පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි 6 සිට 10 දක්වා පාකිස්ථානයේ ලාහෝර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුවට සහභාගී වූහ. කලාපයේ ජාතික පාර්ලිමේන්තු සහ පළාත් ව්‍යවස්ථාදායකයන් නියෝජනය කරන කථානායකවරු, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වෘත්තිකයන් සහ නිලධාරීහු මෙම ගෞරවනීය අවස්ථාවට සහභාගී වූහ.

මේ අනුව CPA ආසියානු කලාපයේ කලාපීය විධායක කමිටුවේ සභාපතිවරයා ලෙස ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ CPA ආසියානු කලාපයේ කලාපීය ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, ජාතික ඒකාබද්ධතා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, කේ. ඉලංකුමාරන් සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා පාර්ලිමේන්තු උපාය මාර්ග ඉදිරියට ගෙන යාම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. “ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සමානාත්මතාවය සහ තිරසාර අනාගතය සඳහා පාර්ලිමේන්තු උපාය මාර්ග” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව, කාන්තාවන්, තරුණයින් සහ ආබාධ සහිත පුද්ගලයින් බලගැන්වීම, දේශගුණික විපර්යාස සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, ආපදාවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම, තිරසාර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ දේශපාලනයේදී සාධාරණ ලෙස නියෝජන අවස්ථාවන් ලබාදීම වැඩිදියුණු කිරීම වැනි ප්‍රධාන කලාපීය කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුළුවේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 7 වන සිකුරාදා පැවති අතර මෙම අවස්ථාවට පාකිස්ථාන ජාතික සභාවේ ගරු කථානායක සර්දාර් අයාස් සාදික් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. සමාරම්භක උත්සවය අමතමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ විශේෂයෙන් ආර්ථික වර්ධනයට සහ මහජන විශ්වාසයට සැලකිය යුතු බාධකයක් ලෙස පවතින දූෂණයට එරෙහිව සටන් කිරීමේදී සාමූහිකත්වය සහ තිරසාර සංවර්ධනය ඉතා වැදගත් බවයි.

පාරද්‍රශ්‍ය පාලනය, වගවීම සහ සදාචාරාත්මක නායකත්වය සඳහා ඇති අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර, රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම, දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් වැඩිදියුණු කරමින් ආයතනික අන්තර් සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ආදි පියවරයන් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කථානායකවරයා කරුණු පැහැදිළි කළේය . තවද, තිරසාරභාවය ප්‍රවර්ධනය කරමින් පාරිසරික, සමාජීය සහ සදාචාරාත්මක වටිනාකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ගරු ජනාධිපතිවරයා‍ ඇතුළු රජය විසින් ආරම්භ කරන ලද ‘Clean Sri Lanka’ව්‍යාපෘතිය පිළිබඳව ද ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙහිදී කරුණු පැහැදිළි කරන ලදී.

මේ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, “පළාත් පාලනය ශක්තිමත් කිරීම: ඵලදායී විමධ්‍යගතකරණය සඳහා ව්‍යවස්ථාදායක මාර්ග” යන මැයෙන් පැවති සැසියේ සාමාජිකාවක් ලෙස සහභාගී වූවාය.

ශ්‍රී ලංකාවේ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන පාලන ව්‍යුහය සහ පළාත් පාලන ආයතන පාලනය කරන ව්‍යවස්ථාදායක රාමුව පිළිබඳව ඇය විස්තර කළ අතර, සේවා සැපයීම, ආර්ථික සංවර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළාය. ජනතාවගේ ඉල්ලීම පරිදි රජය වත්මන් ක්‍රමයට ගැළපෙන පරිදි ඉදිරි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපේක්ෂා කරන බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

මෙහිදී පාකිස්තාන පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඇගයීමට ලක්කළ අතර එය කලාපය සඳහා ආදර්ශයක් බව පෙන්වා දුන්නේය. මෙමගින් ලෝක සෞඛ්‍ය සේවය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ජයග්‍රහණ සහ කලාපීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එහි ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

පාකිස්ථානයේ වැඩබලන ජනාධිපති සහ සෙනෙට් සභාවේ සභාපති ගරු සයිඩ් යූසුෆ් රාසා ගිලානි මහතා සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ජාතික ඒකාබද්ධතා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා, සමුළුවේ සමාප්ති උත්සවයේදී අදහස් දක්වමින්, කලාපය මුහුණ දෙන ප්‍රධාන අභියෝග සම්බන්ධයෙන් සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. එසේම පන්ජාබ් පළාත් සභාව, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ලේකම් කාර්යාලය සහ ලාහෝර් ජනතාව, සමුළුව සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ සුවිශේෂී දායකත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළකර සිටියේය.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා සහ ආසියාව සහ අග්නිදිග ආසියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරමින් කලාපීය සහයෝගීතාවය සඳහා ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙම සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න