ඉකුත්  රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන්  ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක  නොවිමේ තත්ත්වයක් රට තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ සදහන් කළහ .

මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදී (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාහිමිපාණන් වහන්සේ මේ බව පැවසුහ.එහිදි තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසුහ.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට එම ඇතැම් නිලධාරීන් ක්‍රියා කරනවා .

ඊයේ (24) රාත්‍රියේදී බීමත්ව ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් විසින් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට හා එම පිරිස ගමන් ගත් වෑන් රථයකට ස්වාමීන් වහන්සේ නමක් යට කිරීමට උත්සාහ දරා තිබෙනවා .

මිහින්තලා පුදබිමේ පුරා විද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හයදෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණයි . එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුනු පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී තිබෙනවා .

ඓතිහාසික මීන්තලා පුදබිම විශාල භූමි භාගයක පිහිටා තිබෙන බැවින් එම පුදබිමේ පවතින පුරාවස්තු වලට අනාරක්ෂිත භාවයක් පවති. ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකරන බවද නාහිමිපාණන් වහන්සේ වැඩි දුරටත් සදහන් කළහ .

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න