වලව ගොවි ජනපද ව්‍යාපාරයේ 2023 යල කන්නයේ ජලය නොමැතිව වගා විනාශ වූ ගොවීන් පිරිසකට මේ දක්වා රක්ෂණ මණ්ඩලය හරහා වන්දි ලබා දී නොමැති බවට ගොවීන් චෝදනා කරනු ලබයි.

ගොවි සංවිධාන නියෝජිතයින් මෙසේ චෝදනා කරනු ලැබුයේ පසු ගිය දා වලව ව්‍යාපාර කමිටුවට සහ 2025 යල කන්න රැස්වීම ඇඹිලිපිටිය වලව මහවැලි ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවට සහභාගී වෙමින්.

මෙහිදී චන්ද්‍රිකාවැව කොට්ඨාශ සභාපති අයි කුලතුංග මහතා කියා සිටියේ 2023 වර්ෂයේ යල කන්නයේ සමනල වැව ජලාශයේ ජලය තිබියදී උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සිදු නොකිරීම හේතුවෙන් චන්ද්‍රිකාවැව, මුරවැසිහේන, අගුනකොල පැලැස්ස, සූරියවැව, මයුරපුර යන කොට්ඨාශ වල ගොවීන්ගේ වගාවන් සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ සදහා වන්දි ලබා දීමට රජය තීරණය කලා ඒ අනුව රක්ෂණ මණ්ඩලයට ගොවීන් ඉල්ලුම් පත් යොමු කලා. ඒත් ගොවීන් පිරිසකට මේ දක්වා වන්දි ලැබිලා නැහැ මීට පෙර කීපවිටක් මේ පිලිබදව කථා කලා පසුව අභියාචනා යොමු කලා ඒත් තවම වන්දි මුදල් ලැබිලා නැති පිරිසක් ඉන්නවා. මේකට හේතුව කුමක්ද? එම ගොවීන් අසරණවෙලා එසේ සිටියදී රක්ෂණය කරන්න කතා කලාම ගොවීන් එය සිදු කරයිද? රජය මාධ්‍ය තුලින් ප්‍රකාශ කරනවා සියලු දෙනාට වන්දි ගෙවා අවසන් කලා කියලා මේව පට්ටපල් බොරු මෙහෙම වෙන්න හේතුව කුමක්ද?

මෙහිදී රක්ෂණ මණ්ඩල නියෝජිනය කරමින් පැමිණ සිටි ඇඹිලිපිටිය කෘෂිරක්ෂණ මණ්ඩලයේ ප්‍රධානි කේ.ඩී. චතුරිකා අමරවීර මහත්මිය කියා සිටියේ ඒ වෙලාවේ ඇතිවූ තත්වය මත වන්දි ඉල්ලා රක්ෂණ මණ්ඩලයට ඉල්ලුම් පත් පහලොස් දහසක් පමණ ලැබුණා. අපි එයින් දහතුන් දහසකට පමණ වන්දි ලබා දී අවසන් කලා අනිත් ඉල්ලුම් පත්වල අඩුපාඩු තිබු නිසා ගෙවීම අපහසු වුණා. ඒ පිලිබදව සාකච්චාකර පසුව අභියාචනා පරීක්ෂණයකුත් සිදු කලා ඒත් මේ දක්වා ඒ අයට වන්දි ගෙවනවද කියා මා දන්නේ නැහැ යනුවෙනි.

ඇයගේ ප්‍රකාශයක් සමග ගොවි නියෝජිත මහතුන් විසින් ඇයට විරුද්ධව දැඩි ආවේගශීලි වාග් ප්‍රහාරයක් කරමින් කියා සිටියේ ඉල්ලුම් පත් වල වැරදි ඇත්නම් ඒ පිලිබදව ගොවීන් දැනුවත් කල යුතුව තිබුණා. එසේ නොකර එම ඉල්ලුම් පත් ප්‍රතික්ශේප කිරීම බරපතල වරදක් අපේ කුඹුරු වියලී ගිය බව මහවැලි අධිකාරියේ නිලධාරීන් සත්‍ය බවට තහවුරු කර තිබියදී අපට වන්දි නොගෙව්වේ ඇයි? අභියාචනා පරීක්ෂණයක් තිබ්බේ මොකටද? ඒ වැරදි හදන්න නෙවේද? මේ පිලිබදව දැනට සිටින නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති හරියටම දන්නවා. දැන්වත් මේ පිලිබදව ඔහුගේ අවදානය යොමු කර අපිට සාධාරණයක් ඉටු කර දෙන්න.ගොවීන්ගේ වාග් ප්‍රහාරය සමතයකට පත් කිරීමට ව්‍යාපාර කමිටු සභාපති වලව නේවාසික ව්‍යාපාර කලමණාකාර ඊ.කේ.ඩී. තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය නේවාසික කලමනාකාර (කෘෂිකර්ම) වේනකා ක්‍රිෂාන්ති මහත්මිය මැදිහතත් විය. පසුව කෘෂි රක්ෂණ මණ්ඩලයේ නියෝජිත තුමිය දෙනෙතේ කදුළු පුරවාගෙන කියා සිටියේ මමත් කැමතියි ගොවීන්ට එම වන්දිය ලබා දීමට එහෙත් ඉහල නිලධාරීන්ගේ සහ රජයේ තීරණ පරිදි මා වැඩ කල යුතුයි. මට හැකි උපරිමයෙන් මා වැඩ කර තිනෙවා. ගොවි මහතුන්ද මේ තත්වය තේරුම් ගනීවි කියා මා සිතනවා. කිසිම ගොවි මහතෙකු අපහසුතාවයට ලක් කිරීමට මා කැමති නැහැ යනුවෙනි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න