අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන්  ජාතික කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අදාල හෝටලයේ කළමනාකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී, පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වින්දිත ජර්මන් ජාතික කාන්තාව  සමත් වූවාය.

මේ අනුව පැමිණිලිකාර ජර්මන් ජාතික කාන්තාව මෙලෙස තමාට ලිංගික අතවර සිදු කල බවට චෝදනා ලබා සිටින සැකකාර හෝටල් කළමනාකාරවරයා හඳුනා ගනු ලැබුවේ, අදාල හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ පැවති අවස්ථාවේදීය.

බන්ධනාගාර ගත කර සිටි සැකකාර හෝටල් කළමනාකාරවරයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් මගින් හඳුනා ගැනීමේ පෙරටුවට ඉදිරිපත් කෙරිණි.

සැකකාර හෝටල් කළමනාකාරවරයා අදාළ පැමිණිලිකාර ජර්මන්  ජාතික කාන්තාව විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව, ඇයට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාර හෝටල් කළමනාකාරවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එදිනම චෝදනා ගොනු කරනු ලැබීය.

පෙරට්ටුවේදී සැකකරු හඳුනා ගැනීම සහ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව අප්‍රේල් මස පළමුවන දින කඩිනමින් විභාගයට ගැනීමටද නියෝග කෙරිණ.

තම හෝටලයේ නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලබා, පෙරෙට්ටුවේදී මෙලෙස හඳුනා ගනු ලැබුවේ, අනුරාධපුර පණ්ඩුලගම ‘ලේක් හවුස්  හෝම් ස්ටේ’, නැමැති හෝටලයේ කළමනාකරුවන රජිත රෝහණ පොන්සේකා නමැත්තෙකි.

සැකකරු කළමනාකාරීත්වය දරණ පණ්ඩුලගම ‘හොලිඩේ හෝම් ස්ටේ’  නමින් හඳුන්වන නවාතැන්පොලෙහි තමා නවාතැන් ගෙන සිටියදී රජිත රෝහණ පොන්සේකා නැමැති කළමනාකරු  බලහත්කාරයෙන් තමන්ට ලිංගික අතවර සිදුකර බව පවසමින් ජර්මන් ජාතික කාන්තාව සිය මුල් පැමිණිල්ල යොමු කොට ඇත්තේ අනුරාධපුර සංචාරක පොලීසියටයි.

අනතුරුව අනුරාධපුර සංචාරක පොලීසිය මගින් අදාළ පැමිණිල්ල සහ ජර්මන් ජාතික කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයට භාර දීමෙන් පසුව, මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඞ් භාරයට පත් කෙරිණ.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ  ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකාර හෝටල් කළමනාකාරවරයා  වෙනුවෙන් නීතිඥ මදාරා විදේශීන් මහත්මිය පෙනී සිටියාය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න