කොළඹ මහ නගර සභාව  සදහා නගරාධිපතිවරයකු හා  නියෝජ්‍ය නගරාධිපතිවරයකු  තෝරාපත් කර ගැනිමේ තීරණාත්මක පළමු රැස්විම (16) බස්නාහිර පළාත් පාලන කොමසාරිස්  සාරංගිකා  කල්හාරි ජයසුන්දර මහත්මිය පෙරවරු 9.30ට  එම මහනගර සභා ශාලාවේදී ආරම්භ කළාය.

සියලු සභිකයන් රැස්ව සිටි සභා ශාලාව තුළ දැඩි උද්යෝගකාරී ස්වභාවයක් දිස්විණි.

ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරිය නගරාධිපති සඳහා නාම යෝජනා කිරීමට සභාවට දැනුම් දුනි. එහිදී එක් අයෙකු පමණක් යෝජනාව වන්නේ නම් නිතරගයෙන්ම  නගරාධිපති පත්වන බවත් දෙදෙනෙක් හෝ ඊට වැඩි නම් ඡන්ද විමසීමක් පැවැත්වන බව ඇය සභාවට ප්‍රකාශ කළා ය.

ජාතික ජන බලවේග පක්ෂයෙන්  ව්‍රායි කැලි බල්තසාර් නම යෝජනාවු අතර සමගි ජන බලවේග පක්ෂයෙන් මොහොමඩ් සාරුක් මොහොමඩ් රීසා යන නම යෝජනා විය.

මේ අතර පළාත් පාලන කොමසාරිස්වරිය අනතුරුව නගරාධිපති ධුරය සඳහා රහස්‍ය ඡන්දයක් හෝ  විවෘත ඡන්දයක් පැවැත්වීමට හැකි බව දැනුම්දුනි.

එහිදී සමඟි ජන බලවේගයේ පක්ෂයේ අපේක්ෂකයන්ගේ මතය වූයේ විවෘත ඡන්දයකට යෑමටය.ජාතික ජන බලවේගය නියෝජිතයෝ ප්‍රකාශ කර  සිටියේ  රහස්‍ය ඡන්දයකට යා යුතු බවයි. ඒ අනුව සභාවේ සභිකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

සමගි ජන බලවේගය සභිකයන් කියා සිටියේ ඔවුන්ට සහය දෙන සභිකයන් 60කගේ අත්සන් ඇතුව විවෘත ඡන්දයකට යෑමට කොමසාරිස්වරියට දැනුම් දී ඇති බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයෙන් සඳහන් කළේ එම අත්සන් ව්‍යාජ විය හැකි බවයි. ව්‍යාජ අත්සන් පවති නම් නීතිය හමුවට පමුණුවන ලෙස ස.ජ.බ සභිකයෝ අභියෝග කළහ.

කෙසේ වෙතත් මෙම උණුසුම්කාරී තත්වය පැයකට ආසන්න කාලයක් එනම් උදෑසන 9.40 පමණ සිට උදෑසන 10.25 පමණ දක්වා පැවතුණි.

නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීමට යෝජනා දෙකක් පැමිණි බවත් එම යෝජනා සලකා රහස්‍යය ඡන්දයකට  යෑමට තීරණය කළ බව කොමසාරිස්වරිය සභාවට දැනුම් දුණි.

“ප්‍රජාතන්ත්‍රවාදයට කෙරෙන ලැජ්ජාශීලී ක්‍රියාවක් ඔබතුමිය උත්සාහ කරන්නේ කෙටි ක්‍රමයකින් ඉහළට යන්න ” යැයි විපක්ෂයේ සභිකයෙක් නැගී සිට කොමසාරිස්වරියට චෝදනා කළාය. පසුව විපක්ෂයේ ඇතැම් පිරිස් ද ඊට සහයෝගය වශයෙන් නැගී සිටියහ.

කෙසේ වෙතත් දීර්ඝ විවාදයකින් අනතුරුව නගරාධිපති තේරීම සඳහා සභාව ඒකමතිකව රහස්‍ය ඡන්දයකට එකඟ වූ බව  කොමසාරිස්වරිය දැනුම් දුණි.

ඒ අනුව ඡන්ද විමසම් කටයුතු මූලික විවාදයෙන් පසු  පෙරවරු 10.24ට ආරම්භ විය.

අපේක්ෂකයාගේ නම ඉදිරියේ කතිර සලකුණ දමන ලෙසත්, ජංගම දුරකථන  භාවිත නොකරන ලෙසත් කොමසාරිස්වරිය දැනුම් දුන් අතර ඡන්ද ගණන් කිරීම සිය නිලධාරීන් සිදු කරන බව ඇය අවධාරණය කළා ය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති කොළඹ මහ  නගර සභාවේ සභික ලැයිස්තුව ඇතුලත් ගැසට් පත්‍රය අනුව නම් එකින් එක  කියවා ඔවුනට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දුනි.

එහිදී එම  පිළිවෙලින් සභිකයෝ ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට පැමිණියෝය. සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡන්ද පෙට්ටියට ඔවුන්  දැමූ අතර විපක්ෂයේ අපේක්ෂකයා විපක්ෂයේ ඔල්වරසම් මැද ඡන්දය ප්‍රකාශ කළ අතර ආණ්ඩු පක්ෂයේ අපේක්ෂිකාව ආණ්ඩු පාක්ෂිකයන්ගේ උද්යෝගේ මැද ඡන්දය ප්‍රකාශ කළාය.

මේ අතර ඡන්දය ගණන් කිරීමේ පෙරවරු 11.20ට පමණ ආරම්භ වූ අතර එහි ප්‍රතිඵල පෙරවරු 11.35ට පමණ ප්‍රකාශ කෙරිණි.එම ප්‍රතිඵල කොමසාරිස්වරිය සභාවට දැනුම්දුණි .

එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇත.

බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත් විය.

අභිනවයෙන් තේරී පත්වූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි  ව්‍රායි කැලි බල්තසාර් නගරාධිපතිනිය එහිදී මෙසේ පැවසීය.

“නගර සභාවේ ඉන්න සියලු දෙනාත් එක්ක අපිට ඉතාමත්ම ලොකු ගමනක් යන්න තියෙනවා. මං හිතන්නේ සභාවේ සියලු දෙනාම දන්නවා අපේ නගර සභාව තියෙන්නේ පාර්ලිමේන්තුව වගේ නොවෙයි.ඒක සභාවක් හැටියට තමයි අපි නගරය හදන්න උත්සාහ කරන්න ඕනෑ.  පක්ෂ විපක්ෂ කියලා නොවේ.ඒ කාර්යභාරයේ අද දවසේ එකතුවෙලා ඉන්න අපි 117 දෙනාටම ඒ වගකීම තියෙනවා ඉස්සරහටත් එකතුවෙලා මේ නගරය ගොඩනඟා ගන්න.”

මෙතෙක් පැවති පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක (2018- 2023) කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරියයි.

එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් හිමිව පැවති කොළඹ මහ නගර සභාව වසර හැත්තෑ හතකට පසුව ඔවුන්ගේ බලයෙන් ගිලිහි ඇත.

මේ අතර පළාත් පාලන ආයතන අතරින් වඩාත් වැදගත් සථානයක් හිමි කර ගන්නා කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක් වන අතර, පසුගිය මැයි (06) වනදා පැවැති පළාත් පාලන ආයතන ඡන්දයේ ප්‍රතිඵල අනුව ඉන් මන්ත්‍රී ධූර 48ක් ජාතික ජන බලවේගය දිනා ගෙන තිබේ.

කෙසේ වෙතත්, මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් සියයට 50 කට වැඩි සංඛ්‍යාවක් එක් පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වීම නිසා නගරාධිපති ධූරය සඳහා තරඟයක් පැවතුනි.

එවන් පසුබිමක බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතන සභා පිහිටුවීම සඳහා ඡන්ද විමසීමකින් එහි ප්‍රධානින් පත් කිරීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට බලය හිමිවී වේ.

ඒ අනුව 2012 අංක 22 දරණ  පළාත් පාලන ආයතන ඡන්දවිමසිම  ( සංශෝධන) පනතින් සංශෝධිත  පළාත් පාලන ආයතන ඡන්දවිමසිම් ආඥාපනතේ  66 (ඇ) වගන්තිය යටතේ  ඇති බලතල ප්‍රකාරව  නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු පත්කරගැනිම සදහා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්  සාරංගිකා  කල්හාරි ජයසුන්දර මහත්මිය පසුගියදා (03)දා අංක 2439/30 අතිවිශේෂ ගැසට් පත්‍රයක්  ප්‍රකාශයට පත් පත්කළේය.

පසුගිය මැයි (06) වනදා පැවැති පළාත් පාලන ආයතන ඡන්දයේ ප්‍රතිඵල අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117 බෙදී ගොස් ඇත්තේ මෙසේය.

ජාතික ජන බලවේගය: මන්ත්‍රී ධූර 48 ,සමගි ජන බලවේගය: මන්ත්‍රී ධූර 29,එක්සත් ජාතික පක්ෂය: මන්ත්‍රී ධූර 13,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: මන්ත්‍රී ධූර 5ක්,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: මන්ත්‍රී ධූර 4 ක්,ස්වාධීන කණ්ඩායම අංක 3: මන්ත්‍රී ධූර 3 ක්,සර්ව ජන බලය පක්ෂය: මන්ත්‍රී ධූර 2 ක්,,ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ අංක 5: මන්ත්‍රී ධූර 2 බැගින් බෙදී  තිබේ.

මේ අතර,ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් 1 සහ 2: මන්ත්‍රී ධූර 1 බැගින්  හිමි කර ගත්තේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න