තාත්තාගෙන් කප්පන් ගන්න වාහනයයි පුතයි දෙන්නම කැමැත්තෙන්ම උස්සගෙන යන්න කැමැති කැමැති වෙලා…. මාරු මාර පත්තරයාගේ කතාව !
පියාගේ ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් ලොරි රථයත් සමග තමා පැහැර ගෙන ගොස් නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් අවශ්‍ය බව දන්වා ඔහුගේ ජංගම දුරකතනයෙන් මවුපියන්ට දැනුම් දීමේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකාර පුතා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් රුසන්කා සමරනායක මහත්මිය නියම කළාය.
මාකොළ – දකුණ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමග නාතුඩුව හා කොට්ටාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. .
මෙහිදී සපුගස්කන්ද පොලිසියේ අපරාධ මර්දන විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් බණ්ඩාර මහතා ( 85855 ) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කෙළේය.
ඉකුත් 04 වැනිදා සැකකාර පුතා වසින් පියාට අයිති ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් තිබෙනවා. පසුව සැකකාර පුතා විසින්ම ලොරි රථය හා තමා පැහැර ගෙන ගිය බවට සදහන් කරමින් නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ 20 ක කප්පමක් අවශ්‍ය බවට දන්වා ඔහුගේම ජංගම දුරකතනයෙන් මවුපියන්ට දැනුම් දී තිබෙනවා.
එම සැකකාර පුතා විසින් ලොරි රථය රැගෙන යනවිට ලොරි රථයේ ලියා පදිංචි පොත හා පියාගේ ජාතික හැදුනුම්පත ද රැගෙන ගොස් තිබෙනවා.
මේ සිද්ධිය පිළිබඳව සැකකාර පුතාගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ අනුව පොලිසිය විසින් අවට සී.සී.ටී.වී කැමරා වල රූපරාමු නිරීක්ෂණය කොට එම ලොරි රථය මාකොළ – දකුණ ප්‍රදේශයේ වාහන මිලදී ගන්නා හා අලෙවි කරන පුද්ගලික ආයතනයක තිබි සොයා ගත්තා. එහිදී එම ආයතනයේ හිමිකරු පැවසුවේ සැකකාර පුතා, ඔහුගේ පියා බව කියන අයෙකු සමග පැමිණ ලොරි රථය ලියා පදිංචි පොත සමග උකස් කර රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා ගත් බවයි.
එම මුදල සැකකාර පුතා විසින් අන්තර් ජාලය ඔස්සේ මුදල් ඉපයිමේ ගිණුමකට බැර කර තිබෙන බවට සැකකාර පුතා කීවා . තවද මේ සිද්ධියේදී ඔවුන්ට රැකවරණය ලබා දුන් පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගත්තා.
ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කරන ලදී.
අගතියට පත් වාහන අලෙවි ආයතනය වෙනුවෙන් නීනීඥ ශෙහාන් ද සිල්වා මහතා ද සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන සුදර්ශන වික්‍රමරත්න හා ප්‍රසන්න විමලරත්න යන මහත්වරුන් ද පෙනී සිටියහ.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සජිත් මනෝහර රූපසිංහ මහතාගේ උපදෙස් අනුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.