ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) රැස්විණ. වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සභාව රැස්වූ දෙවන අවස්ථාව මෙයයි. එම රැස්වීම පැවැත්වුණේ නාරාහෙන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාලයේදීයි.
එහිදී කම්කරු උපදේශක සභාව තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අවධානය යොමු කෙරිණ.ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කම්කරු උපදේශක සභාවේ අනුකමිටුවට බලය පැවරිණ. සේව්‍ය සේවක සහ රජය යන පාර්ශ්ව තුන නියෝජනය කරමින් එක් පාර්ශවයකින් නියෝජිතයන් දෙදෙනෙකු බැගින් සාමාජිකයන් හයදෙනෙකුගෙන් එම අනුකමිටුව සමන්විතයි.
කම්කරු පනත් කෙටුම්පත, අපනයන කම්කරු ශ්‍රම පරිභෝජනය මෙන්ම දිනපහේ වැඩ සතිය ක්‍රියාත්මකක කිරීමේදී මතුවන ගැටලු සමාලෝචනයට අදාළව මෙම රැස්වීමේදී වැඩි අවධානයක් යොමු කෙරිණ.
කම්කරු පනත් කෙටුම්පත තවදුරටත් අධ්‍යනය කරමින් අවශ්‍ය සංශෝධන සහිතව සේවය සේවක දෙපාර්ශවයේම එකඟතාවය මත ඉදිරිපත් කිරීමට නියමිතයි.වත්මන් රජයේ මෙවර අයවැයෙන් සිදුකළ වැටුප් වැඩිවීම වෘත්තිය සමිති නියෝජිතයන්ගේ විශේෂ ඇගයීමටද ලක්විය. මෙම වැටුප් වැඩිවීමට අදාළව පුද්ගලික අංශයේ සේවකයන්ගේද වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
එමෙන්ම වැඩබිම තුළදී කාන්තා ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ රාත්‍රී සේවා මුරවල යෙදෙන කාන්තාවන්ට ලබාදිය යුතු පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කෙරිණ.වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ජාතික කම්කරු උපදේශක සභාව මුල්වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස (15) වැනිදායි.එම රැස්වීමට ප්‍රථමවරට කාන්තා වෘත්තීය සමිති නියෝජිතයන් තිදෙනෙකු සහභාගි වීමද විශේෂත්වයකි.
ඊයේ පැවති ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න