පකිස්තානයේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් අද (18) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. ඖෂධ, ආහාර සහ තොරතුරු තාක්ෂණ අංශවල ප්‍රමුඛ ව්‍යාපාරිකයින් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විත වූ අතර, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.
ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජාතික ඒකාබද්ධතා ගරු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ ලාහෝර් හි ශ්‍රී ලංකා කොන්සල් යසින් ජෝයියා යන මහත්ම මහත්මීහූ මෙම හමුවට සහභාගී වූහ.
මෙරට ඉදිරි සාර්ථකත්වය සඳහා සහයෝගය පළ කරමින් නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට සහ ශ්‍රී ලංකා රජයට සිය සුබ පැතුම් පිරිනැමූහ. ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පවතින දිගුකාලීන වෙළඳ සබඳතා සිහිපත් කළ ඔවුහු අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු සඳහා ස්ථාවර සහ හිතකර පරිසරයක් ඇති බවයි. විශේෂයෙන් වෙළඳ හා සංචාරක අංශවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කථානායකවරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපාරික දූත පිරිසට ආරාධනා කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුව සඳහා පසුගියදා පකිස්තානයේ සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකා දූත පිරිසට ලැබුණු ආගන්තුක සත්කාරය පිළිබඳව ද කථානායකවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය.

















