ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කථාව තුළ වූ මුදලත් අයවැය යෝජනා සඳහා වෙන් වන්නාවූ මුදලත් ඵලදායී ලෙස භාවිතා කිරීමට තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්, ප්‍රමුඛතා ලේඛනය මත පදනම්ව ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් සිදු කර ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා පැවසීය. අදාළ මුදල් වර්ෂය තුළ මෙම ප්‍රතිපාදන උපරිම ඵලදායිතාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා වන නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2025.02.27 දින පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදීය.
නගර සංවර්ධන සැලසුම් නියමිත කාල රාමුව තුළ අවසන් කිරීමත්, මහජනතාවට ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති ප්‍රමුඛතාවය අනුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ. නාගරික සංවර්ධන අධිකාරිය, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී යටිතල පහසුකම් සපයන අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල අදහස්, යෝජනා ලබා ගතයුතු බවත් ඒ අනුව සකස්වන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එම වගකීම් දරන ඊට අදාළ සියලුම රාජ්‍ය ආයතන, අනුමත වන සංවර්ධන සැලැස්මට අනුකූලව ක්‍රියා කලයුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පසුගිය කාලය තුළ එවැනි සම්බන්ධීකරණයක් සිදුවී නොමැතිබව නිරීක්‍ෂණය වී තිබෙන බවත්, එය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට හා අකාර්යක්‍ෂමතාවන්ට බලපාන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ද ක්‍රමවේදයක් හදුන්වා දීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා සහ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කළ අතර, ඒවා සැලකිල්ලට ගන්නා ලෙසද සභාපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
මෙම රැස්වීමට ගරු නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල ප්‍රධානීන් හා නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.















