දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සම සභාපතිවරුන් ලෙස ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරු තේරී පත් වූහ.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය. එසේම ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් මහතා ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්ධුරයට තේරී පත් විය.
රැස්ව සිටි පිරිස අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ, දසවැනි පාර්ලිමේන්තුව සඳහා මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 78 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇති බවත් ඒ මහතා සිහිපත් කළේය. එසේම දෙරට අතර පවතින සංවර්ධන සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද කථානායකවරයා සඳහන් කළේය. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අතරතුර ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් සහයෝගය පිළබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා, මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමාට ස්තූතිය පළ කළ අතර, අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන මිත්‍රත්වය අවධාරණය කළ ඔහු, දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාවය වර්ධනය සඳහා නව අවස්ථා පවතින බව පෙන්වා දුන්නේය.
එසේම අභිනවයෙන් තේරී පත් වූ සංගමයේ සම-සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, තමාට ලබා දුන් ධුරය පිළිබඳව කෘතඥතාව පළ කළ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කැපවන බව අවධාරණය කළේය. එසේම මේ සඳහා මහ කොමසාරිස්වරයාගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව ද මරික්කාර් මහතා පැවසීය.
මෙහිදී අදහස් පළ කළ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මේ හරහා ව්‍යවස්ථාදායක, ආර්ථික සහ වානිජ වැනි විවිධ අංශවලින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය සඳහා අවස්ථාව හිමිවන බව ප්‍රකාශ කළේය.













