ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී විය.
මෙහිදී පාකිස්තාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් මහතා, පාකිස්තානයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කථානායකවරයාට පාකිස්තාන ජාතික සභාවේ කථානායකවරයා විසින් සිදු කරන ලද ආරාධනය ඉදිරිපත් කළේය. එමෙනම් එහිදී අදහස් දැක්වූ ඒ මහතා අවධාරණය කළේ විශේෂයෙන්ම වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම ඉතා වැදගත් වන බවයි. එමෙන්ම ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම (FTA) ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මට්ටම් වලදී පාකිස්තානය විිසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ගරු කථානායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය. එමෙන්ම පාකිස්තානයේ ලාහෝර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුවට සහභාගී වීම සඳහා ලාහෝර් වෙත කළ සංචාරය සිහිපත් කළ කථානායකවරයා සංචාරය අතරතුර පාකිස්තාන රජය දැක්වූ ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාව පළ කළේය. තවද, බුදුරජාණන් වහන්සේගේ ධාතූත් වහන්සේලා ආරක්ෂා කිරීම ඇතුළු පාකිස්තානයේ පවතින බෞද්ධ උරුමයන් සුරැකීම සඳහා එරට රජයේ දායකත්වයද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකා- පාකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම සහ අවබෝධතා ගිවිසුම් හරහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.









