• ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී විදේශ වෙළඳපොළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරයි
• අපනයනය සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමට ඩිජිටල් තාක්ෂණය යොදැගැනීමේ අවශ්‍යතාවය කාරක සභාව පෙන්වා දෙයි.
දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA) ප්‍රයෝජනයට ගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කිරීමේ හැකියාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ සාකච්ඡා වූයේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මූලික වශයෙන් දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු මෙවැනි ගිවිසුම් හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන අපනයනය දිරිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ අපනයනයට සම්බන්ධවන සියලු ව්‍යාපාරිකයින් අපනයන සංවර්ධන මණ්ඩලයට පැමිණෙන බවත් එහිදී මේ වන විටත් අවශ්‍ය දැනුවත්කිරීම් සිදු කරන බවත්ය. නමුත් ඉන් ඔබ්බට දැනුවත් කිරීමක් කළ යුතු නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගැනීම කළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ මේ පිළිබඳ දැනුවත් කිරීම ව්‍යාපාරයක් ලියාපදිංචි කරන අවස්ථාවේදීම සිදු කළ යුතු බවයි. ඒ සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් අතර මේ වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ අවශ්‍යතාවයද හෙතෙම අවධාරණය කළේය.
අපනයනය දිරිමත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලඟා කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම් ඉතා වැදගත් වන බවද කාරක සභාව විසින් මෙහිදී නිලධාරීන්ට පෙන්වා දෙන ලදි. එසේම මන්ත්‍රීවරුන් විසින් මේ පිළිබඳ ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීමට කටුයුතු කරන ලෙසද මෙහිදී කරක සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න සහ (මහාචාර්ය) රුවන් රණසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්කම් ඉල්යාස්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, විජේසිරි බස්නායක, සුනිල් බියන්විල, රුවන් මාපලගම, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සම්බන්ධ වූහ.








