එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක, මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ  (Marc-André Franche) මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී  ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි  රෝහණදීර මහත්මියද   එක්ව සිටියාය.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා පෙන්වා දුන්නේ අල්ලස සහ වංචාව අවම කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු වී ඇති බවයි. මේ අනුව ෆ්‍රැන්චේ මහතා පෙන්වා දුන්නේ රටේ පරිපාලන අංශය සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීම මගින් අල්ලස, දූෂණය සහ වංචාව අවම කළ හැකි බවයි. එසේම කාර්යක්ෂමතාවය වැඩි කිරීමටද ඩිජිටල්කරණය හේතු වන බවයි. තවද වාර්ගික හා ආගමික බෙදීම්වලින් තොරව ජාතික සමගිය සහ සංහිඳියාව පෝෂණය කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්තිය ද මෙහිදී ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක්විය.

එසේම විවිධ සංවර්ධන වැඩසටහන් හරහා මෙරටට සහය දැක්වීම සම්බන්ධයෙකන් ගරු කථානායකවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඊට අනුබද්ධ සංවිධානවලට සිය ස්තූතිය පළ කළේය. මේ අනුව අදහස් දක්වමින් මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ ඉදිරියේදීත් අවශ්‍ය අංශ සහ සංවර්ධන කටයුතු සඳහා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට සූදානම් බවයි. 

එසේම අබාධ සිහිත තැනැත්තන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කළාපීය වශයෙන් සමුළුවක් පැවැත්වීමට සැලසුම්කොට ඇති බවද කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. තවද ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය පෙන්වාදුන්නේ සියලුම අංශ ආවරණය වන පරිදි ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව 07 දක්වා අඩු කිරීමට සැලසුම් කොට ඇති බවයි.  මෙහිදී  ෆ්‍රැන්චේ මහතා පැවසුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සහ අනෙකුත් සියලු කාරක සභා සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටින බවයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න