දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා තේරී පත් විය.

ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම 2025.02.28 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී ‍ඒ මහතා මෙලෙස සභාපතිධුරය සඳහා තේරී පත්විය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය.

මේ අතර ශ්‍රී ලංකා – කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා තේරී පත් විය.

රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කියුබාව සහ ශ්‍රී ලංකාව අතර 1959 වසරේ සිට පවත්වාගෙන එනු ලබන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවය සිහිපත් කළේය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. එසේම දෙපාර්ශවයටම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මහතා මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. පසුගිය දශක කිහිපය තුළ කියුබාව වෙත පළ කළ මිත්‍රත්වය සහ සහයෝගය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කළේය.

සංගමයේ නායකත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, විශේෂයෙන් සෞඛ්‍ය හා තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රවල කියුබාව දක්වා ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල කියුබාව සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කළ සභාපතිවරයා ශ්‍රී ලංකා-කියුබා සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය.

රැස්වීමේ ස්තූති කතාව පවත්වමින් සංගමයේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.පී. අබේවික්‍රම මහතා, මෙම සංගමය තුළින් කියුබාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක සිට පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළේය.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න