දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩල ය 25000 ක් බවත් නමුත් 8000 ක පමණ කාර්ය මණ්ඩල අවශ්‍යතාවය නව රජය යටතේ සපුරා ගත හැකි වනු ඇති බවට තමා විස්වාස කරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රුවන් සත් කුමාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී (15) දින සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රුවන් සත් කුමාර මහතා මෙසේ ද පැවසීය.
උප තැපැල් ස්ථානාධිපති සේවාව ගරු සේවාවක් වශයෙන් 1921 වර්ෂයේ උප තැපැල් කාර්යාල 06 ක් මුලික කර ගනිමින් ආරම්භ වී ඇති බවත් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇති උප තැපැල් කාර්යාල ගණන 3410 ක් බව ද ඒ මහතා පැවසී ය.
1978 වර්ෂයේ උප තැපැල් ස්ථානාධිපති වරුන්ට රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලේ දායකත්වය ලබා දී ඇති අතර 1994 සිට උප තැපැල් ස්ථානාධිපති තනතුර ස්ථාර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් බවට පත්කර එ් වන විට සිටි උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථිර විශ්‍රාම වැටුප් තත්වයට අන්තර්ග්‍රහණය කර ඇති බව ද ඒ මහතා කීය.
උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ල උප තැපැල් ස්ථානාධිපතිවරුන් සොයා ගත යුතු අතර ඒ සඳහා දීර්ඝ කාලයක් රජයෙන් ගෙවනු ලැබුයේ රුපියල් 1500 ක සුළු දීමනාවක් බවත් 2025 සිට එම දීමනාව ඔවුන් උපයන ආදායම ද පදනම් කර ගනිමින් රුපියල් 7500 දක්වා නව රජය වැඩි කිරීමට කටයුතු කර ඇති බව ද හෙතෙම කීය.
තැපැල් සේවා නිලධාරීන් 600 ක් උප තැපැල් ස්ථානාධිපති 378 ක් රියදුරු 40 ක් අභ්‍යන්තර උසස් වීම් 40 ක් ඇතුළු 1100 කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර කර ගැනීම තැපැල් දෙපාර්තමේන්තුව වැඩි දියුණූ කිරීමේ දී අත්‍යවශ්‍ය පියවරක් ලෙස නව රජය පියවරගෙන ඇති ඒ අනුව ඉහත බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ එම කටයුතු සිදු කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රජය දැඩි අවදානය යොමු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද මෙම අවස්ථාවේ දී කතා කළහ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ උප තැපැල් කාර්යාල අධිකාරි එච්.එම්.ඒ.ඡේ බංඩාර යන මහත්මහත්මින් මුලස්ථාන නියෝජ්‍ය තැපැල්පතිවරුන් තැපැල් දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පත්වීම්ලාභීන් එක්ව සිටිය හ.