ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් තමන් ඉවත්වන බවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා  (27) උදෑසන විවෘත අධිකරණයේ සදහන් කළේය.

ඒ අනුව පෙරවරුවේ එම නඩුවෙන් විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉවත් වීමෙන් අනතුරුව නඩුව යොමු කරණු ලැබු සුජීව නිශ්ශංක මහතා ද දහවල් නඩුව කැඳවූ අවස්ථාවේ දි එම නඩුවෙන් තමන් ඉවත් වන බව දැනුම් දුන්නේය.

අනතුරුව නඩුව ලබන මැයි මස 21 වන දින කොළඹ ප්‍රධාන විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පසුගිය පෙබරවාරි මස 18 වන දින මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අධිචෝදනා බාර දුන් අතර එහිදී  විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් මිලියන දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කරමින් මෙම නඩුව ඊයේ දින දක්වා කල් තැබීය.

පසුගිය පෙබරවාරි මස 21 වන දින නඩුව විභාග කරන විනිසුරුවරයා පිළිබඳ සාමාජ මාධ්‍ය ඔස්සේ පෝද්දල ජයන්ත හා සනත් බාලසූරිය යන අය පළ කිරීම් දෙකක් සිදු කර ඇති බවට අධිකරණ රෙජිස්ටර්වරයා පෙබරවාරි මස 25 වන දින අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදු වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙජිස්ටර්වරයා මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කිරීමට විනිසුරුවරයා රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

අනතුරුව එම කරුණු සලකා බලමින් විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ උදෑසන එම නඩුවෙන් ඉවත් වීමට පියවර ගත්තේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යයි රුපියල් මිලියන 70 ක මුදලක් ක්‍රිෂ් නැමැති සමාගමෙන් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන අයට  එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න