙන් ඵලදායි ආදේශකයක් වශයෙන් යොදාගත් බව පෙනේ .”

මේ නිසා ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ මිත්‍යා විශ්වාසවලට බුදුසමයෙන් පිළිගැනීමක් සිදු වූ බව ලාංකිකයන් විසින් පිළිගැනීමයි . වෙනත් වචනවලින් කිවහොත් පිරිත් සජ්ජායනය කිරීමෙන් සියළු අමනුෂ්‍ය  උපද්‍රව ඇත්ත වශයෙන්ම නැති කළ හැකිය යන්න පිළි ගැනීම නිසා එවැනි අපල සහ අමනුෂ්‍ය උපද්‍රව ඇත්ත වශයෙන් පවතින බව තහවුරු වී ඇති බවයි.

මේ නිසා සියවස් ගණනකට පෙර අභාවයට යමින් තිබූ ප්‍රාථමික විශ්වාස රැසක් බුදු දහමේ අනුග්‍රහයෙන් තවමත් බෞද්ධයන්ගේ සිත් තුළ හොල්මන් කරමින් පවතින බව සත්‍යයකි .

රෝගාබාධ සුවපත් කර ගැනීම සදහා දහස් ගණනින් මුදල් හා ධනය  මේ බහුතරයක් වංචාකාරීන් සිටින න්‍යාචාරීන්ට ගෙවන බව අප කවුරුත් දන්නා සත්‍යයක්.

චංචාකාරීන් හා බොරුකාරයින්ගේ උපක්‍රමවලට රැවටී තවදුරටත් එවැනි දේ සංවර්ධනය වන්නේ මේ පිළිබදව වඩාත් ඵලදායී ශාස්ත්‍රීය නිබන්ධන මතු නොවන පරිසරයක් තුළ.

ඒ නිසා මේ වංචාකාරීන් හා බොරුකාරීන්ගේ උපක්‍රමවලට රැවටී තවදුරටත් ගොදුරු වෙන පරිසරයක් නිර්මාණය වී තිබෙනවා .

එනිසා මෙවැනි වපසරියක් තුළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ක්‍රමවේදයන් නිවැරදිව සිදු කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම අතිශයින් දුර්වල සමාජ තත්වයක් .

එය මේ කණ්ඩායමට ද යම් දුරකට වැටහී තිබෙනවා .

මෙවැනි පරිසරය සෝදා පිරිසිදු කිරීමේ වගකීම විශ්ව විද්‍යාලයක් බදු ආයතනයක් සතු කාර්යභාරය සුළුපටු නොවේ .

නමුත් මිනිසුන් අධ්‍යනයට මේ පිළිබඳව නිවැරදිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිතව අදාළ ශාස්ත්‍රය ගොණු  කර ගන්නා නිවැරදි පිරිසක් හඳුනා ගන්නට අදාළ කණ්ඩායමට හැකි වූ බව අදාළ කෘතියෙහි සඳහන්.

ඉතා දුෂ්කර ගම් දනවු මෙන් ම නාගරිකව ජීවත්වන මේ පිරිස් සොයා ගෙන කණ්ඩායම ගිහිල්ලා තිබෙනවා .

ශාස්ත්‍රය ඇසුරෙන් සමාජය සුවපත් කරන පුද්ගලයෝ කිසි දිනක තම ප්‍රසිද්ධියේ හෝ ආදායම් වැඩි වීම සඳහා ක්‍රියා නොකරන බව මේ කණ්ඩායමේ මතයක්.

ගම් දනව් වර්තමාන ශාස්ත්‍රය ඇසුරෙන් රෝගීන් සුවපත් කරමින් දැහැමෙන් සෙමෙන් කල් ගෙවන පිරිස හඳුනාගෙන තිබීම පමණක් මේ කණ්ඩායමේ රාජකාරිය නොවිය යුතු යැයි අපගේ විශ්වාසයයි.

නිහඬව සේවය කරන පිරිසට වඩා වෙළදපලක් කරගෙන නාගරිකව , ප්‍රාදේශියව යැපෙන එවැනි සමාජ සංස්ථා ආගමික ස්ථාන නිරුවත් කිරීම විශ්ව විද්‍යාලයක් බදු සමීක්ෂණ කණ්ඩායමට සුවිශාල වගකීමක් තිබෙනවා.

ශාස්ත්‍රයෙන් ස්වල්ප ප්‍රමාණයක් ඉගෙන ගෙන එයින් උපයන වාණිජ පරමාර්ථයෙන් සමාජය අවභාවිත කරන පිරිස් අති විශාල බව මෙයින් හෙලි කරලා තියෙනවා.

නමුත් එවැනි කණ්ඩායම් අඩු තරමේ තෝරාගත් අදාළ සමීක්ෂණ ප්‍රදේශය තුළින්වත් හෙළි දරව් කිරීමට අදාළ කෘතිය අසමත් වෙලා තියෙනවා.

රෝගාබාධ සුව කරන පුද්ගලයින් සොයා  ගැනීමට උකහට වූ බවත් නියමිත ක්‍රමවේදයට ඒ පිළිබඳව කරුණු සොයා බලා නැති බවත් කෘතියේ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන සත්‍යයක්.

පාරම්පරික ක්‍රමවේද  නිවැරදිව හා නිශ්චිතව සිදු කිරීම්වලින් රෝගාබාධ සමනය කිරීමේ බලය සහිත පිරිසක් හඳුනාගෙන තිබීම පමණක් මෙවැනි සමීක්ෂණයකින් ප්‍රමාණවත් නොවේ .

රටට දැයට සමාජයට තමා ඉගෙන ගත් හෝ සමාජයට හෝ පාරම්පරිකව ලද ඥානයෙන් රටට දැයට සේවය කිරීමෙන් සමාජ රටාවක් ලංකා ඉතිහාසය තුළින් ම අපට ලැබී තිබෙන අවබෝධය එය සාමාන්‍ය කරුණක් .

එවැනි පාරම්පරිකව ලද දැණුමෙන් නිහඬව සේවය කිරීම සඳහා කැපවී සිටින පිරිස්වල ආරක්ෂාව ඔවුන්ගෙන් ඥානය ඉදිරි පරම්පරාවලට ගෙන යෑම සමාජ වගකීමක් බවට මේ කෘතිය තුළින් අවධාරණය කරලා තියෙනවා .

උරුමයන් අනාගතයට රැගෙන යාම අතිශයින්ම අවශ්‍ය වන අතරම එම උරුමයන් කාබාසිනියා කරන වෙළඳපොලක් සංවර්ධනය කර තිබෙන සහ ඉදිරියට කරගන්නා පිරිස් සමාජය තුළින් අතුගා දැමීමත් විශ්වවිද්‍යාලයක් බඳු ආයතනයක පොදු වගකීමක් .

උරුමය හා සංස්කෘතික දායාදය හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ .

විචාරශීලී ලෙස ඒ පිළිබඳව හෙළිදරව් කිරීම ඉතාම වැදගත් සාධකයක්.

සමස්ත මානව සමාජය ම යහපත උදෙසා හේතු සාධක වන්නේ එවැනි පසුබිමක් මතයි .

කුරුණෑගල , නිකවැරටිය හා දොළුකන්ද  අත්භූත බලවේග මීට වසර කිහිපයකට පෙර කාලය තුළ දී ලාංකික සමාජයේ සාමාන්‍ය බුද්ධියට නිගා දීමට යොදා තිබූ අසමාන්‍ය අවස්ථා අත්දැකීම් අපමණයි.

ඒ පිළිබඳව පුළුල් විග්‍රහයකට යා යුතු නොවේ ද ?

නමුත් මේ රටේ මෙවැනි සමාජ අත්දැකීම් බොහෝ විට සමාජය තවදුරටත් ආපස්සට හැරවීමත් සිදුවීම සඳහා ඊට යම් තල්ලූවක් ලබා දීම වගකිව යුතු සමාජ අංශවල කාර්යභාරය නොවේ ද ?

නවීන විද්‍යාවට නතු නොවන අනේක විධ අද්භූත බලවේග අප ජීවත්වන විශ්වයේ නිබඳව ම ක්‍රියාත්මක වන බව සමාජය ප්‍රවාද තුළින් දිගු වෙමින් පවතින බව සත්‍යයක්.  

මිනිස් සංහතියට විවිධාකාර බලවේග එල්ල වන මේ පරිසරය අදාළ මායාව තුළින්  යථාර්ථය කරා ගෙන යාම විශ්ව විද්‍යාලයක් බදු ආයතනයක පූර්ව වගකීමක් .

අසංවිධිත විශ්වාස හා පොදු ජන මානසික සෞඛ්‍ය අතර ඍජු සබදතාවක් පවතින්න පුළුවන්.

අද්භූත බලවේග පිළිබඳව පොදු සමාජය පුරා පැතිර පවත්නා විවිධ ප්‍රවාද හුදෙක් විවිධ සමාජ සංස්ථාවල ආර්ථික වාසි හා සම්ප්‍රදායික විශ්වාසයන් අදාල ජාවාරම්කරුවන්ගේ ව්‍යාප්තිය දිගුවන්නක් නොවේ ද?

අද්භූත විශ්වාස පිළිබඳව විධිමත් සමාජමය අධ්‍යනයක් විශ්ව විද්‍යාලයක්  බඳු  ආයතනයක් කියවීමේ දී  ඒ සඳහා පුළුල් ආයතනයක් ගොඩනැගීමත් ඒ පිළිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමත් ඉතාම අද දවසේ කාර්යයභාර්යක් .  

ඒ සඳහා පුරෝගාමී හා ගවේෂණාත්මක සමාජ මෙහෙවරක් සිදු කිරීමේ හැකියාව ඇත්තේ ලංකාවේ විශ්ව විශ්වවිද්‍යාල බදු සමාජ ආයතනවලටම යි.

සංස්කෘතික උරුම විනාශ කර දමන බටහිර සිරිත් විරිත් හා බටහිර මායාවන් තුරුළු කරගන්නා සමාජ වපසරියට අවශ්‍ය විකල්ප යෝජනා මෙවැනි කෘතියක් තුළින් මතු කිරීම කාලීන අවශ්‍යතාවයක් .

ඒ අවශ්‍යතාවය තවදුරටත් යන්ත්‍ර මන්ත්‍ර සිදු කිරීමේ දී ඊට වෙළදපොළ ගොඩ නඟන පාලක  පක්ෂ හෝ සමාජ ප්‍රභූ පැලැන්තිය ඊට දායකත්වය ලබා දෙන විශේෂ සමාජ කණ්ඩායම් හා ව්‍යාප්තිය වහාම වළක්වාලීමේ ක්‍රමවේද හෙළිදරව් කිරීම ඉතාම කාලීන වටිනාකමක් ඇති සක්‍රීය වැඩපිළිවෙලක අවශ්‍යතාවය විශ්ව විද්‍යාලයක් බඳු ශාස්ත්‍රිය කණ්ඩායමකට වගකීමක් සහිත කාර්ය භාරයක් .

යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම ඒවායේ ඖෂධිය ගුණය ලැබීමට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන බලය වර්ධනය වන විවිධ ක්‍රමවේද යන්ත්‍ර මන්ත්‍ර ආචාර්යවරුන් සතුව පවතින බව මේ කණ්ඩායමට දැනගන්නට ලැබී තිබෙනවා .

එම රහස් අදාළ අදාල පරම්පරාවෙන් පිටතට පැවරීමට ඔවුන් අකමැති බව අදාළ සමීක්ෂණ කණ්ඩායමට පැහැදිලිව තිබෙනවා .

එය එසේ නම් ඔවුන්ගේ වියෝවෙන් පසු එම විශේෂිත ක්‍රමවේද මිහිතලය මත මෙසේ සැගවී යා හැකි බව අදාළ කෘතියෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ .

බටහිර ක්‍රමයන්ට වඩා දේශීය පාරම්පරික ඥානය උපයෝගී කරගෙන රෝගාබාධ සමනය කිරීමේ විශ්ව  කර්ම බලයක් ඇති මේ ක්ෂේත්‍රය පිළිබඳව රක්ෂණය කරගත යුතු මං මාවත් හෙළිදරව් කිරීම අදාළ කෘතිය තුළින් සිදුවිය යුතුව තිබූ බව පැහැදිලි සත්‍යයක්.

අපි මේ පිළිබඳව තවදුරටත් ඉදිරි විචාරාත්මක සමාජ මණ්ඩපයක් ගොඩනඟමු.

  • සුමිත් කොඩිතුවක්කු –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න