සෙලෙන්ස්කි ධවල මන්දීරයේ ට්‍රම්ප් ඉදිරියේ පීචං වෙන හැටි බලා ගෙන හිටිය මට හිතුණේ එදා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ යුද්ධ කරන වෙලාවේ ඔහුට පැමිණි ජාත්‍යන්තර බලපෑම ගැනයි. එදා මුළු බටහිරම හිටියේ මහින්දට එරෙහිව. නමුත් මහින්දට පුළුවන් වුණා ඒ දැවැන්ත ප්‍රතිරෝධී බලය සාර්ථකව පාලනය කරන්න. ඇත්තටම මහින්ද යුද්ධ දෙකක් කළා. එකක් ත්‍රස්තවාදී කොටි සංවිධානය සමග. අනෙක බටහිර රටවල නායකයන් සමග. මේ දෙවැනි යුද්ධය ගැන අපි කථා කරනවා මදි. ලෝකයක් ඉදිරියේ සෙලෙන්ස්කිට වෙච්ච දෙයින් අපට හිතා ගන්න පුළුවන් මහින්දට එදා මොන තරම් පීඩනයක් එන්න ඇතිද කියා.
පළමු දේ තමයි මහින්ද කවදාවත් තමාව සෙලෙන්ස්කිගේ තැනට දාගත්තේ නැහැ. මහින්දට ලෝක නායකයන් ගරු කළා. මම හිතනවා මහින්දට ඒ නායකයන් ටිකක් බයත් වුණා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මහින්දගේ පෞරුෂය. සුද්දෝ එක්ක හරි හරියට ගැටෙන්න නම් උසමහත දේහයක් වගේම නායකත්වය පෙන්වන මුහුණක් තිබිය යුතුයි. සුද්දො නෙවෙයි, කාගෙ වුණත් ගෞරවය ලැබෙන්නේ එතකොටයි. සෙලෙන්ස්කිට එහෙම කිසිවක් නැහැ. මිනිහට කිසිම පෞරුෂයක් නැහැ. මුහුණ බැලුවම මෝඩ පාටයි.
මම කවදාවත් දැකලා නැහැ මහින්ද අත් දෙක බැඳ ගෙන ඉන්නවා. ඇමරිකාවේ උප ජනාධිපති සෙලෙන්ස්කිට දොස් කියන කොටම සෙලෙන්ස්කි දන්නෙම නැතුව පපුව ඉස්සරහින් අත්දෙක බැඳ ගන්නවා. එයින්ම පේනවා මිනිහා ඉතාම දුර්වලයි කියලා. මහින්ද කවදාවත් දුර්වලකමක් පෙන්වූ නායකයෙක් නෙවෙයි. ලෝක නායකයන් සමග හරිහරියට ගනුදෙනු කරන්න හැමෝටම බැහැ. අනුන්ගේ පහනෙන් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ජනාධිපති කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.
සෙලෙන්ස්කි අඩුම ගානේ කට වහගෙන හිටියා නම් හරි. මිනිහට තියෙන්නේ හීනි කටහඬක්. ට්‍රම්ප්ට තියෙන්නේ ගොරෝසු කටහඬක්. ට්‍රම්ප්ගේ වයසේම වන මහින්දට තියෙන්නෙත් ගොරෝසු කටහඬක්. නායකයෙක් වෙන්න නම් අනෙක් හඬ යටත් කරන කටහඬක් තිබිය යුතුයි. සෙලෙන්ස්කි මෝඩයෙක් වගේ කිචිබිචි ගාන කොට ට්‍රම්ප් ඊට උඩින් ගර්ජනා කරනවා. සෙලෙන්ස්කිව ඇහෙන්නේ නැතුව යනවා. කවුරු මොනවා කීවත් පුද්ගල-පුද්ගල සම්බන්ධතාවලදී අවසානයේ වැදගත් වෙන්නේ මෙවැනි ප්‍රාථමික මානව චර්යා. කතා කළ යුතු වේලාව මොකක්ද, කතා නොකළ යුතු වේලාව මොකක්ද කියලා මහින්ද දන්නවා. ඒ වගේම මහින්ද ඉතාම හොඳ සවන් දෙන්නෙක්. ඔළුව වන වන අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න කොට පේනවා ඔහු ඔළුව ඇතුළේ දාහක් දේ කල්පනා කරනවා. කිරනවා. මනිනවා. අවස්ථාව ආව ගමන් ප්‍රතිප්‍රහාරය දෙනවා. එක වචනයයි.
ට්‍රම්ප් කළේ සෙලෙන්ස්කිව ගෙන්නලා වයින් කරලා මිනිහගේ කටින්ම වැරදි කථාවක් එළියට අරගෙන ඒකම පාවිච්චි කරලා සෙලෙන්ස්කිව නැතිම කරලා දැමීමයි. ඒ උගුලට සෙලෙන්ස්කි අහු වුණා. ඒකට හේතුව සෙලෙන්ස්කි සැබෑ නායකයෙක් නොවීම. ඔහු රූකඩයක්. ඔහු ප්‍රතිරූපකයක්. බොරු කයිවාරුකාරයෙක්. බයිඩන්ලා කළෙත් යුක්රේනය යුද්ධයකට පටලවලා එහි සම්පත් ටික මංකොල්ල කෑම. ට්‍රම්ප් හදන්නේ අහිංසක මිනිස්සු නොමරා ඒ වැඩේම කරගන්න. කිසිම රටක් තවත් රටකට විශේෂ ආදරයක් දක්වන්නේ නැහැ. සෙලෙන්ස්කි බයිඩන්ගේ ලණුව කාලා තමන්ගේ රාජ්‍යය විනාශ කළා. දැන් යුද්ධය අවසන් කරගන්න බැරුව අඬනවා.
අපේ රටේ යුද්ධය අවසන් කරන්න ඔන්න මෙන්න තියලා බටහිර ඒජන්තයන් ලංකාවට කඩා ගෙන ආව වෙලාවේ මහින්ද ඔවුන්ව පාලනය කළ විදිහ මම එතන හිටිය අයගෙන් අහලා තියෙනවා. ඒක මරු වැඩක්. ඒවට කවුරුවත් මහින්දට උපදෙස් දීලා නැහැ. දශක ගණනාවක පළපුරුද්දෙන් සහ ජන්ම හැකියාවෙන් මහින්දම ගත් තීරණ. සෙලෙන්ස්කි කියන්නේ අමු මෝඩයෙක්. ට්‍රම්ප්ගේ ගෙදරට ගිහිල්ලා ට්‍රම්ප්ට සද්දේ දාන්න ගිහිල්ලා ලෝකයක් ඉදිරියේ විහිළුවක් වුණා. රාජ්‍ය තන්ත්‍රය ගැන මූලික දැනුමක්වත් නැති මිනිහෙක් රටක ජනාධිපති වුණාම වෙන්නේ ඕකයි.
මම මහින්දට ගරු කරන්නේ මෙවැනි කාරණා නිසයි. මම මහින්දව දකින්නේ අපි MBA වලට උගන්වන නායකත්ව (Leadership) සහ උපායමාර්ගික (Strategic) සංකල්ප ඇසුරෙන්. ඒවා එහෙම විද්‍යාත්මකව තේරුම් ගන්න තරම් උගත්කමක් ලංකාවේ බොහෝ අයට නැහැ. නායකත්වය අධ්‍යයනය කරන මිනිස්සු දන්නවා නායකත්වය කියන්නේ මොන තරම් දුර්ලභ දෙයක්ද කියා. ඒ වගේම ඒ නායකත්ව ලක්ෂණ ප්‍රගුණ කරන්න මොන තරම් අපහසුද කියා. ඒවා නොදන්නා නූගත් මෝඩයන් තමයි මහින්දට විහිළු කරන්නේ. නිවැරදි උසස් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් අනිවාර්යෙන් මහින්දගේ නායකත්වයේ වටිනාකම අගය කරනවා. මහින්ද වගේ විශිෂ්ට නායකයෙක් මගේ ජීවිත කාලය තුළ නැවත බිහි වෙයි කියා හිතන්න අපහසුයි. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 මාර්තු 1