වටිනා ශරීරයක් මත මුදා හරින්නට  අනුරාධපුර අධිකරණය තීරණය කරයි!

මිහින්තලාවට හඬක් යූ ටියුබ්  නාලිකාව ඔස්සේ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුදබිමට අපහාස වන ආකාරයේ තොරතුරු ප්‍රචාරය කරමින් එකී අපහාසාත්මක තොරතුරු තවත් විවිධ යූටියුබ් නාලිකා වෙත මුදා හැර තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණය හමුවේ පෙනී සිටි යූ ටියුබ්  නාලිකාවක පරිපාලකවරයෙකු රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීරයක් මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්  පී.එච්.ඩබ්ලිව්. ඩී. එල්  සමරසිංහ මහත්මිය නියෝග කළාය.

යළි අගෝස්තු මස 6 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර යූ ටියුබ්  නාලිකා පරිපාලකවරයාට නියෝග කළ  අතිරේක මහේස්ත්‍රාත්වරිය මින් මතුවට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට හෝ මිහින්තලා පුදබිමට අපහාස වන හෝ තර්ජනය  වන ආකාරයේ තොරතුරු කිසිවක් සමාජ මාධ්‍යයේ හෝ වෙනත් ක්‍රම පස්සේ ප්‍රචාරය නොකරන ලෙසටද තරයේ දන්වා සිටියාය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සමරසිංහ මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙසේ ඇප මත මුදා හැරියේ  මිහින්තලාවට හඬක් යූ ටියුබ්  නාලිකාවේ පරිපාලකවරයා වන මිහින්තලේ නුවර පාර පදිංචි අජිත් එදිරිසිංහ නැමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණයට කරුණු දක්වමින් මිහින්තලේ පොලිසිය සඳහන් කළේ, තමන් වහන්සේට සහ මිහින්තලා පුදබිමට අපහාස වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු මිහින්තලයට හඬක් යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බව සහ එකී අසත්‍ය අපහාසාත්මක තොරතුරු වෙනත් යූටියුබ් නාලිකාවන්ට මුදා හරින බව පවසමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නාහිමිපාණන් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

මෙලෙස තමන් වහන්සේට සහ මිහින්තලා පුදබිමට අපහාස කරමින් තර්ජනය කරමින් ඊට අමතරව කප්පම්ද ඉල්ලමින් තර්ජනය කරනු ලබන්නේ, මිහින්තලයට හඬක් යූටියුබ් නාලිකාවේ පරිපාලකවරයා වන අජිත් එදිරිසිංහ නමැත්තා බවටද මිහින්තලා විහාරාධිපති හිමියන් සිය පැමිණිල්ල මගින් තව දුරටත් ප්‍රකාශ කොට ඇති බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරන බවද කීවේය.

පැමිණිලිකාර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ  ධම්මරතන හිමියන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් වන හේමක සේනානායක සහ අනුරුද්ධ විජයරත්න යන මහත්වරුන් පැවසුවේ මෙම යූ ටියුබ් පරිපාලකවරයා, සිය චැනලය ඔස්සේ මෙලෙස අපහාස කරමින් සිටින්නේ මිහින්තලා නාහිමිට පමණක් නොව, දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රව ඇති ඓතිහාසික මිහින්තලා පුදබිමට බවයි.

සැකකරු දිගින් දිගටම සිය සේවා දායක, මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට අපහාස කරමින් තර්ජනය කරමින් , කප්පම් ඉල්ලමින් සංවිධානාත්මකව අනීතික ක්‍රියාවල නියැලෙමින් සිටින බවද අවධාරණය කළ නීතීඥවරු, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දැඩි අවධානය  යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මිහින්තලේ  විහාරාධිපති හිමියන්ට අපහාස කිරීමේ සහ තර්ජනය කිරීමේ සිද්ධීන්  මෙන්ම කප්පම් ඉල්ලිමේ සිද්ධීන් වලටද  අදාල තවත් නඩු දෙකක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බවද නීතිඥවරුන් කියා සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න