උතුරු පළාත් සභාවේ ද සහයෝගය සමඟින් වව්නියාව, මන්නාරම, මුලතිව් සහ  කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර මධ්‍යම රජයයේ මුලිකත්වය යටතේ යම් සැලසුමකට අනූව සංවර්ධනය කර එම ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට  කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා වව්නියාව දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී ය.

වව්නියාව  දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ප්‍රශස්ථ, කාර්යක්ෂම රෝගී සත්කාර සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් එම  දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත  රජයේ රෝහල් වල පවතින මානව සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීම අරමුණ කර ගනිමින්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මෙම විශේෂ නිරීක්ෂණයේ  නිරත විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට  රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම  රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එ්වාට කඩිනම් විසදුම් ලබා දෙමින්  ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමේ අදිටනින්  ආරම්භ කර ඇති  විශේෂ වැඩපිළිවෙලට සමගාමී ව අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබීය.

මෙරට තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන රජයේ රෝහල් 53 න් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන රෝහල් ප්‍රමාණය හතක් බව සිහිපත් කළ අමාත්‍යවරයා හොරණ, අවිස්සාවේල්ල, ගම්පහ යන රෝහල් ත්‍රිත්වය  හැරුණුකොට  ඉතිරි රෝහල් හතර  උතුරු පළාතේ  ප්‍රධාන රෝහල් හතර බව ද  අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

වත්මන් රජය මෙරට සෞඛ්‍ය සේවාව කාර්යක්ශමව හා විධිමත්ව පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් අලුතින්  හෙද හෙදියන් 3000 කට ආසන්න ප්‍රමාණයකට ඉදිරියේ දී පත්වීම් ලබා දීමට අවශ්‍යකරන  කටයුතු මේ වන විට සැලසුම් කර තිබෙන බව අවධාරණය අමාත්‍යවරයා ඉදිරි මාස හතර තුළ දී  හෙද හෙදියන් පන්සියයකට පමණ පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත්, ඊට අමතරව තවත් උපාධිධාරීන් 800 ක ප්‍රමාණයකට  අනුමැතිය ලද විගස පත්වීම් ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

එමෙන් ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්  976 කට මේ වන විට පත්වීම් ලබා දී  තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා  ඉදිරි මාස කිහිපය තුළ දී උපස්ථායක තනතුර සදහා (Attendant) 1000 ක් ශ්‍රේණි උසස්වීම් මත කාර්ය මණ්ඩලයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන බවත්,  සෞඛ්‍ය කාර්ය සහායකයන් ද ඉදිරියේ දී බදවා ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

මෙම බඳවා ගැනීම් සමඟ ම වර්තමානයේ අනුමත කාර්ය මණ්ඩල ප්‍රමාණය නොව පෙර පැවති අනුමත කාර්ය මණ්ඩල ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අදහස් දක්වමින්  මෙහි දී පැවසී ය.

වව්නියාව දිස්ත්‍රික්කයේ චෙට්ටිකුලම් මුලික රෝහල, උළුක්කුලම්  ප්‍රාදේශීය රෝහල, සහ තවත් ප්‍රාදේශීය රෝහල් කිහිපයක  නිරීක්ෂණයේ නිරත වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම රෝහල් වල බාහිර රෝගී අංශ, සායන පරිශ්‍ර, වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා,රුධිර කාන්දුකරණ ඒකක, රසායනාගාර, ලේ බැංකු, වෛද්‍ය සහ හෙද හෙදි නිල නිවාස ඇතුළු සෞඛ්‍ය කාර්ය  මණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර, ඇතුලු සියලු අංශ  නිරීක්ෂණයට ලක් කෙරිණි.

නිරීක්ෂණයෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාමය අවස්ථාවන් පැවැත්වීමට ද අමාත්‍යවරයා පියවර ගත් අතර එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේදී පවතින ගැටලු කෙරෙහි විශේෂ අවධාණය යොමු කරමින් ඒ පිළිබදව දීර්ඝව කරුණු  විමසමින් එම ගැටලු වලට කෙටි කාළීන, මධ්‍ය කාළීන සහ දීර්ඝ කාළීන විසදුම් ලබා දීමට ද අමාත්‍යවරයා මෙහි දී පියවර ගනු ලැබීය.

රෝහල් වල පවතින කාර්ය මණ්ඩල හිඟතාවය ට මෙන්ම නිල නිවාස ගැටලුව පිළිබදව දැඩි අවධානයක් යොමුකල අමාත්‍යවරයා කාර්ය මණ්ඩල හිඟතාවය පිරවීම සදහා අලුතින් බදවා ගන්නා කාර්ය මණ්ඩල වලින් අවශ්‍යතාවය අනූව කාර්යමණ්ඩල අනුයුක්ත කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සදහන් කල අතර,  කාර්ය මණ්ඩල නිල නිවාස ගැටලුව විසදීමට අනුගමනය කලයුතු ක්‍රමවේදයන් පිළිබඳව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ වව්නියාව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අමාත්‍යතුමා මෙහි දී උපදෙස් ලබා දෙන ලදී.

එමෙන් ම වව්නියාව  දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන  බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෝහල් වල වත්මන් ඖෂධ තත්ත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටළු සහ සිය රාජකාරිය සිදුකිරීමේදී කාර්ය මණ්ඩලයට පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව  දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,  රෝහල් අධ්‍යක්ෂවරුන් , වෛද්‍ය අධිකාරීවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්  සමග ද  දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී මතු වූ  ගැටළු වලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දීමට ද  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පියවර ගත්තේය.

මෙම නිරීක්ෂණ චාරිකාවන් සදහා වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, වව්නියාව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෂීලා සුභාෂ්කරන් යන මහත්ම මහත්මීන් ද  වෛද්‍ය අධිකාරීවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඇතුලු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීන් නියෝජනය කරමින්  කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගි වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න