පසුගිය වසර කිහිපය තුල ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට  අශිෂ්ට පහරක් එල්ල විය.එයට හේතු වූයේ නවක වදයයි. මේ හේතුවෙන් අමිල ජීවිත කිහිපයක්ම ආකාලයේ මිලිනව යාම සිදු වූයේ උගතුන් අතරට ප්‍රවේශය ලැබු අවාසනාවන්ත  අත්වැරදීමකින්  උපන්  මානව හැඟිම් ⁣නූපන් අමනයින්  පිරිසකගේ අශිෂ්ට  ක්‍රියාකාරකම්වල  ප්‍රථිපල හේතුවෙන් බවට අනාවරණය වෙමින් පවතී. කෙසේ නමුත් මෙම සිදුවීම් කා තුළත් සංවේගය හා ප්‍රශ්නාර්ථ රුසක් ඇති කරන්නට විය.රජයට ද අධ්‍යාපන ආයතන වල පවතින නවක වදය පිළිබඳ මඟ හැර සිටීමට නොහැකි වී තිබේ.ඒ අනුව

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත විශ්ව විද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළු වැව මහතා විසින් කටයුතු කර තිබේ. ලේකම්වරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ 2025.05.14 වන දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවේදී එළඹුණු තීරණ වලට අනුවයි.

විශ්ව විද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණකි. නවක වදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශව වලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්‍ය සාධක බලකායේ අරමුණ වී තිබේ. විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුල අධ්‍යාපනයට උචිත නිදහස් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා එම සියලු ආකාරයේ හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් නතර කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර ඇත.

1. මහාචාර්ය කේ.එල් වසන්ත මහතා – උප සභාපති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය – අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය, (CGEE) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය – සාමාජික, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

4.මහාචාර්ය විජය ජයතිලක මහතා – CGEE ආයතනයේ හිටපු සාමාජික

5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය – මනෝ චිකිත්සක අධ්‍යනාංශය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

6.ශානිකා මලල්ගොඩ මහත්මිය – ජාතික ළමාරක්ෂක අධිකාරිය

7. අප්සරා කල්දේරා මහත්මිය – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය

8. ගුණදාස සමරසේකර මහතා – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය

9.ආචාර්ය චින්තක පෙරේරා මහතා – අධ්‍යක්ෂ, බටංගල විශ්ව විද්‍යාල විද්‍යායතනය

10.ඒ.ජී.ඒ. ජාලිත කුමාර මහතා – අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය – කොළඹ 15

11.ජේ.පී. විජයතිලක ජයසිංහ මහතා නියෝජනය කොළඹ විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක

12. ඩබ්. ඒ. ඒ. වේරහැර මහතා – පේරාදෙණිය විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය

13. කවිදු බිමසර මහතා – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්ව විද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.

14.සජිනි වත්සලා මෙනෙවිය – ලේකම් මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්ව විද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.

15.පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

16.නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

මෙරට විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන තුල ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම, ඊට අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීම සඳහා යෝජනා සකස් කිරීම, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම, සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අදාල ක්‍රමවේද සැකසීම, ඉහත අරමුණු වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කරගැනීම, වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වින්දිතයින්ට සිදු වූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් යථා තත්වයට පත්කරලීම සඳහා අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම වැනි කාර්‍යයන් මෙම කාර්‍ය සාධක බලකාය හරහා සිදුකිරීමට අපේක්ෂිතය. සිදුවීම සඳහා ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන තුල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ආදී වැඩසටහන් ජාතික වැඩ පිළිවෙළකට අනුව සංවිධානය කිරීම වැනි කරුණු ද සැලකිල්ලට ගනිමින් ඉහත අරමුණු පෙල ගස්වා ඇත.

ඉදිරියේදී මෙම කාර්‍ය සාධක බලකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටු වීමට ද යෝජනා වී ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න