පසුගිය කාලසීමාවේදී දිවයින පුරා රෝගීන් රැසකගේ ඇස් අන්ධවීමට හේතු වූ prednisolone eye drop අක්ෂි දියරය ගෙන්වන ලද සමාගම මේ දක්වා අසාදු ලේඛනගත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නොමැති බව  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේදී බාලා ඖෂධ සහ වැඩිමිට ඖෂධ ගෙන්වන ලද සමාගම් අසාධු ලේඛනගත කරන ලෙසට අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය නමුත් වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් දූෂිත ය හිටපු නිලධාරීන් සහ සමාගම් ආරක්ෂා කරමින් කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.

පසුගියදා පැවති කෝප් කමිටුවේදී තමන් විසින් සඳහන් කළ මෙම කරුණු සත්‍ය බව අනාවරණය වු අතර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ හා ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලකයන් යටතේ සෞඛ්‍ය පද්ධතියේ නියාමනය සහ සැපයුම නිසි තත්ත්වයට පත් වේ යැයි පිළිගත නොහැකි බව ද ඔහු පවසීය.

එසේම මේ වන විට රට පුරා ඖෂධ එකසිය හැත්තෑවක පමණ හිඟයක් පවතින බවත් මෙම හිඟය මැඩ පැවැත්වීම දුෂ්කර තත්ත්වයක පවතින බව  වෛද්‍ය සැපයුම සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය විජය සූරිය මහතා මෙම කොප්  කමිටුවේදී අනාවරණය කළේය.

මෙම ඖෂධ අතරින් තිස් හතකට ආසන්න ප්‍රමාණයක් සඳහා සැපයුම්කරුවන් සොයා ගත නොහැකි බවත් තවත් ඖෂධ හැටක් සඳහා සිටින්නේ එක්සැපයුම්කරුවකු බැගින් බව ද ඔහු අනාවරණය කරන ලදී.

මේ වනවිට ඇතැම් ජීවිත ආරක්ෂක ඖෂධ සහ කුඩා දරුවන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම දුෂ්කර බවද ඔහු අනාවරණය කරන ලදී.

දැනට ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොවන බව ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සහ සභාපතිවරයා විසින් මෙහි දී අනාවරණය කළ අතර මේ සඳහා වියදම් කොට ඇති සම්පූර්ණ මුදල මිලියන හයකට ආසන්නය විය.

පසුගිය කාලයේදී ඖෂධ ගෙන්වීම සඳහා ව්‍යාජ ලිපි හතකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති බවත් එම ලිපි සකස් කළ ඇතැම් නිලධාරිනියන් හඳුනාගෙන ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා ඒ සම්බන්ධව කටයුතු කර නොමැති බව ද නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂ සවින් සේමගේ මහතා මේ දී සඳහන් කළේය .

ඖෂධ නියාමන අධිකාරියේ මානව සම්පත් කළමනාකරණය බිඳ වැටී ඇති බවත් ඒ සඳහා සම්බන්ධ වන නිලධාරීන් නැවත නැවත ඉල්ලා අස්වීම ගැටලුවක් බවද සභාපති වෛද්‍ය ආනන්ද විජෙවික්‍රම මහතා පෙන්වා දෙන ලදී.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මඟින් ටෙන්ඩර් ප්‍රධානයේදී සිදු කරනු ලබන අසීමිත ප්‍රමාදය ඖෂධ හිඟය ඉදිරි කාලයේදී වැඩි වර්ධනය වීමට හේතුවක් විය හැකි බව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර මේ වන විට වෛද්‍ය සැපයුම සහ නියාමනය පෙර පැවැති දුර්ලතා සහිතවම ඉදිරියට ගමන් කරන බව කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන් විසින් අවධාරණය කරන ලදී.

බාල  ඖෂධ ගෙන්නන විට ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කළ නීතිඥ මනෝජ්‍ය ගමගේ ප්‍රමුඛ කණ්ඩායම ඉදිරියි කෝප් කමිටුවට කැඳවන ලෙසද කෝප් කමිටු මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා සිටින ලදී.

විගණකාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාසය වෙත නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ රැසක් මේ දක්වා ක්‍රියාත්මක කොට නොමැති බව මෙම කෝප් කමිටුවේ අනාවරණය වූ අතර මේ සම්බන්ධව ඉදිරි කාලයේදී වහාම පියවර ගන්නා ලෙස කොප් සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න