කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 03/24 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.         

මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් – 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංච් රජයේ සේවකයෝ , ව්‍යාපාරිකයෝ සහ මෑතකදී  විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .       

මොවුන් 03/24 දින රාත්‍රී 06.40 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් මෙම ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යාමට සැළසුම් කර තිබූ අතර , මොවුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබී ඇත.        

මොවුන් අතරින් පළමු වැන්නා ගුවන් යානා නිශ්කාශන කටයුතු සදහා ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබද ඇති වූ සැකය මත , ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසු මෙම සියලුම දෙනා  අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .              

එසේම ඒ වනවිටත් මොවුන් ගුවන් තොටුපොළ වෙත ඇරළවීම සදහා පැමිණ , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි තැරැව්කරු ද , අත් අඩංගුවට ගත් පිරිසගෙන් ලද තොරතුරු මත , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .         

මෙසේ අත් අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවෙකු මෙරට අභ්‍යන්තරයේ සිට් මොවුන්ට මෙම පළා යාම සදහා අවශ්‍ය කූඨ ලේඛන සියල්ල සකස් කර දී තිබූ අතර මීට අමතරව කැනඩාවේ ද මොවුන්ට පහසුකම් සැළසීමට තවත් තැරැව්කරුවෙකු සිටින බවත් , මොවුන් මෙම ගමන සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 45 බැගින් , මෙම තැරැව්කරුවන් වෙත ගෙවා ඇති බවත් මේ පිළිබද සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.             

එසේම මොවුන් සියලු දෙනා මෙම ගමන පිටත්වීම සදහා ඉකුත් 03/17 දින සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි බවට ද කරුණු අනාවරණය වී තිබේ.         

මෙසේ අත් අඩංගුවට ගත් පිරිස මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න