සේවා දායකත්වයේ දී ඇතිවන ගැටළු වළක්වා ගනිමින් සේවාවන් විධිමත්ව පවත්වාගැනීම සඳහා ගිණි නිවීමේ සේවා සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා අවධාරණය කළේ ය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිවයිනේ සියළු ගිණි නිවීම් ඒකකවල ප්‍රධාන නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී යි.
එළැඹෙන බක් මාසයේ දී පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ගිණි නිවීම් සේවා අංශවලින් සිදුවිය යුතු කාර්යය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් පවතින ගැටළු අවම කරගනිමින් වෙනත් උත්සව අවස්ථාවල දී සැපයූ සේවයට වඩා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට කටයුතු කිරීම වගකීමක්ව පවතින බවයි. පවතින මානව සම්පත් සහ තාක්ෂණික හිඟය හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් සැපයීම විශාල අභියෝගයක්ව ඇතැයි මහනුවර ගිණි නිවීම් සේවා ඒකකයේ නිලධාරිහු සඳහන් කළෝය.
ඊට කරුණු දක්වමින් අනෙකුත් දිසා ගිණි නිවීම් ඒකක නිලධාරින් ද පෙන්වා දුන්නේ මානව සම්පත් හිඟය, තාක්ෂණික ගැටළු සහ ජල සැපයුමේ දී ඇතිවන ගැටළු හේතුවෙන් සිය සේවාවන් සිදුකරන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ බවයි. 2018 වර්ෂයෙන් පසු සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කර නොතිබීම, සේවාවේ ගැටළු පැන නැගීමට හේතු වී ඇති බව මෙම සාකච්ඡාවේ දී හදුනාගන්න ලදී. එමෙන් ම නිලධාරින්ට විධිමත් තාක්ෂණික පුහුණුවක් ලබා දීම, සේවා උසස්වීම්හි ගැටළු පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි නිලධාරීන් පෙන්වාදුන්නේ.
මෙරට සියළු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඒ ඒ පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති ගිණි නිවීම් ඒකක සංඛ්‍යාව 37ක්. අම්පාර පොතුවිල් ප්‍රදේශයේ ගිණි නිවීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික සැලැස්ම සකස් කිරීමට ඉතා කඩිනමින් ගිණි නිවීම් සේවා නිලධාරීන් සතු අදහස් සහ යෝජනා රජයට ඉදිරිපත් කළ යුතුව පවතින බවයි.
විශය භාර අමාත්‍යවරයෙකුගේ අදහසකට අනුව අදාල විශයභාර අමාත්‍යවරයාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් සහ අමාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ගිණි නිවීම් සේවා නිලධාරීන් සමඟ මෑත ඉතිහාසයේ දී සිදු කළ එක ම සාකච්ඡාව මෙය වන බවයි. ඒ වෙනුවෙන් අදහස ගෙන එමින් ක්‍රියාත්මක කළ නියෝජ්‍ය අමාත්‍යතුමන්ටත් එමෙන් ම අමත්‍යාංශ නිලධාරින්ට සිය ස්තුතිය පළකරන බව ද ඔවුහු සඳහන් කළහ.
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, පළාත් සභා සහ පළාත් පාලන අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලිආරච්චි මෙය, පළාත් පාලන සහකාර ලේකම් යසන්ති අබේවික්‍රම මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් සහභාගී වී සිටියහ.




