පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද පස්වරු 2.00 සිට සවස 7.00 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 187 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්දය භාවිත නොවිණි. කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව පැවති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158 ක් හිමි විය. විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණි. මේ අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර සහ තෙවැනිවර කියවීමේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය.