කෙහෙළිය රඹුක්වැල්ල  සිදු කළ ඖෂධ මාපියාව ඒ අයුරින්ම නලින්ද ජයතිස්ස ද සිදු කීරීම ට සැලසුම් සකස් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ලංකාවේ ඖෂධ සැපයුමට හා කොළඹ ඩොක්යාඩ් ආයතනයට අදාළව සිදු කෙරෙන ඉන්දියානු මැදිහත් වීම රටට මෙන්ම ජනතාවට බරපතල තත්ත්වයක් බව පුබුදු ජයගොඩ මහතා පවසයි.

මේ වන විට අප්‍රේල් 5 වැනිදා ජාතික ජන බලවේගය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සමග ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් යනවා. ක්‍රමානුකූලව ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රය ඉන්දියාවේ බලය තහවුරු වෙමින් ලංකාවේ ග්‍රහණය දුර්වල වෙනවා.

ඖෂධ ක්ෂේත්‍රයෙන් දැක ගන්න පුළුවන්. පසුගිය මැයි 19 වැනිදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඖෂධ හිඟයක් ගැන කියමින් ඖෂධ වර්ග 113ක් මිල දී ගැනීමේ ක්‍රමවේදය ගැන.

එහි දී සෞඛ්‍ය ඇමතිවරයා යෝජනා කළේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන පරිදි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග හැරලා රජය මැදිහත් වෙලා ආණ්ඩු අතර ගිවිසුමකින් ඖෂධ මිල දී ගන්න. එහි දී අප ප්‍රශ්න කළා රනිල්ගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ක්‍රමයෙන් ස්වභාවික මරණයකට ලක් කිරීමේ ක්‍රියාවලිය ද මේ දියත් වෙන්නේ කියලා.

මහාචාර්ය සේනක බිබිලේ වැනි ජනතාවට ආදරය කළ සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාවට දායාද කළ මහා සම්පතක් උදුරා අගන්න ද හදන්නේ කියා අපි ඇහුවා. ඊට පස්සේ නලින්ද ජයතිස්ස කිව්වා මේ ඖෂධ මිලදී ගැනීම කෙරෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාමයි කියලා. අපි මේ ගැන අනාවරණය නොකළානම් රනිල්ගේ සැලසුම මේ ආණ්ඩුව අවසන් කරනවා.

ඉන් පසුව මේ ඖෂධ වර්ග 113 මිල දී ගැනීමට ආණ්ඩු අතර සිදු වන ක්‍රියාවලිය නැවත ඉදිරියට පැමිණ තිබෙනවා. එහිදී ඖෂධ වල ගුණාත්මක භාවය ගැන විශාල ප්‍රශ්නයක් මතු වුණා. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය හා තුර්කිය වැනි රටවල් හතකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඒ ඖෂධ මිලදී ගන්න උත්සාහයක් තිබුණා.

මේ රටවල් හතේ කතාව ප්‍රෝඩාවක්.

ඉන්දියාවට ඇණවුම දෙන්න ආවරණයක් ලෙස වෙනත් රටවල නම් පාවිච්චි කරනවා.

නමුත් අන්තිමේ දී දෙන්නේ ඉන්දියාවට. කොළඹ ඩොක්යාඩ් සමාගමේ සියයට 51 කොටස් විකුනද්දීත් මේ විදියටම කළා. රටවල් ගණනාවක තානාපති කාර්යාල වල වෙළඳ කොමසාරිස්ට කිව්වා. අපි කොටස් විකුනනවා සමාගමක් හොයන්න කියලා. ඒ විදියට සමාගම් හොයන්න බෑ. අන්තිමේ දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැසගන් ඩොක් ෂිප් බිල්ඩර්ස් කියන සමාගම ඉදිරිපත් කළා. උවමනා වුණේ ඉන්දියාවට දෙන එක වෙන රටවල නම් ගොඩක් කියලා අන්තිමේ දී ඉන්දියාවට ඩොක්යාඩ් එක දුන්නා. දැන් ඉන්දියාව තමන්ගේ මිලිටරි උවමනාව වෙනුවෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බිලි ගන්නවා. මේකත් එහෙම තමයි. ඉන්දියාවේ ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් මෙහි දී බිලි දෙන්නේ මහජන සෞඛ්‍යය.

රටවල ආණ්ඩු හරහා ප්‍රසම්පාදනයෙන් තොරව ගෙන්වන ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුතු බවට ලංකාවේ ලියාපදිංචි වෙලාද කියා විමසුවාම ජුලි 01 දින කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස කිව්වා ඒවා ලංකාවේ ලියාපදිංචි වීම අවශ්‍ය නෑ, ඒ ඒ රටවල ලියාපදිංචි වීම ප්‍රමාණවත් කියලා. මේක එක ඉන්දියානු ගිවිසුමක තිබුණු දෙයක්. ලංකාව තුළ මෙතෙක් පිළිගත් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ප්‍රමිතියට අමතරව ඉන්දියාවේ ඖෂධ ප්‍රමිතිය පිළිගන්න, ඉන්දියානු ෆාර්මකෝපියා සමග එකඟතාවක් එම ගිවිසුමෙන් ඇතිකර ගෙන තිබුණා.

අපි මේ ගැන හඬ නගන විට නලින්ද ෆාර්මකෝපියා වචනය උච්ඡාරණය කරන විදිය ගැන සංවාදයක් ගෙනත් ලක්ෂ 220ක් ලාංකීය ජනතාවගේ සෞඛ්‍යයට එල්ල වී ඇති අවදානම ගැන නිහඬ වුණා.

ලංකාවේ ලියාපදිංචි නැති ඖෂධ මේ ආකාරයට රෝගීන්ට ලබා දීම ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිව් ඔ ආර් ලිපි හරහා කෙහෙළිය රඹුක්වැල්ල කළ බාල ඖෂධ ජාවාරමෙන් වෙනස් වෙන්නේ කොහොමද?

ඉන්දියාවේ බලහත්කාරයට යට වෙලා බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලංකාවේ නීතියට යටින් ගෙනෙන්න හැදුවේ.

මේ ගැන විරෝධය හැදුනාම ජුලි 08 වැනිදා කැබිනට් මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියනවා ලංකාවේ ලියාපදිංචි නැති ඖෂධ ගෙනෙන්නේ නෑ, ලියාපදිංචි කරලා ගේන්නේ කියලා. මෙතන මගේ අතේ තියෙනවා ලංකාවේ නිෂ්පාදකයන් මේ කියන ඖෂධම නිෂ්පාදනය ක‍රන්න ලියාපදිංචිය ඉල්ලුවාම ලියාපදිංචිය ප්‍රමාද කරලා තියෙන කාලය.

වසර 4කට වැඩි කාලයක් ලියාපදිංචිය ප්‍රමාද වූ ඖෂධත් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔය ඉන්දියානු ඖෂධ මිලදී ගන්නේ ලියාපදිංචි කරලානම් ඒ ක්‍රියාවලියටත් අවුරුදු ගණන් යයිනේ. එතකොට ඒක ඖෂධ හිඟයට ක්ෂණික උත්තරයක් වෙන්නේ කොහොමද? එහෙම නැතිනම් ලංකාවේ නිෂ්පාදකයෙක් ලියාපදිංචිය ඉල්ලුවාම වසර ගණන් ගියාට ඉන්දියානු සමාගමක් ඉල්ලුවාම සතියෙන් ලියාපදිංචිය දෙනවාද? මේක සම්පූර්ණ ප්‍රෝඩාවක් සහ අතිශය සැක සහිත ක්‍රියාවලියක්. කොළඹ ඩොක්යාඩ් සමාගමේ ජපාන සමාගම සතු කොටස් ඉන්දියානු සමාගමට දුන්නේ පුදුම හදිසියකින්. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය විධිමත්ව අරන් නැහැ, කොටස් හිමියන් දැනුවත් කරලා නා, සේවකයන්ට ගිවිසුම පෙන්වලා නෑ, අඩුම ගානේ කොටස් වෙළඳපලට අවශ්‍ය නෛතික දැනුම්දීම් කරලාත් නෑ. පුදුම හදිසියක් තිබිලා තියෙන්නේ වටිනා ජනතා සම්පතක් ඉන්දියාවට දීලා දාන්න. ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය කාබාසිනියා කරලා, ඉන්දියාවේ ලාභ උවමනාවන්ට රෝගීන් බිලි දෙන්නත් පුදුම හදිසියක් තියෙනවා වගේ පෙන්නේ.

මේ කියන ඖෂධ වර්ග 113න් ඖෂධ වර්ග 43ක් ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා. නිෂ්පාදන ආර්ථිකය දියුණු කරනවා. ආනයන අඩු කරනවා, අපනයනාභිමුඛ ආර්ථිකයක් හදනවා කියලා මැතිවරණයේ දී පොරොන්දු වුනු ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තාම දැන් කරන්නේ මෙහෙමද?

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ජනතාවට නොපෙන්වා රහසිගතව තියාගෙන ඉන්නේ මොකද කියලා දැන් ජනතාවට හොඳටම තේරෙනවා.  තව ටික දවසකින් ලොකු ඖෂධ හිඟයක් තියෙනවා.

ලියාපදිංචිය ප්‍රමාදයි, කියලා ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිව් ඕ ආර් ලිපි හරහා කෙහෙළිය වගේම නලින්දත් හදිසි මිලදී ගැනීම් කළත් පුදුම වෙන්න එපා. පොරොන්දු වුනු සිස්ටම් චේන්ජ් එක මේකද? යැයි ද ඒ මහතා ප්‍රශ්ණ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න