2025 මාර්තු 30 – ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය ඉන්දියාවේ තිරුචිරප්පල්ලි (Trichy) සහ ශ්‍රී ලංකාවේ යාපනය සම්බන්ධ කරමින් දෛනික සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර එය කලාපීය ගුවන් සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම නව ගුවන් මාර්ගය දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරක සහ වෙළඳ අවස්ථා වැඩි දියුණු කිරීමට සුදානම් වේ.
මේ වන විට ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රබාද්, මුම්බායි සහ තිරුචිරප්පල්ලි යන නගර පහක සිට ශ්‍රී ලංකාව දක්වා සතිපතා ගුවන් ගමන් 57 ක සංඛ්‍යාවක් ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සමාගම මගින් ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරනු ලබයි. තිරුචිරප්පල්ලි (Trichy)සහ යාපනය අතර මෙම නව ගුවන් මෙහෙයුම් හඳුන්වා දී ඇත්තේ දිගින් දිගට වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා සහ දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාත දක්වා වැඩි විකල්ප ලබා දීම සඳහාය. ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය ආසන 78 කින් යුත් ATR72 ගුවන් යානයක් භාවිතා කරමින් මෙම මාර්ගය ක්‍රියාත්මක කරනු ඇති අතර එමඟින් මගීන්ට පහසු සහ ලාබදායී ගමන් විකල්ප ලබා දෙනු ඇත.
සමාරම්භක ගුවන් ගමන කේක් කැපීමේ උත්සවයකින් සමරනු ලැබූ අතර, ඉන්දියානු නියෝජ්‍ය කොන්සාල් ජෙනරාල් සායි මුරලි මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාවෙහි වැදගත්කම පිළිබිඹු විය. පළමු ගුවන් යානය මගීන් 27 දෙනෙකු රැගෙන යාපනයට පැමිණි අතර මගීන් 36 දෙනෙකු රැගෙන ආපසු පිටත්වන ලදි.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ (AASL) සභාපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම මහතා වසර 47 කට පසු තිරුචිරප්පල්ලි (Trichy) සහ යාපනය අතර සෘජු ගුවන් සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සමාගම දරන උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනය මෙහෙයවීම සඳහා මෙම ගුවන් මාර්ගයේ වැදගත්කම ඔහු විසින් හදුනා ගෙන ඇත.
මෙම සංවර්ධනය චෙන්නායි සහ යාපනය අතර ඉන්ඩිගෝ (IndiGo) හි දැනට පවතින සම්බන්ධතාවයට ශක්තියක් වන අතර, මගීන් සඳහා සංචාරක විකල්පයන් තවදුරටත් වැඩි දියුණු කිරීම සහ දෙරට අතර සංචාරක, ව්‍යාපාර සහ සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කරයි.
තම ගුවන් ගමන් සැලසුම් කිරීමට කැමති පාරිභෝගිකයින් හට http://www.golndiGo.in නිල වෙබ් අඩවිය හරහා හෝ ඔවුන්ගේ ජංගම යෙදුම හරහා ඉන්ඩිගෝ (IndiGo) ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකිය.
ගුවන් ගමන් කාලසටහන:
ගුවන් අංකය | ආරම්භක ස්ථානය | ගමනාන්ත ස්ථානය | පිටත්වීම | ළඟාවීම | සංඛ්‍යාව | අයදුම් කල දිනය |
---|---|---|---|---|---|---|
6E 1187 | තිරුචිරප්පල්ලි | යාපනය | 13:25 | 14:25 | දිනපතා | 2025 මාර්තු 30 |
6E 1188 | යාපනය | තිරුචිරප්පල්ලි | 15:10 | 16:05 | දිනපතා | 2025 මාර්තු 30 |









