වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ මූලික පියවරක් වශයෙන් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් පත්කරන ලදී.

එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදි වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඞුලේනා යන සත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා විය.

ඒ අනුව එළඹෙන මාර්තු මස 15වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම සංගණනය පැවැත්වීමට නියමිතය. ඊට අදාළ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතී. එළඹෙන 15 වෙනිදා පැවැත්වෙන සත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ වනවිට ස්ථාපිත කර ඇත. සත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමට අද (11) දින සිට 15 දින දක්වා මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙමින් පවතී. යම් ගැටළුවක් වෙතොත් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011- 2034336 අමතා විමසීමක් කළ හැකිය.

වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න