වරකාපොළ අල්ගම ප්‍රදේශයේ මාස 6 ක් වයසැති පිරිමි දරුවාගේ ගෙල සිර කර ඝාතනය කොට බේබි කැරියර් එකක බහා ශරිරයේ එල්ලා ගෙන ඉකුත් 03 වැනිදා පෙරවරුවේ කුස්සියේ යට ලීයක තිදරු මවක් ගෙලවැලලාගෙන මිය ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ පොලිස් වසමේ අල්ගම මැදගම අංක බී 161 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 37 ක් වු ලියන මුදියන්සේලාගේ සොමිකානී නිලුෂා සහ ඇගේ මාස 06 ක් වයසැති කස්තුරි ආරච්චිලාගේ හිමරු නිර්වාන් කුලතුංග නැමැති බිළිදෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය කියා සිටියේ ගෙලවැලලාගෙන මිය ගොස් ඇති තිදරු මව උපාධිධාරිනියක් බවත් ඇය පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ රැකියාවක් කරන බවත් පොලිසිය පැවසීය. කාන්තාව කලකට ඉහතදී කිලෝ මීටරයක් පමණ ඈතින් අල්ගම ගම්මානයේ පදිංචිව සිටින සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටින 37 හැවිරිදි කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංග තරුණායා සමග විවාහ වී ඇති බවත් පසුව තරුණායා මනාලියගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවසීය.

දැනට යුවලට වයස අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙක් වයස අවුරුදු දෙක හමාරක ගැහැණු දරුවෙක් හා මාස හයක පිරිමි දරුවෙක් ද සිටියි. දරුවන්ගේ පියා සංවර්ධන නිලධාරි රැකියාවෙන් ඉවත් වී දැනට මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් ලෙස රැකියාවක් කරන බවත් පොලිසිය පැවසීය.

ගෙලවැලලාගෙන මිය ගොස් ඇති තිදරු මවට අක්කර තුනක පමණ ඉඩමක් ඇති බවත් ඉඩම කිහිප දෙනෙකුට විකුණා මුදල් ගෙන පිරමීඩ ජාවාරම් කරුවන්ට දී ඇති බව අනාවරණය වු බව පොලිසිය පැවසීය. අසල්වැසියන්ට ණය වී ඇති බවත් නිතරම අසල්වැසියන් ගෙන් කාන්තාව මුදල් ඉල්ලා සිට ඇති බවත් පොලිසිය පැවසීය. මේ හෙතුවෙන් කලක සිට අඹු සැමි යුවල අතර ගැටුම් ඇති වී ඇති බවත් ඉකුත් 03 වැනිදා පෙරවරුවේ තිදරු මව දරුවන් තිදෙනාට වස පොවා තමන් ද ගෙලවැලලාගෙන මිය යන බවට සැමියාට දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව තිදරු පියා අවුරුදු හතර හමාරක් වු වැඩිමහල් පිරිමි දරුවා හා වයස අවුරුදු දෙක හමාරක් වු ගැහැණු දරුවා රැගෙන කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි මහ ගෙදර නිවසේ පදිංචිව සිටින මවට දරුවන් දෙදෙනා දී ආපසු නිවසට පැමිණ තිබේ.

නිවසට පැමිණ ඇති අවස්ථාවේ දී බේබි කැරියර් එකක දරුවා බහා ශරිරයේ එල්ලා ගෙන බිරිද ද කුස්සියේ යට ලීයක ගෙලවැලලාගෙන සිටින අයුරු දැක 119 හදිසි දුරකතන අංකයට ඇමතුමක් දී තිබේ. පසුව ගෙලවැලලාගෙන සිටි කාන්තාවගේ බේබි කැරියර් එකේ සිටි අත දරුවා ඉන් පිටතට ගෙන බේරා ගැනීමේ අරමුණින් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වෙන කොටත් දරුවා මිය ගොස් තිබුණි.

හදිසි දුරකතන ඇමතුමට අනුව වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් අධාල නිවසට ගොස් විමර්ශනයක් සිදු කර සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව වරකාපොළ මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අධාල නිවසට හා බිළිදාගේ දේහය තැන්පත් කර තිබුණු වරකාපොළ රෝහලට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය. දේහ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දේහ දෙක මිය ගිය කාන්තාවගේ සැමියා සහ දරුවාගේ පියා වන කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංගට භාර දෙන ලෙසත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය. කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ කාන්තා උප පොලිස් පරීක්ෂක ශාලිකා පොලිස් සැරයන් සිරිමාන්න (32928) ස්ථානීය විමර්ශන කටයුතු සිදු කෙරිණ.

දේහ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් 04 වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කෙරිණ.

දරුවාගේ ගෙල සිර කර ඝාතනය කොට ඇති බවත් තිදරු මව ගෙලවැලලාගෙන මිය ගොස් ඇති බවටත් තීන්දු කෙරිණ. කාන්තාව තම බිළිදා ගෙල සිර කර ඝාතනය කොට බේබි කැරියර් එකක බහා ශරිරයේ එල්ලා ගෙන කුස්සියට ගොස් සාරියක් යට ලීයකට දමා පුටුවක් ගෙන නැග පුටුවෙන් පහළට පැන සිය දිවි හානි කරගෙන ඇති බවට සැක පහළ කරයි. දේහ දෙක පසුව කස්තුරි ආරච්චිලාගේ පුබුදු කුලතුංග මහතාට භාර කෙරිණ. දේහ දෙක ඔහුගේ නිවසට රැගෙන ගිය අතර අවසන් කටයුතු පෙරේදා 05 වැනිදා අල්ගම දී සිදු කෙරිණ.

කෑගල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි එල් ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බංඩාර පොලිස් සැරයන්වරුන් වන ඩබ්ලිව් කීරගල (33118) ජී,ආර් පුෂ්ප කුමාර (48593) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න