(01) පෙතිකරුල් මුරපද මකා හොරකරලා විඝනනයට මාට්ට් වේ

ගාල්ල ප්‍රාදේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වූ ඖෂධ, වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය (PRONTO) මගින් විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සඳහා ලබාදී තිබූ මුරපද භාවිතා කර මකාදමා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් මිලියන 23.6කට ආසන්න ඖෂධ කල්ඉකුත්වී ඇති බැව් කමිටු වාර්තා මගින් අනාවරණය වී තිබුණි. 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් කල්ඉකුත් වූ ඖෂධ වසරක් තුළ හඳුනාගෙන අපහරණය සඳහා කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍රලේඛයේ දක්වා තිබුණි. කල්ඉකුත්වූ ඖෂධ අපහරණය කොට මුදල් රෙගුලාසි 102 සිට 109 ප්‍රකාරව පොතෙන් කපා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ව තිබුණි. ගාල්ල ප්‍රාදේශිය වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


(02) වී අළෙවි මණ්ඩලයට මොනරාගලින් වී ඇටයක් අරන් නැත

මොනරාගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්නෙන් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි එම මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය.

මොනරාගල දිස්ත්‍රික්කයේ අලුත්වැව, මුතුකණ්ඩිය, ඇතිමලේ, මොනරාගල, මැදගම, වැල්ලවාය යන ප්‍රදේශවල වී ගබඩා, වී මිලදී ගැනීම සඳහා සූදානම් කර තිබුණත් ගොවීන් විසින් වී ලබාදී නොතිබිණි.

කාලයක් තිස්සේ කැළඹවට යටවී වල් බිහිව තිබූ වී ගබඩා, ගොවීන්ගේ සහ යුදහමුදාවේ ශ්‍රමදායකත්වයෙන් වී මිලදී ගැනීම සඳහා ශුද්ධ පවිත්‍ර කොට අලුත්වැඩියා කර තිබුණත් මෙලෙස වී ලබාදී තිබුණේ නැත.

මේ පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් කළ විමසුමකදී පැවසුවේ, පුද්ගලික වෙළඳුන් රජයේ සහතික මිලට වැඩියෙන් කුඹුරටම පැමිණ වී මිලදී ගැනීම නිසා ගොවීන් මණ්ඩලයට වී ලබා නොදුන් බවයි. විශේෂයෙන් ගොවීන්ට ගබඩා වලට රැගෙන ගොස් වී ලබාදීමේදී ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවීම නිසා මණ්ඩලයට වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් නොවන බවයි.


(03) මාතලේ සුදු ගංගාවෙන් ගිනි අවි මතු වේ

මාතලේ සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් 02ක් 29 දා සොයා ගත් බව මාතලේ පොලිසිය කියයි.

මාතලේ පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම ගිනි අවිය සහ පතොරම් ගැබ් 02ක් සොයා ගත් බව පොලිසිය කියයි. අදාළ ටී-56 ගිනි අවිය මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.


(04) පොල් හිඟයක් එනවා ලඟදීම – ජනතාවට එලෝ පොල් පෙනියි!

2026 වසරේ දී මෙරට පොල් හිගයක් ඇතිවිය හැකි බැව් පොල් පර්යේෂණ ආයතනය පවසයි. පොල්ගෙඩි මිලියන 100ක පමණ හිගයක් ඇතිවිය හැකි බවට පොල් පර්යේෂණ ආයතනය විසින් ඇස්තමේන්තු කොට ඇත.

වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3000ක් පමණ අවශ්‍ය වන අතර, පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි, පිටිකළ පොල් සහ සීතල කළ පොල් මද ප්‍රතිඅපනයනය සඳහා කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීමට රජය තීන්දු කොට ඇත.

මෙරට පොල් නිෂ්පාදනය මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී පොල්ගෙඩි මිලියන 167.8 දක්වා සියයට 32.3කින් සැලකිය යුතු අයුරින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වර්ෂයේ (2024) ජනවාරි මාසයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 248කි. එයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 80.2කින් අඩුවී ඇත.

මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දත්ත වලට අනුව, 2023 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3,168.1කි. 2024 වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2,790.1 දක්වා සියයට 11.9කින් අඩුවී ඇත.

සිල්ලර මිල ගණන්වලට අනුව, පසුගිය වර්ෂයේ දී (2024) පොල් ගෙඩියක් රුපියල් 120කට අලෙවි වූ අතර, මේ වනවිට පොල්ගෙඩියක මිල රුපියල් 220 දක්වා වැඩිවී ඇත.


(05) ලංකාවේ බේබද්දෝ ඉහළට – රටම සූර් වෙන කාලය ලඟයි!

මෙරට මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ (2025) මුල් භාගයේ දී ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023, 2024) සියයට 22කින් ඉහළ ගොස් ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වසර දෙක තුළ දක්නට නොලැබුණු ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් මත්පැන් නිෂ්පාදනය වැඩි වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ. සුරාබදු හේතුවෙන් රජයේ ආදායමද සියයට 23කින් වැඩිවී තිබේ.

කෙසේවුවද, 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 26ක් වූ මෙරට සාර්මත් පැන් පරිභෝජනය, 2024 වර්ෂයේ දී ලීටර් මිලියන 19.31 දක්වා අඩුවී ඇත. මත්පැන් මිල වැඩිවීම සහ ආර්ථික අර්බුදය මේ සඳහා හේතුවී තිබුණි.

සුරාබදු මුදල වැඩි කිරීමත් සමග නීති විරෝධී මත්පැන් පරිභෝජනය තවත් ඉහළ යා හැකි බවද කාරක සභා වාර්තාවේ සඳහන් වේ. සෑම වසරකම නීති විරෝධී ලෙස ස්පිරිට් ලීටර් මිලියන 30-35ක් අතර සංඛ්‍යාවක් පාරිභෝජනය කෙරේ.

මේ සඳහා ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සහතික කරමින්, සියයට 85ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව නව මධ්‍යසාර පාන වර්ගයක් හඳුන්වා දීමට යෝජනාවක්ද ඉදිරිපත් ව ඇත.

සුරාබදු ආදායම පවත්වා ගැනීමට සහ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට, මෙරට වැඩිපුරම පාරිභෝජනය කරනු ලබන මිලිලීටර් 180 පරිමාවෙන් යුත් කාලික බෝතල් සියයට 25ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව නිෂ්පාදනය කිරීමද මෙම සැලසුමට ඇතුළත්ව තිබේ.


(06) ඒ අස්සේ අස්වැසුම නැතුව – සියයට 58ක්ට හිස් වැසුමත් නැති වෙයි!

අස්වැසුම ලැබිය යුතු දුප්පතුන්ගෙන් සියයට 58කට අස්වැසුම ලැබී නොතිබූ බව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) විසින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.

දුප්පතුන් නොවන සියයට 26කට අස්වැසුම ලැබී තිබූ බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධිය ලැබිය යුතු සියයට 48කට සමෘද්ධි සහනාධාරය ලැබී නොතිබූ අතර, අස්වැසුම වැඩසටහන තුළ එම සංඛ්‍යාව සියයට 58 දක්වා වැඩිවී තිබුණි.

මෙම සමීක්ෂණයට අනුව, 2024 වර්ෂය අවසන් වන විට මෙරට දරිද්‍රතාවය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 48 දක්වා වැඩිවී ඇත. 2024 වර්ෂයේ පෙබරවාරි සිට ජූනි මාසය දක්වා කාලය තුළ, මෙරට ජනගහනයෙන් සියයට 60ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි.

2023 වර්ෂයේ මෙරට ජනගහනයෙන් සියයට 31ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. මෙම සමීක්ෂණයට අනුව, ඇතැම් රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, දුප්පතුන්ගේ ගොඩට වැටී තිබේ.

අස්වැසුම සඳහා අභියාචනා ඉල්ලුම්පත් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඉන් ලක්ෂ 07ක පමණ සංගණන කටයුතු මේ වනවිට අවසන් වී ඇති බැව් සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි.

අස්වැසුම සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මීට පෙර පැවති අඩුපාඩු සකස් කර, ලබන මස ජූලි වන විට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවන බව සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


(07) බුදුන් වැඳීමට ගිය 42ක් මත්ද්‍රව්‍යද අරගෙන ගිහින්!

දින හතක කාලයක් තුළදී විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනා කිරීමට පැමිණි පුද්ගලයන් 42ක් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදීප් වීරසේකර මහතා පවසන ලද්දේ, හැටන්, ගිනිගත්හේන, පොල්පිටිය, නල්ලතන්නිය, මස්කෙළිය ඇතුළු හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථාන මගින් ශ්‍රීපාදයේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂා කිරීමේදී, විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනා කිරීමට පැමිණි 42ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් වැඩිම පිරිසක් තරුණ පිරිස බවත්, මෙසේ අත්අඩංගුවට ගන්නා ලද සියළුම දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද ප්‍රදීප් වීරසේකර මහතා වැඩිදුරටත් පවසන ලදී.


(08) දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගනී!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා, හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනාගන්නා ලදී.

සැකකරු මෙලෙස හඳුනාගන්නා ලද්දේ, සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ පැවති අවස්ථාවේදීය.

මෙම හඳුනාගැනීමේ පෙරෙට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීම විශේෂත්වයකි. මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙනී සිටීම සඳහා, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මහත්ම මහත්මීහු කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ.

සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීමෙන් අනතුරුව, යළි විවෘත අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ, මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පොලිසිය කළ එම ඉල්ලීම පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ, සැකකරු තවදුරටත් අප්‍රේල් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අමතමින්, සැකකාර හිටපු යුද හමුදා සෙබල නිලන්ත මදුරංග රත්නායක පවසා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි.

සැකකරුගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව, සැකකරුගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

ඒ අනුව, සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කොට, අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නැමැති හිටපු යුද හමුදා සෙබලෙකු මෙන්ම චීවරධාරියකි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළාගේ නිවසේ පාත්තරයක් මත තිබී, ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණු අතර, එම ජීව අත්බෝම්බය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පුපුරවා විනාශ කර හැරිණි.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර, අගතියට පත් පැමිණිලිකාර වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන තිනෙත් කොරසගල්ල, කූජන බානගොඩ, රොශාන් විජයගාමිණි සහ සුභාෂිණි වීරක්කොඩි යන නීතිඥ මහත්ම මහත්මීහු සමග, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.


(09) සුද්දෝ රථ දෙකක් ගැටී මහ අනතුරක් යටියන්තොට

දේශීය සංචාරකයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථ දෙකක් මූනට මූනලා ගැටීමෙන් එක් මෝටර් රථයක ගමන්ගත් කුඩා ළමයෙකු බරපතල ලෙස තුවාල ලබා කරවනැල්ල මූලික රෝහල්වෙත ඇතුළත් කර ඇත.

29 දින පස්වරුවේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට හම්බෙල්ලාවේදී මෙම අනතුර සිදුවිය.

නුවරඑලියේ සංචාරයෙන් පසු ආපසු ධාවනය වූ රියදුරා නින්දෙන් පසුවීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව යටියන්තොට පොලිසිය පැවසීය.

අනතුරින් මෝටර් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුව ඇත.


(10) මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවට පැමිණි 31 දෙනෙකු අත්අඩංගුවට

හැටන් පොලිසිය විසින් සති අන්ත දීර්ඝ නිවාඩුව අවස්ථාවට අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවට පැමිණි පුද්ගලයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද්දේ හැටන්, ගිනිගත්හේන, පොල්පිටිය, නල්ලතන්නිය, මස්කෙළිය යන පොලිස් ස්ථාන වලින් සිදුකරන ලද පරීක්ෂණ මෙහෙයුම් අතරතුරදීය.

අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනාම කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සිට 45 දක්වා පුද්ගලයන් වේ.

මෙම සැකකරුවන් ඇප මත මුදාහැර ඇත.


(11) ඉන්දිය අගමැති 04 දින ලංකාවට එයි

ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 04 වන දින ශ්‍රී ලංකාවට නිල සංචාරයක් අරඹනු ඇත.

මෙම සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව සිදුවනු ඇත.

සංචාරය අතරතුර දෙරට අතර ආර්ථික, ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමද මෙම සංචාරයේදී සිදුවනු ඇත.


(12) බක්මහ ක්‍රීඩාවලට ඔසු වට්ටෝරුවක් නිකුත් කරති

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බක්මහ උත්සව සමයේදී පැවැත්වෙන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු වැළැක්වීම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ යටතේ ගම හරහා දිවීම, මැරතන් තරග වැනි දිගු කාලීන ඉසව් සඳහා සහභාගී වන්නන්ට සති 06ක පුහුණුව අනිවාර්ය කර ඇත.

කොට්ට පොර, ග්රීස් ගස් නැගීම, දෙහි ගෙඩි රේස් වැනි තරග සඳහා විශේෂිත ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුය.

රෝගී සහභාගීවන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවද මාර්ගෝපදේශවල සඳහන් වේ.


(13) හොර ධානපතියෝ රට පුරා විහාර කොල්ලක්

පෑලියගොඩ පොලිසිය විසින් විහාරස්ථාන වලින් මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ල කා ඇති සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව “දානපති යුවළක්” ලෙස වෙහෙර විහාර අළුත්වැඩියා කිරීමට ආධාර කරන බව පවසා විවිධ ආගමික ස්ථාන වලින් මුදල් උපයා ගත් බව පොලිසිය පැවසීය.

සැකකාරිය හලාවත මුගුණුවටවන පදිංචි සන්ධ්‍යා කුමාරි නම් 42 හැවිරිදි කාන්තාවකි.

ඇය අප්‍රේල් 02 වන දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.


(14) දුම්රිය ටිකට් ජාවාරම්කරුවකු මහනුවරින් අල්ලයි

මහනුවර දුම්රිය ස්ථාන ආරක්ෂක අංශය විසින් කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ විද්‍යුත් ප්‍රවේශ පත් නීතිවිරෝධීව විකිණීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මාස 05 ක් තුළ 92 වතාවක් ඔහුගේ හැඳුනුම්පත භාවිතා කර ටිකට් ලබාගෙන ඇත.

රුපියල් 1,200 කට රජය විසින් විකිණෙන ටිකට් රුපියල් 13,000 කට විකිණීමේ ජාවාරමේ යෙදී ඇති බව පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලිසිය වෙත භාර දීමට නියමිතය.


(15) පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩුකිරීමට විරෝධය

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සඳහා වන දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමට එරෙහිව පාර්ලිමේන්තු සේවකයින් විරෝධතා පළ කර ඇත.

පාර්ලිමේන්තු සේවකයින් පවසන්නේ වැටුප් විෂමතා නිරාකරණය වන තෙක් මෙම දීමනා අඩු නොකළ යුතු බවයි.

මාර්තු 25 වන දින භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයකින් මෙම දීමනා අඩුකිරීම සිදුකර ඇත.

පාර්ලිමේන්තු සේවකයින් ඉදිරියේදී වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව දන්වා සිටියි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න