මෙරට ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ දී මින් ඉදිරියට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ  ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ  සැපයීමේ කටයුතුවලට ඍජුවම දායක වන සියලුම නිලධාරීන් දැනුවත්  කිරීමේ අරමුණින් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ පැවැති වැඩ සටහනකට එක් වෙමිනි.

මේ වන විට හිඟයකින් ප්‍රමාදයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත්  විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ඇමතිවරයා කීය.

@ පසුගිය කාලය පුරාවට ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට කිසියම් හෝ චෝදනා එල්ල වුයේ සමස්තයක් ලෙස ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ ගැටළු මත බවත් ඖෂධවල ගුණාත්මකභාවය මිල සහ හිඟය ද ඊට ප්‍රබලව හේතු වු බව ද ඔහු පැවසී ය.

ස්වභාවික ව කිසිවෙකු නොසිතන අවස්ථාවන් හි සිදුවන සිදුවීම්වලට වඩා මෙම ගැටළුව සංකීරණ බවත් එබැවින් එම තත්ත්වයන් වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බව බව ද ඒ මහතා පැවසී ය.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් වූ බිලියන 604 ක් වූ මුදලින් වැඩිම මුදලක් එනම් රුපියල් බිලියන 200 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ඉදිරි මාස 08 සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල දී ගැනීමට වෙන් කර ඇති බව ද පැවසී ය.

වැටුප් ගෙවීමට බිලියන 150 ක් වෙන් කර ඇති බව ද භාණ්ඩාගාරය සෞඛ්‍ය සඳහා ලබා දෙනු ලබන මුදල් සම්බන්ධ කිසිඳු ගැටළුවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

භාණ්ඩාගාරයෙන් නියමිත පරිදි නිසි අයුරින් මුදල් වෙන් කර තිබිය දී ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමේ ක්‍රියාවලියට යන කාලය අවම කර ගැනීම පිළිබඳ ව සම්පුර්ණ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරයෙන් වෙන් වන මුදල් ප්‍රමාදයකින් තොර ව සැපයුම්කරුවන්ට ලබා දීමේ ක්‍රියාවලිය ද කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා බව ද පැවසී ය.

මින් ඉදිරියට රෝහල්වලට අවශ්‍ය ඖෂධ පිළිබඳ ව තොරතුරු කඩිනමින් සහ ක්‍රමවත්ව ලබාගෙන අදාළ රෝහල් වෙත  එම ඖෂධ සැපයීමේ ක්‍රියාදාමයට ගත වන විශාල කාලය සහ ප්‍රමාදයන් අඩු කර ගැනීමට කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය.

ඒ තුළින්  ඖෂධ සැපයීමේ ක්‍රියාදාමය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන  බව ද ඇමතිවරයා කළේ ය.

මෙම කාර්යය මෙතැන් සිට ආරම්භ කර පවතින ගැටලු සහ අඩුපාඩු අවම කර ගනිමින් 2026 වසර වන විට මෙරට ඖෂධ සැපයීමේ ක්‍රියාදාමය ඉතා විධිමත් සහ විශිෂ්ට අයුරින් සිදු කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත යුතු බව හෙතෙම කියා සිටියේ ය.

විශේෂයෙන් ම මින් ඉදිරියට පුරවැසියන්ට අවශ්‍ය ගුණාත්මකබවින් ඉහළ ඖෂධ ප්‍රමාදයකින් තොර ව අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ යුතු  බවත්, මුදල් වෙන් කර තිබිය දී අවශ්‍ය ඖෂධ නියමිත පරිදි ලබාදීමට අදාළ ව  මෙම ක්‍රියාවලිය නිවැරදි ව සිදු නොවනවා නම් රජය ඍජුවම මැදිහත් වී ඖෂධ නිෂ්පාදනය කරන රටවල  රජයන් සමඟ සාකච්ඡා කර ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදයකට යාමට සිදුවනු බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න