නාය යෑම් හේතුවෙන් උන් හිටි තැන් අහිමි වී වසර දෙකක් පුරා පූනාගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ ජීවත් වූ පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (16) දින හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූනාගල කබරගල කොටසේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ඌව පළාත් ආණ්ඩුකාරතුමා, යුද හමුදාපති යන පිරිසේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මීට වසර දෙකකට පෙර හල්දුමුල්ල නාය බැද්ද නාය යෑම හේතුවෙන් විපතට පත් මෙම පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ පර්චස් දහයක ඉඩම් කොටස් සමග නව නිවාස ලබාදීම සිදුකිරීමට නියමිතයි. මෙම පර්චස් දහයක ඉඩම් කොටස සමඟ රුපියල් ලක්ෂ 28ක වියදමින් යුතුව අංගසම්පූර්ණ නිවසක් ඉදිකිරීමට නියමිත අතර නිවාස 51 ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් මූල්‍ය වියදම් දරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට නියමිතයි.

නිවාස ඉදිකිරීමට මුල්ගල් තබමින් පැමිණේ සිටි පිරිස අමතමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ මේ නිවාස ඉදිකිරීම සඳහා මුදල් තමන්ගේ හෝ වෙනත් කාගේ හෝ පෞද්ගලික මුදල් නොව මහජනතාවගේම බදු මුදල් බවත් ඒ නිසා තමා ඇතුළු කණ්ඩායමට දැමූ මල් මාලා දැමිය යුත්තේ තමන් ඇතුළු පිරිසට නොවන බවත්ය. නව ආණ්ඩු පත්වූයේ සම්ප්‍රදායික දේශපාලනයට තිත තබමි නිසා මහජන නියෝජිතයන් හැටියට මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් ඉතිහාසය තුළ මහජන නියෝජිතයන් වැඩ නොකළ බවට තමා නොකියන නමුත් ප්‍රමුඛත්වය ලබා දී කළ යුතු දේ නොකළ නිසා ඒ අතපසු වූ හැමදේම ඉදිරි කාලය තුළ සිදු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

තම රජයට හැකියාව ලැබුණු මුල් අවස්ථාවේදීම අනාථ කඳවුරු වලින් ඉවත්කොට නව නිවාස ලබාදීමට කටයුතු කරන බවත් මේ වගේම 2014 වසරේ සිට සාමස්සර නායෑම නිසා අනාථ කඳවුර වල සිටින පවුල් 22 ක් සඳහාද කඩිනමින් නිවාස ඉදිකර දෙන බවට අමාත්‍යවරයා කියා සිටියේය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. ජනතාවට එහෙම වුණාට පාලකයින්ට එහෙම උනේ නෑ. ගෙවල් ගිනි ගැහුවට පස්සේ ඒවට මාසෙන් දෙකෙන් කෝටි ගණන් වන්දි ගත්තා. දැන් මේ නිවාස ව්‍යාපෘතියක් දුන්නේ රටේ ජනතාවගේ බදු මුදල් අමාත්‍යංශයෙන් මේ නිවාස සඳහා රුපියල් ලක්ෂ 1800ක් වෙත් කළා. හැබැයි පසුගිය කාලේ මන්ත්‍රීතුමන්ලා එයාලගේ ගෙවල් වලට එක ගේකට රුපියල් ලක්ෂ 1300ක් පමණ බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥයා කපිල ජයසේකර මහතා, යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දර ලිංග ප්‍රදීප් මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුලු අතිරේක ලේකම් , ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා ද, බදුල්ල දිස්ත්‍රික් අතිරේ ලේකම්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින්, නිළධාරින් පිරිසක් ඇතුලුව නව නිවාසලාබින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුවා.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න