(01)
ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් පිරිසක් රැගෙන ඒම සඳහා පැළැටියාව ගම්මානයේ සිට දිඹුලාගල ප්‍රදේශයට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රථයක දිඹුලාගල මැණිකේඇළ ප්‍රදේශයේදී. 05 වෙනිදා අලුයම 3.00 ට පමණ මීගව රංචුවක් ගැටි ඉන්
ගවයින් හතරදෙනෙකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මී ගවයින් ගැටී අනතුරට ලක්වීමෙන් පසුව බසය පැළටියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබෙන බවත්,එම බසය හා රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.
මියගොස් සිටින මී ගවයින්ගේ අයිතිකරු ඉදිරිපත් නොවූ හෙයින් එම මී ගවයින්ගේ අවසන් කටයුතු කිරීමටද ග්‍රාම නිලධාරීවරිය සමග කටයුතු කරන බවද පොලිසිය පවසයි.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(02)
පොළොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙකු පසුගිය හතර වෙනිදා රාත්‍රී යටකර මරණයට පත්කර පලාගිය වාහන කීපයක් පිළිබඳ මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොළොන්නරුව
මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගනයට යාබදව මාර්ගයේ වාහනයකින් යටකර පලා යෑමෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කල, පොලිස් නිවාසයේ තාවකාලිකව පදිංචිව සිටි දොන් ලක්මිණි නිශාන්ත කුමාර යන පොලිස් සැරයන්වරයාය.
ඔහු පනස් හතර වියෙහි පසු වු තිදරු පියකි.
වාහනයට යටවීමෙන් ඔහුගේ හිසට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි.
ඔහු යටකර අනතුරට ලක් වීමෙන් පලාගිය වාහන කීපයක් සම්බන්ධව සී.සී.ටීවි ආරක්ෂිත කැමරා මගින් හඳුනාගෙන තිබෙන අතර, ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස්මත පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(03)
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ මාස 6 ක් වයසැති පිරිමි දරුවාගේ ගෙල සිර කර ඝාතනය කොට බේබි කැරියර් එකක බහා ශරිරයේ එල්ලා ගෙන ඉකුත් 03 වැනිදා පෙරවරුවේ කුස්සියේ යට ලීයක තිදරු මවක් ගෙලවැලලාගෙන මිය ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම මැදගම අංක බී 161 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 37 ක් වු ලියන මුදියන්සේලාගේ සොමිකානී නිලුෂා සහ ඇගේ මාස 06 ක් වයසැති කස්තුරි ආරච්චිලාගේ හිමරු නිර්වාන් කුලතුංග නැමැති බිළිදෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය කියා සිටියේ ගෙලවැලලාගෙන මිය ගොස් ඇති තිදරු මව උපාධිධාරිනියක් බවත් ඇය පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ රැකියාවක් කරන බවත් පොලිසිය පැවසීය. කාන්තාව කලකට ඉහතදී කිලෝ මීටරයක් පමණ ඈතින් අල්ගම ගම්මානයේ පදිංචිව සිටින සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටින 37 හැවිරිදි කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංග තරුණායා සමග විවාහ වී ඇති බවත් පසුව තරුණායා මනාලියගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවසීය.
දැනට යුවලට වයස අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙක් වයස අවුරුදු දෙක හමාරක ගැහැණු දරුවෙක් හා මාස හයක පිරිමි දරුවෙක් ද සිටියි. දරුවන්ගේ පියා සංවර්ධන නිලධාරි රැකියාවෙන් ඉවත් වී දැනට මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් ලෙස රැකියාවක් කරන බවත් පොලිසිය පැවසීය.
ගෙලවැලලාගෙන මිය ගොස් ඇති තිදරු මවට අක්කර තුනක පමණ ඉඩමක් ඇති බවත් ඉඩම කිහිප දෙනෙකුට විකුණා මුදල් ගෙන පිරමීඩ ජාවාරම් කරුවන්ට දී ඇති බව අනාවරණය වු බව පොලිසිය පැවසීය. අසල්වැසියන්ට ණය වී ඇති බවත් නිතරම අසල්වැසියන් ගෙන් කාන්තාව මුදල් ඉල්ලා සිට ඇති බවත් පොලිසිය පැවසීය. මේ හෙතුවෙන් කලක සිට අඹු සැමි යුවල අතර ගැටුම් ඇති වී ඇති බවත් ඉකුත් 03 වැනිදා පෙරවරුවේ තිදරු මව දරුවන් තිදෙනාට වස පොවා තමන් ද ගෙලවැලලාගෙන මිය යන බවට සැමියාට දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තිදරු පියා අවුරුදු හතර හමාරක් වු වැඩිමහල් පිරිමි දරුවා හා වයස අවුරුදු දෙක හමාරක් වු ගැහැණු දරුවා රැගෙන කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි මහ ගෙදර නිවසේ පදිංචිව සිටින මවට දරුවන් දෙදෙනා දී ආපසු නිවසට පැමිණ තිබේ.
නිවසට පැමිණ ඇති අවස්ථාවේ දී බේබි කැරියර් එකක දරුවා බහා ශරිරයේ එල්ලා ගෙන බිරිද ද කුස්සියේ යට ලීයක ගෙලවැලලාගෙන සිටින අයුරු දැක 119 හදිසි දුරකතන අංකයට ඇමතුමක් දී තිබේ. පසුව ගෙලවැලලාගෙන සිටි කාන්තාවගේ බේබි කැරියර් එකේ සිටි අත දරුවා ඉන් පිටතට ගෙන බේරා ගැනීමේ අරමුණින් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වෙන කොටත් දරුවා මිය ගොස් තිබුණි.
හදිසි දුරකතන ඇමතුමට අනුව වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් අධාල නිවසට ගොස් විමර්ශනයක් සිදු කර සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
පසුව වරකාපොළ මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අධාල නිවසට හා බිළිදාගේ දේහය තැන්පත් කර තිබුණු වරකාපොළ රෝහලට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. දේහ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දේහ දෙක මිය ගිය කාන්තාවගේ සැමියා සහ දරුවාගේ පියා වන කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංගට භාර දෙන ලෙසත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය. කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ කාන්තා උප පොලිස් පරීක්ෂක ශාලිකා පොලිස් සැරයන් සිරිමාන්න (32928) ස්ථානීය විමර්ශන කටයුතු සිදු කෙරිණ.
දේහ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් 04 වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කෙරිණ.
දරුවාගේ ගෙල සිර කර ඝාතනය කොට ඇති බවත් තිදරු මව ගෙලවැලලාගෙන මිය ගොස් ඇති බවටත් තීන්දු කෙරිණ. කාන්තාව තම බිළිදා ගෙල සිර කර ඝාතනය කොට බේබි කැරියර් එකක බහා ශරිරයේ එල්ලා ගෙන කුස්සියට ගොස් සාරියක් යට ලීයකට දමා පුටුවක් ගෙන නැග පුටුවෙන් පහළට පැන සිය දිවි හානි කරගෙන ඇති බවට සැක පහළ කරයි. දේහ දෙක පසුව කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංග මහතාට භාර කෙරිණ. දේහ දෙක ඔහුගේ නිවසට රැගෙන ගිය අතර අවසන් කටයුතු පෙරේදා 05 වැනිදා අල්ගම දී සිදු කෙරිණ.
කෑගල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි එල් ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බංඩාර පොලිස් සැරයන්වරුන් වන ඩබ්ලිව් කීරගල (33118) ජී,ආර් පුෂ්ප කුමාර (48593) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.
(04)
මෙම වර්ෂයේ (2025) ජනවාරි හා පෙබරවාරි යන මාස දෙක තුලදි සංචාරක ඉපයිම් රුපියල් බිලියන 227.8 දක්වා සියයට 4.6කින් සහ විදේශසේවා නියුක්තිකයන්ගේ ප්රේයෂණ ලැබිම් රුපියල් බිලියන 332.4 දක්වා සියයට 8.8කින් ඉහළ ගොස් ඇති බැව් ශ්රිිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙම මාස දෙක තුල මෙරටට විදේශිය සංචාරකයින් 492,978 දෙනෙකු පැමිණ තිබු අතර එය 2024 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව සියයට 15.6ක වර්ධනයකි.
2024 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි යන මාස දෙක තුල සංචාරක ඉපයිම් වලින් රුපියල් බිලියන 217.8ක ආදායමක් උපයාගනු ලැබිය.එයට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල් මාස දෙක තුලදි සංචාරක ඉපයිම් රුපියල් බිලියන 10කින් වැඩිවි ඇත.
2024 වර්ෂයේ මුල් මාස දෙක තුල විදේශසේවා නියුක්තිකයන්ගේ ප්රේ්ෂණ ලැබිම් රුපියල් බිලියන 305.4ක් වු අතර මෙම වර්ෂයේ මුල්මාස දෙක තුල විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේ0ෂණ ලැබිම් රුපියල් බිලියන 27කින් වැඩිවි ඇත.
(05)
මෙම වර්ෂයේ ජනවාරි මාසය තුලදි රෙදිපිළි හා ඇගලුම් අපනයනය කිරිම තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 889.7ක ආදායමක් උපයාගෙන ඇති බැව් ශ්රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
දෙසැම්බර් මාසය තුලරෙදිපිළි හා ඇගලුම් අපනයනය කිරිම තුලින් උපයාගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 447.6කි. දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය තුලදි රෙදිපිළි හා ඇගලුම් අපනයනය කිරිම මගින් උපයාගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 442.1 කින් වැඩිවි ඇත.
ඉකුත් වර්ෂයේ දි (2024) රෙදිපිළි හා ඇගලුම් අපනයනය කිරිම තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 5,061ක ආදායමක් උපයාගෙන තිබු අතර එය 2023 වර්ෂයට වඩා සියයට 3.7ක වැඩිවිමකි. මෙම වර්ෂයේ මුල්මාස දෙක තුල මෙරට අපනයන ආදායම 2024 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 2106 ක් දක්වා සියයට 3.7කින් ඉහළගොස් තිබුණි.මේ සදහා රෙදිපිළි හා ඇගලුම් අපනයන ආදායම මගින් ලබා දි තිබු දායකත්වය සියයට 10.7කි. මෙරටින් ඇමරිකාවට ආනයනය කරණු ලබන භාණ්ඩ සදහා සියයට 44ක තිරු බද්දක් පැනවිමට ඇමරිකානු ජානාධිපතිවරයා තින්දු කිරිමත් සමග මෙරට ඇගලුම් කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බැව් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති.
(06)
උත්සව සමයේ ගමන් බිමන් යන මගීන් අපහසුතාවයට පත් කරමින් කුරුණෑගල බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථවල ආසන වැඩි මුදලට වෙන්කර බඩුබාහිරාදිය ප‍්‍රවාහනය කරන බව මගිීහු පවසති.
මෙසේ ආසන වෙන් කර ගනු ලබන්නේ කුරුණෑගල සිට අනුරාධපුර වැනි දුර ගමන් බස් රථ වල බවත් මෙම බස් රථ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට අයත් නොවන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පාලනය කරන බසු රථ බැවින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගමන් කරන බව මගීහු චෝදනා කරති.
මේ ආකාරයෙන් පිටුපස ආසන වල බඩු පුරවා තිබීම නිසා පෝලිමේ එන මගීින්ට බස් රථයේ ආසන නොමැති හේතුවෙන් අපහසුතාවයට පත්වන බවද පැවසූහ.
මේ පිළිබදව අප කල විමසුමකදී වයඹ මාර්ගස්ථ මගීි ප‍්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් බස් රථ පිවිසුමක් ලබා ගනිමින් ගමන් ආරම්භ කරන අතර වේලාව සටහන් කිරීම පමණක් මගී ප‍්‍රවාහන අධිකාරියෙන් සිදු කරන අතර වෙනත් කිසිදු උපදෙසක් දැනුවත් කිරීමක් සදහා කිසිදු බලයක් නොමැති බවය. මගිීන්ට සිදුවන අපහසුතාවයන් වලදි 1955 අමතා සිදුවු අපහසුතාවය පිළිබදව පැමිණිලි කළ හැකි බව ද කීය.
(07)
කලක පටන් දිවයිනේ විවිධ ස්ථාන වලින් යතුරු පැදි සොරකම් කර, ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ පියා, පුතු සහ ලේලිය ඇතුලු සැකකරුවන් පස් දෙනෙකු නවගමුව පොළිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි ප්‍රධාන සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ මෝටර් රථවාහන අමතර කොටස් වෙළඳ සැලක් පවත්වාගෙන යන අතර සිය පුත්‍රයා හා ලේලිය විසින් සොරකම් කරගෙන එන යතුරු පැදි කොටස් ගලවා අළෙවි කොට තිබේ.
මොවුන් විසින් සොරකම් කරනු යතුරු පැදි හයක් පොළිසිය විසින් සොයාගෙන ඇති අතර නවගමුව පොළිස් වසමේ යතුරු පැදි තුනක්, කැලණිය පොළිස් වසමේ යතුරු පැදි දෙකක්, තලංගම පොළිස් වසමේ යතුරු පැදියක් ඒ අතර වේ.
පොළිසිය සී.සී.ටී.වී. දර්ශන ද උපයෝගී කරගෙන සිදුකල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත් අඩංගුවට හැකිවී තිබේ.
සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර පියා සහ ඔහුහේ සහයකයෙකු ලෙස කටයුතු කල අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කල අතර පුත්‍රයා, බිරිඳ ඇතුලු තිදෙනෙකු ඇප මත මුදාහැරින.
නවගමුව පොළිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලයනල් සේනානායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති උ.පො.ප. වසන්ත අලහකෝන් , කා.පො.සැ. (4788) ප්‍රියන්ති, පො.කො. වරුන් වන,( 62509)දයානන්ද ,(87554) සෝලංග ආරච්චි , (87654) ලක්මාල් ,(31612) ආරියරත්න ,(103331) ධනුෂ්ක,(101998) චතුරංග ,පො.කො.රි. (18732) චානක යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
(08)
කුරුණෑගල නගරයේ ලොතරැුයි අලෙවි කරන කාන්තාවන් සිටින අලෙවි කුටි වලින් දිනපතා රුපියල් 10000 කට ආසන්න ලොතරැුයි පත් සංවිධානාත්මකව සොරකම් කරන බව ලොතරැුයි අලෙවිකරුවෝ මැසිවිලි නගති.
කාන්තා කුටිවලට පැමින දිනුම ඇදී ඇතිදැයි පරීක්‍ෂා කිරීමට ලොතරැුයිපත් ලබා දී ඒවා පරීක්‍ෂාකරන අතරතුර සංවිධානාත්මක කණ්ඩායමක් විසින්් දිනපතා ලොතරැුයිපත් සොරකම් සිදු කරන බව ඔවුහු කියති.
ලොතරැුයි ඒජන්සිකරුවන්ට මුදල් පියවීමේදී ණය වීමට සිදුවන බවත් දවසක් මහන්සි වි උපයාගන්නා සොච්චම් මුදලටත් වඩා වැඩි මුදලක් සොරකම් කරගත් ටිකට්පත් සදහා ගෙවිමට සිදුවීම හේතුවෙන් රටට බරක් නොවී දරු පවුල් රකින ලොතරැුයි කුටි වල දවස ගත කරන කාන්තාවන් වන අප අන්ත අසරන තත්වයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති
උත්සව සමයේ නගරයට විශාල වශයෙන් ජනතාව පැමිනෙණ බැවින් ආරක්ෂාව තර කර සොරුන් සම්බන්ධව අවධානය යොමු කරන මෙන් ව්‍යාපාරික ප‍්‍රජාව පොලිසියෙන් ඉල්ලා සිටිති.
(09)
රුපියල් ලක්ෂ දහසයක් වටිනා එනසාල් කිලෝ ග්‍රෑම් 117 ක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු 04/05 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගුවන් මගීන් දෙදෙනා අවුරුදු 41 සහ 49 යන වයස් වල පසුවන කොළඹ – 13 සහ කොළඹ – 08 යන ප්‍රදේශ වල පදිංච් , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් වේ .
මොවුන් දෙදෙනා 04/05 දින අලුයම 04.50 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 07 ක් තුල මෙම එනසාල් තොගය , කිලෝ ග්‍රෑම් 01 සහ 03 වශයෙන් අඩංගු පැකට් වශයෙන් සකස් කර , සගවා ගෙන තිබුණි
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා , මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා , කටුනායක නයි කන්ද රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරමින් සිටිති.
(10)
ලංකා ධිවර සංස්ථාවට අයත් ගාල්ල අයිස් යන්ත්‍රාගාරයේ ජෙනරේටර් කාමරය තුල සම්පිඩක යන්ත්‍ර අමතර කොටස් අස්ථානගතවිම සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කිරිම සදහා දින 158ක කාලයක් ගතවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2021 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වැනිදින සම්පිඩක යන්ත්‍ර අමතරකොටස් අස්ථානගතවි තිබුණි.අයිස් යන්ත්‍රාගාරයේ ජෙනරේටර් කාමරය තුල ඇති අමතර කොටස් අස්ථානගතවිම සම්බන්දයෙන් ගාල්ල වරාය පොලිසිය වෙත පැමිණිලිකොට ඇත්තේ 2022 වර්ෂයේ මාර්තු මස 07 වැනිදින බවද විගණන වාර්තාවේ සදහන් වේ. සම්පිඩක යන්ත්‍ර අමතරකොටස් අස්ථානගතවිම සම්බන්දයෙන් පරික්ෂණ පවත්වා අදාළ ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
එමෙන්ම අයිස් යන්ත්‍රාගාරය තුල පවතින යන්ත්‍ර හෝ අමතර කොටස් සම්බන්ද සටහන් ඇතුළත් ඉන්වෙන්ට්‍රිපොත් නඩත්තුකර නොතිබුණි.
යන්ත්‍ර හා අමතර කොටස් ජෙනරේටර් කාමරයෙන් ඉවතට ගෙන යාමේ දි ලොග් සටහන් හෝ තබා නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ පිළිබද ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ සම්පිඩක යන්ත්‍ර අමතර කොටස් අස්ථානගතවිම සම්බන්දයෙන් පොලිසිය වෙත පැමිණිලි කොට නිතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර පරික්ෂණ පවත්වාගෙන යනු ලබන බව විගණනයට සදහන් කොට ඇත.
එමෙන්ම යන්ත්‍ර හා අමතර කොටස් ජෙනරේටර් කාමරයෙන් ඉවතට ගෙන යාමේ දි ලොග් සටහන් පොත් තබා නොතිබිම සම්බන්දයෙන් ගාල්ල අයිස් යන්ත්‍රගාරයේ ස්ථානභාර නිලධාරි හා තාක්ෂණික නිලධාරින් වෙතින් නිදහසට කරුණු විමසා ඇති බව කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
(11)
මියන්මාරයේ පසුගියදා ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් එරට ජනතාව වෙත ශ්‍රී ලංකාවෙන් යොමු කෙරෙන , පළමු සහනාධාර තොගය සමග පළමු හමුදා වෛද්‍ය සහ සහන මෙහෙයුම් සදහා කණ්ඩායමක් , ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් 04/05 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය
ත්‍රයි නිකායික භික්ෂුන් වහන්සේලා විසින් ලබා දුන් සහනාධාර විශාල තොගයක් මෙසේ මියන්මාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
මීට අමතරව බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් යුතු මෙම හමුදා වෛද්‍ය සහ සහන මෙහෙයුම් කණ්ඩායමට නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයන්ගෙන් සමන්විත භටයන් 18 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුලත් වී සිටියහ.
මෙම භාණ්ඩ තොගය සහ හමුදා නිලධාරීන් පිරිස මියන්මාරය වෙත රැගෙන යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් ලබා දෙමින් අනුග්‍රහක දායකත්වයක් ලබා දී තිබුණි.
ඒ අනුව මෙම භාණ්ඩ තොගය සහ හමුදා භට පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් වූ යූ.එල්.- 420 දරන ගුවන් යානයෙන් 04/05 දින පස්වරු 01.55 ට මියන්මාරයේ යැන්ගොන් (Yangon ) ගුවන් තොටුපොළ බලා , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
(12)
නීති විරෝධී මත්පැන් කසිප්පු බෝතල් 40ක් අඩංගු පොලිතින් උර 15ක් ලීටර් 450 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට වත්තේගම පොලීසිය 2025.04.05 වන දින සමත් විය.
ලද තොරතුරක් මත වත්තේගම අටලහගොඩ ප්රනදේශයේ පා`ඵ නිවසක රහසිගතව සඟවා තිබියදී මෙම කසිප්පු තොගය සොයා ගැනීමට හැකි වූ බව වත්තේගම පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ ප්රතධාන සැකකරු සහ ඔහුට සහයෝගය ලබා දුන් තවත් සැකකරුවන් හතරදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉතා සූක්ෂම අන්දමින් පොලිතින් උර වල අසුරා තිබූ කසිප්පු ජාවාරම්කරු විසින් අලුත් අවුරුදු සමයේ බෙදා හැරීම සඳහා දුරබැහැර ප්රලදේශයකින් ගෙන්වා ඇතැයි පොලීසිය විසින් සිදු කළ විමර්ෂණ වල දී හෙලිවී ඇත.
සැකකාර පුද්ගලයා විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන යන බවත්, ඒ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය විසින් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද 06 වන දින තෙල්දෙණිය ප්රසධාන මහේස්ත්රාසත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මධ්යදම පළාත් භාර ජේ්ය්ෂ්ඨ නියෝජ්යක පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්යස පොලිස්පති සුදත් මාසිංහ යන අයගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් උප පොලිස් පරීක්ෂක ගොඩගංදෙණිය, පො.සැ (21856) බණ්ඩාර, පො.කො (88965) ඒකනායක, පො.කො (103552) පල්ලේවත්ත, පො.කො (101227) අබේවික්රෝම, පො.රියදුරු (74057) නිශාන්ත යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(13)
අම්පාර මහා රෝහලේදි . අඩු බර උපත් දරුවන් පස් දෙනෙකු සාර්ථක සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගැනිමෙන් අනතුරුව අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්රනථිකාර ලබමින් සිටි දරුවන් පස්දෙනා එම මව්වරුන් දෙදෙනාට නැවත භාරදිම ඊයේ 06 සිදුකරනු ලැබිය.
මා ර් තු 15 වෙනිදින අම්පාර මහා රෝහලේ ප්රසසව සහ නාරි විශේෂඥ වෛද්ය තරිදු එදිරිසුරිය මහතා ඇතුලු වෛද්යෙ කණ්ඩායම විසින් දරු ප්රසුතිය ඇතිවු මවකට සිසේරියන් සැත්කමක් සිදුකල අතර එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවු අතර එම දරු දෙදෙනාම සති 30 කාලයකදි හමුවු නිසා නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබිය.
ඉන් පැයකට පසුව සමන්තුරේ සිට අම්පාර මහා රෝහලට හදිසියේ එවන ලද මවකටද දරු ප්ර සුතිය ඇතිවු අතර එම මවටද හදිසියේම සිසේරියන් සැත්කමක් සිදුකර අතර එම මවට තුන් නිවුන් දරුවන් හමුවු අතර එම දරුවන් සති 29 කාලයක දරුවන් විම නිසා එම දරුවන් ද නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.
එසේ ළදරු දැඩි සත්කාරඒකකයට යොමු කරන ලද දරුවන් පස්දෙනා අම්පාර මහා රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතා ගේ අධික්ෂණය යටතේ දින 22 ක කාලයක් අවශ්ය ප්රෂථිකාර ලබාදි නියමිත බර පැමිනිමෙන් පසුව දෙමව්පියන්ට භාරදීම සිදුකරනු ලැබිය.
අම්පාර වැනි රෝහලක එක් දිනකදී එවැනි දරු උපත් සිදුවිම විරල සිද්ධියක් බව අම්පාර මහා රෝහලේ වෛද්යද අධ්ය ක්ෂක විශේෂඥ වෛද්යි රංග චන්ද්රෙිස්න මහතා සදහන් කලේය.
මෙම දරුවන් ගේ ජීවිත බේරා ගැනිම සදහා කටයුතු කල අම්පාර මහා රෝහලේ ප්ර්සව සහ නාරි වෛද්යා විශේෂඥ තරිදු එදිරිසුරිය සහ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහත්වරුන් ඇතුලු සියලුම වෛද්යරවරුන්ට හෙද කාර්ය මණ්ඩලයට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු සියලුදෙනාටම ස්තුතිවන්ත වෙන බවද පැවසිය.
(14)
කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි තවත් සැකකරුවෙකු වන දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා ( 04 වැනිදා ) පෙරවරුවේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගන්නා ලදී.
මොහු එදිනම ( 04 වැනිදා ) පස්වරුවේ .
මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහර වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා විසින් ඔහු මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කෙළේය.
මොහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයායි.
මේ වනවිට මේ නඩුව සම්බන්ධව අත් අඩංගුවට ගත් හිටපු ඇමැති මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා තවම සැඟවී සිටිති.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීහ.
මේ සැකකරු සොයමින් සිටීනවිට ලැබුණු තොරතුරකට අනුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ඉදලා අත් අඩංගුවට ගත්තා.මොහු අත් අඩංගුවට ගත්තේ
ද පොදු දේපල පනත යටතේයි. විමර්ශන කටයුතු අවසන් නැහැ මොහු ද රක්ෂිත බන්ධනාගාර ගත කර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.
සැකකරු වෙනුවෙන් පෙනි සටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
මේ සැකකරු අධිකරණයට භාරවීම සදහා සුදානම් වෙමින් සිටින විට තමයි අත් අඩංගුවට ගත්තේ. මොහුගේ ව්‍යාපාරික කටයුතු වල වැඩ අවසන් කරලා භාර වීම සදහා යාමටයි සිටියේ.මොහු අධිකරණය මගහැර සිටියේ නැහැ.
මොහු අසනීපෙන් පසුවන්නේ. ඒ නිසා මොහුට අවශ්‍ය ඖෂධ බන්ධනාගාර රෝභලේ නැහැ. ඒ ගැන අවධානය යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සලසන ලෙසට බන්ධනාගාරයට නියම කරනු ලැබීය. .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු වෙනුවෙන් නීතිඥ දේශාල් පෝල් මහතා පෙනී සිටියේය.
(15)
අහුන්ගල්ල මාකුඹුර ප්රේදේශයේ වයස අවුරුදු 70 ක පමණපුද්ගලයෙකු වෙළඳසැලට යන අතරතුරදි මග රැක සිටි තිදෙනෙකු විසින් (02) ඔහු පැළඳ සිටි ලක්ෂී 05 කට අධික වටිනාකමකින් යුත් රන්බඩු කොල්ලකා පළාගොස් ඇති බව අහුංගල්ල පොලිසිය කියයි.
සිද්ධිය සැලවූ වහාම ක්රි යාත්මක වූ පොලිසිය පැය කිහිපයක් ඇතුළත අදාල සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්රලශ්න කිරීමේදී රන්බඩුවලින් කොටසක් සොයාගත් බවත් ඉතිරිය අනිත් පුද්ගලයා සතුව පවතින බවට සැකකරුවන් ප්රාකාශ කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් මත්ද්රයව්ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බවත් මෙම එක් අයෙකු සතුව තිබී මත්කුඩු මිලිග්රෑ ම් 7000 ක් සොයා ගත් බවත් ඉතිරිසැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් සොයාගත් භාණ්ඩ අතර රන් වාලම්පූරියක්, හා මුද්දක්ද වන බවත් පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී වෙත්තසිංහ මහතාගේ උපදෙස් මත අහුංගල්ල පොලිස් ස්ථානිධිපති පොලිස් පරීක්ෂක හ ර් ෂ සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශාධිපති අ ර් ජු න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.සැකකරු ඊයේ (03) බලපිටිය මහේස්ත්රාකත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(16)
කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයේ කන්දකැටිය මහකැලේ ප්‍රදේශයේ බදුලු ඔය රක්ෂිතයේ නිතීවිරෝධි මත්පැන් කසිප්පු පෙරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කසිප්පු පෙරිම සදහා යොදා ගත් උපකරණ සහ ගොඩා මිලිලීයර් 174000ක් සමග ඉකුත් 3 වනදා අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
කන්දැකිටිය පොලිස් බුද්ධි අංශ නිළධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකර අවස්ථාවේ මෙම පුද්ගලයින් දෙදෙනා කසිප්පු පෙරීමට සුදානම් වෙමින් සිටි බවත් කසිප්පු පෙරීම සදහා යොදාගන්නා තඹ දගරක් සමග ගෝඩා බැරලයක් සහ ගොඩා සමග ලීටර් විස්සේ බූලි දෙක්ක සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ට්‍රැක් 4/24 මහකැලේ ප්‍රදේශයේ පදිංචි 30,43 යන වයස්කාණ්ඩ වල පසුවන්නන් බවත් මෙවුන් කාලාන්තරයක් තිස්සේ ප්‍රදේශයේ කසිප්පු ජාවාරමේ නිරතවු පුද්ගලයින් බවට මුලික විමර්ශණ වලදි අණාවර්ණය වි ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භහණ්ඩ ලබන 9 වැනිදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර අත්අඩංගුවට ගත් ගෝඩා එම ස්ථානයේදිම විනාශකළ බව පොලිසිය කියයි.
බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පත් සුජිත් වෙදමුල්ල ,බදුල්ල ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ,බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 1 ටි.එම් .ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක හර්ෂ දිපාල් ජයතුංග මහතාගේ මෙහෙය විමෙන් උප පොලිස් පරික්ෂක නවරත්න පො.සැ 70204 වීරසිංහ ,පො.කො 41146 ඒකනායක,පො.කො 95778 තිලක් යන නිළධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි .
(17)
කෑගල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට රෝහල ඉදිරිපිට දී අතින් කම්මුලට පහර දුන් සැකකරු වරද පිළි ගැනීමෙන් පසුව රුපියල් ලක්ෂය ශරිර ඇපයක් මත නිදහස් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය ඉකුත් 04 වැනිදා නියෝග කළාය.
මෙලෙස ශරිර ඇප මත නිදහස් කර තිබුණේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ පදිංචිව සිටින ගනේවත්තේ ගෙදර අශාන් ජීවක සිරිවර්ධන නැමැති පුද්ගලයෙකි.
ඉකුත් 04 වැනිදා පෙරවරුවේ වෛද්‍යවරයාට පහර දීම සම්බන්ධයෙන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවට පැවැත්වීමට සුදානම් කර තිබුණ ද වෛද්‍යවරයා හදුනා ගැනීමේ පෙරෙට්ටුවට පැමිණ සිටියේ නැත. පසුව නඩුව කැදවු අවස්ථාවේ දී පැමිණිලිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් සේනාධීර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වෛද්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවසේ නිවසේ කල් ගෙවන බව පැවසීය. සැකකරු කියා සිටියේ වෛද්‍යවරයා පළමුව තමාට දෙකක් පහර දුන් බවත් තමාගේ එක් පහර දීමකින් වෛද්‍යවරයා බිමට වැටුණු බවත් පහර දීම පිළි ගන්නා බවත් පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුට සෑම මසක අවසන් ඉරිදා කෑගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් පැමිණිල්ල මැයි 16 වැනිදාට ගොනු කරන ලෙසත් රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත සැකකරු නිදහස් කරන ලෙසත් නියෝග කළාය. යලි නඩුව මැයි 16 වැනිදා කැදවන ලෙස ද නියෝග කෙරිණ.
ඇප මත නිදහස් කර ඇති විත්තිකරු කෑගල්ල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිටින තරුණියක් විවාහ කරගෙන ඇති අතර බිරිද දැනට මාස අට හමාරක ගැබිනියකි. ඉකුත් 28 වැනිදා විත්තිකරු සිය ගැබිනි බිරිද සමග රැදිර පරීක්ෂාවකට කෑගල්ල මහ රෝහලට පැමිණ රැදිරය ආධාල ස්ථානයට භාර දී ආපසු යුවල රෝහලෙන් පිටුපසට දෙසට ගමන් කරමින් සිට තිබේ. එම අවස්ථාවේ දී ගැබිනි බිරිද විත්තිකරුගේ අතක එල්ලී ගමන් කරමින් සිට ඇති අතර යම්කිසි පුද්ගලයෙක් විත්තිකරුගේ ඉදිරිපසින් පැමිණ විත්තිකරු ඇගේ හැපී තිබේ. එම අවස්ථාවේ දී විත්තිකරුගේ අතේ එල්ලී සිට ඇතැයි කියන ගැබිනි බිරිද වැටීමකට යාමේදී විත්තිකරු විසින් අල්ලාගෙන ද තිබේ. පසුව ඇගේ හැපුණු පුද්ගලයා මද දුරක් පසු කර යමින් සිටිය විත්තිකරු යලි නාදුනන පුද්ගලයා හඹා ගොස් ඇගේ ගැටීම සම්බන්ධයෙන් සමාවවත් නොකියා යාම මන්දැයි විමසීමක් සිදු කර තිබේ.
එම අවස්ථාවේ දී නාදුනන පුද්ගලයා තමා රෝහලේ ලොක්කෙක් බව පවසා අතින් දෙවරක් විත්තිකරුට එල්ල කර විශේෂඥ වෛද්‍ය විවේක කාමරය දෙසට ගමන් කරමින් සිට තිබේ. පසුව විත්තිකරු අතින් එක් පහරක් නාදුනන පුද්ගලයාට සිදු කරන ලද එල්ල කිරීමේ දී වෛද්‍යවරයා බිමට වැටී තොල් පුපුරා රැදිය ද ගලා ගොස් තිබුණි.
පසුව පහර දීම රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් දැක රෝහල් පොලිසිය දැනුවත් කර රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර පාරඹේ නිලධාරියා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන කෑගල්ල පොලිසියට භාර දී තිබුණි.
පසුව සැකකරු 29 වැනිදා කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් ද පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් කෑගල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් මනෝජ් චන්ද්‍රසේකර (9200) අධිකරණයේ පෙනී සිටියහ.
(18)
සියඹලාණ්ඩුව පොලීසියට ලද තොරතුරක් මත (04) වෙනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් සමඟ එක්ව මුතුකණ්ඩිය ගොවිජනපදයේ 04 වන ගම්මානයේදී ත්‍රීරෝදරථයකින් ප්‍රවාහනයකරමින් තිබූ අයිස් සහ හෙරොයින් තොගයක් සොයාගෙන ඇත.
25 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාද ,සහෝදරයාගේ බිරිඳද,රියදුරුද මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගෙන තිබේ.
කොළඹ සිට ජාවාරම්කරුවෙකු විසින් ගෙනඑන ලද මෙම අයිස් සහ හෙරොයින් පානම ප්‍රදේශයට රැගෙන යන තෙක් ප්‍රධාන සැකකරුගේ නිවස පිහිටි 04 වන ගම්මානයට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනයකරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අංක EPYA 3084 දරණ ත්‍රීරෝද රථයේ සඟවා තිබී අයිස් මිලිග්‍රෑම් 9,220 සහ හෙරොයින් මිලිග්‍රෑම් 10,780 මෙලෙස සොයාගෙන තිබේ.
ප්‍රධාන සැකකරු,ඔහුගේ සහෝදරයා සහ සහෝදරයාගේ බිරිඳ මුතුකණ්ඩිය 04 වන ගම්මානයේ පදිංචිකරුවන් වන අතර රියදුරු පානම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන්,හෙරොයින් සහ අයිස් තොගය සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව ප්‍රධාන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබුණු අතර සෙසු සැකකරුවන් තිදෙනා අප්‍රේල් (09) වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත්,පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ උ.පො.ප කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් වැටලීම සිදුකර ඇත.
(19)
කන්තලේ යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සුරියපුර විශේෂ කාර්ය බලකාය හා එක්ව ටී 56 වර්ගයේ ගිණි අවියක් සොයා ගත් බව තඹලගමුව පොලීසිය කියයි.
ඉකුත් 6 වෙනිදා රාත්‍රී මෙම ගිණි අවිය සොයාගෙන ඇත්තේ තඹලගමුව 95 පෙදෙස ඊච්චලම්කුලම් වැව් ඉස්මත්තේ කන්තලේ රක්ෂිතයේ තුළ දීය.
තඹලගමුව පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්. ඩබ්.රංජන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(20)
මාර්ගයේ කාර් රථයක් ධාවනය කරමින් නිවසක් අසල සිටි කුඩා දරුවන් තිදෙනකු යටකර එක් දැරියක මරණයට පත් කර කාර් රථය එම ස්ථානයේ ම දමා පලාගිය රියදුරකු අත් අඩංගුවට ගැනීම ට පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.
ඉකුත් 05 දා සවස 4.20ට පමණ මහබාගේ පොලිස් වසමේ දී මෙම අනතුර සිදුව ඇත. පොලීසිය ට කරුණු අනාවරණය වන පරිදි කාර් රථයේ රියදුරා යතුරු පැදියක් පසු පස හබාගෙන පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ දී නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් තිදෙනකු කාර් රථයකට යට කර ඉදිරියට ධාවනය කර කාර් රථය කොන්ක්‍රීට් කනුවක ගැටී නතර වු පසු රථයෙන් බැස පලාගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ අංක 96 /11 තොටුපළ පාර වැලිසර රාගම පදිංචි පස් හැවිරිදි එලීසා ජස්ට්න් හේමන් යන දැරිය මිය ගොස් තිබේ. මෙහිදී තුවාල ලැබූ හය හැවිරිදි ඩිනෝන් චිත්ම ප්‍රනාන්දු හා තෙහැවිරිදි අනුගි රිසිත්මා ප්‍රනාන්දු යන දරුවන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත. පලා ගිය කාර් රථයේ රියදුරු පොලීසිය හදුනාගෙන ඇති අතර කදාණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති රමේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරී කන්ඩායමක් පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරයි