• සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක්..
• උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් – කාරක සභා සභාපති
ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.
එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද එක්ව සිටියේය.
ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, සතොස වෙළඳසැල් ජාලය ඉදිරියේදී පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව එම වෙළඳසැල් ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට හැකි බව පැවසුවේය. ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් සතොස වෙළඳසැල් ජාලය හරහා මාළු අලෙවි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට බලාපොත්තු වන බව පැවසුහ. ඒ අනුව පරිභෝගිකයාට වඩාත් පහසුවෙන් පිසීමට හැකිවන පරිදි අදාළ මාළු වර්ග ඇසුරුම් කර ලබාදීමට ද සැලසුම් කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.
මෙම රැස්වීමේදී දිවයිනපුරා ධීවර කර්මාන්තය ආශ්‍රිතව පවතින විවිධ ගැටලු පිළිබඳව ගරු මන්ත්‍රීවරයන් විසින් අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. තහනම් දැල් හා ඩයිනමයිට් භාවිතයෙන් මසුන් ඇල්ලීම ,මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පවතින ගැටලු,මෙරට වරායන් සම්බන්ධව පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස කාරක සභාව තුළ සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාතේ පවතින වරායවල් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැඩි අවධානයක් යොමුකරමින් අවශ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
මේ අතර 2021 වර්ෂය සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ද කාරක සභාව තුළ සලකා බලා අනුමත කරන ලදී.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන් , ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් , කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරයන්, ධීවර,ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.











